කෑගල්ල ජෝෂප් බාලිකාව අසල නාය ගිය පැති බැම්ම තවම සකසා නෑ

කෑගල්ල ජෝෂප් බාලිකාව අසල නාය ගිය පැති බැම්ම තවම සකසා නෑ

කෑගල්ල නගරයේ කොළඹ මහනුවර මහා මාර්ගය දෙපස කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය පිහිටා ඇත. 2012 නොවැම්බර් මස ඇතිවූ ධාරානිපාත වර්ෂාව මෙම විද්‍යාල දෙක සම්බන්ධ කරන මගී පාලම අභියස කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය අසල ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබුණ පැති බැම්ම විශාල වශයෙන් නාය යෑමකට භාජනය විය.

එයට හේතුව වශයෙන් අනාවරණය වී ඇත්තේ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට සම්බන්ධ මගී පාලම පැත්තේ අත්තිවාරම් කැපීම නිසා එම පැති බැම්මේ දෙදරා යෑමක් හේතුවෙන් එම පැති බැම්මට අයත් ගල් ගැලවී ප්‍රධාන මාර්ගය වැසීයන අයුරින් නාය ගොස් තිබුණි.

කෑගල්ල නගරාධිපති ජී. කේ. සමරසිංහ මහතා ප්‍රමුඛ නගර සභාවේ කාර්ය මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කෑගල්ල පොලිසිය ද සම්බන්ධ වී නාය යෑම නිසා අවහිරව තිබූ මහා මාර්ගය තුළ ඇති ගල් හා පස් ඉවත් කර ගමනාගමනයට පහසු වන පරිදි මහා මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කරනු ලැබීය.

බාලිකා විද්‍යාලයේ පැති බැම්ම ඉදිකරන තෙක් වැලිකොට්ට යොදා පස සේදී යාම වැළැක්වීම පිණිස එම ප්‍රදේශයේ පොලිතින් ආවරණය කරනු ලැබීය.

එදින සිදුවූ මෙම අනතුර යථා තත්ත්වයට පත්කර විද්‍යාලයේ පැති බැම්ම කඩිනමින් සකස් කිරීම හා මහා මාර්ගයේ අඩක් ආවරණය වී ඇති පස් හා ගල් ඉවත් කර එය නිසි පරිදි ගමනාගමනය සඳහා සකස් කිරීම කඩිනම් කරන බවට දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දී ඇතත් ප්‍රශ්නය තවමත් තිබූ තැනමය.

මේ පිළිබඳව ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ දෙගුරුන් මෙන්ම, නගරය හරහා දිනපතා ගමන් කරන දහස් ගණන් රථවාහන හිමියන් සහ මගී ජනයා මෙම පැති බැම්ම කඩිනමින් ඉදිකර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා