ඉන්දියා‍වේ මහා වැඩ වර්ජනයට ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල සහාය පළ වී නෑ

විදේශ සුපිරි වෙළඳසල්වලට රටේ දොරටු අරිනවාට එරෙහි

ඉන්දියා‍වේ මහා වැඩ වර්ජනයට ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල සහාය පළ වී නෑ

වෝල්මාට් වැනි විදේශ සුපිරි වෙළෙඳසල් ආර්ථිකයට ඇතුළත් කර ගැන්ම ඇතුළු රජයේ සංශෝධන ක්‍රියාවලියට එරෙහිව පෙරේදා ඉන්දියාව පුරා පැවැත්වුණු මහා වැඩවර්ජනයට සාප්පුකරුවන් ,වෙළෙඳුන් හා ට්‍රක්රථ රියැදුරන් පවා එක්ව සිටි නමුත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂ වර්ජනයට සහයෝගය දී නොතිබිණ.

ඉන්දියාව දරුණු පසු බෑමකට ලක්කරන තිබෙන එරට මන්දගාමී ආර්ථිකය යළි පණ ගන්වනු පිණිස පසුගිය සතියේ අගමැති මන් මෝහන් සිං විසින් ඉදිරිපත් කළ සංශෝධනයන්ට එරෙහිව මේ මහා වැඩවර්ජනය කැඳවා තිබුණේ විපක්ෂයට අයත්‍ දේශපාලන පක්ෂ හා ‍වෘත්තීය සමිති විසිනි.

ඉන්දියා රජය විසින් හඳන්වා දි ඇති ආර්ථික ප්‍රතිශෝධන ක්‍රියාවලියට එරෙහිව විරෝධතා දක්වන භාරතිය ජනතා පක්ෂයේ ක්‍රියාකාරීන්

ඉන්දියාවේ පෙරේදා පැවති ආර්ථික සංශෝධන විරෝධතා උද්ඝෝෂණයේදී වර්ජකයින් දුම්රිය මාර්ග අවහිර කරගෙන සිටි අයුරු.

දවස පුරා පැවති මේ මහ වැඩ වර්ජනයේ බලපෑම වඩාත්ම දක්නට ලැබුනේ කල්කටා බැං‍ගලෝර් හා චෙන්නායි වැනි නගරවලය.එම නගරවල බහුතරයක් කඩසාප්පු ,කර්මාන්තශාලා,පාසල් හා කාර්යාල වැසී ගොස් තිබිණ.

රටපුරා පැවති විරෝධතාවන් බහුතරයකදී අගමැතිවරයාගේ පඹයන් පුළුස්සනු දක්නට ලැබිණ. වර්ජකයන් විසින් ජාතික මහා මාර්ග පද්ධතිය මෙන්ම ප්‍රධාන දුම්රිය මාර්ගද අවහිර කරනු ලැබ තිබිණ.‍ එහෙත් අග නගරයේ හා මූල්‍ය අග නගරය සේ සැලකෙන මුම්බායි හි දක්නට ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයකි. ඒ අනුව බොහෝ කඩ සාප්පු විවෘතව තැබිණ .

මේ අතර ආර්ථික සංශෝධන ක්‍රියාවලිය අත් නොහරින බවට සපථ කළ මුදල් ඇමති පී .චිදම්බරම් වර්ජන ක්‍රියාවලිය දැඩි විවේචනයට ලක් කළේය."රටේ ආර්ථිකයේ යහපත වෙනුවෙන් අප කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව විරෝධතාවන් දැක්වීමට අයිතියක් ඇති මුත් ආර්ථිකය ට අයහපත් වන ආකාරයට විරෝධතා පැවැත්ම හාස්‍යයට කරුණක්. "යැයි ඔහු කීවේය.

සමස්ත ඉන්දීය වෙළෙදුන්ගේ සම්මේලනය ප්‍රකාශ කර තිබුණේ මේ විරෝධතාවන්ට රටපුරා මිලියන 50 ක් පමණ සහභාගිවී ඇතිබවය. බොහෝ කුඩා ව්‍යාපාර හිමියන් හා සේවකයන් බියට පත්ව ඇත්තේ විශාල පරිමාණ සුපිරි වෙළෙඳසල් සමූහ ඉන්දියාවට ළඟාවීමෙන් එරට සුපුරුදු සැපයුම් හා වෙළෙඳ පුරුදු පරිවර්තනයකට ලක්වීමෙන් විශාල වශයෙන් රැකියා පවා අහිමිවී යනු ඇති නිසාය..

මේ බහුජාතික සමාගම් ඉන්දිය ආර්ථිකය හා සමාජ සන්දර්භය විනාශ කර දමනු ඇතැයිද එය වෙළෙඳුන් ,ප්‍රවාහකයින් ,ගොවීන් හා සිල්ලර වෙළෙඳාමට අදාල සෙසු කොටස් කෙරේ දරුණු ලෙස බලපානු ඇතැයිද ඉන්දීය වෙළෙඳ සම්මේලනය කියා ඇත. මේ අතර ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය පවසන්නේ රජයේ යෝජිත ආර්ථික සංශෝධනයන්ට අතිරේකව ඩිසල් මිල ඉහළ දැමීමද ජනතාව කුපිත වීමට ‍හේතු වී ඇතිබවය.

"අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි. වෝල්මාට් , කැරි‍ෆෝ හා ටෙස්කෝ වැනි අන්තර්ජාතික සුපිරි වෙළෙඳසල් ඉන්දියාවට ළඟාවීමෙන් පාරිභෝගිකයන් කුඩා වෙළෙඳසල් වලින් මේ මහා පරිමාණ වෙළෙඳසල් වලට මාරුවී පාරිභෝගික විප්ලවයක් ඇතිවනු නොඅනුමානයි .මේ තත්ත්වය යටතේ සුළු ව්‍යාපාරිකයන් නැත්තටම නැතිවී යනු ඇති"යැයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා