ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට ශ්‍රී ලංකා පිල බැංකොක් යයි

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට ශ්‍රී ලංකා පිල බැංකොක් යයි

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලිය‍ට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ අලුයම බැංකොක් බලා පි‍ටත්විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23ක් මේ සංචාරයට එක්ව සිටිති.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ පළමු අදියර මැයි 4වැනිදා බැංකොක් තමාසාට් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි අදියර මැයි 8වැනිදා තායිලන්තයේ චොන්බුරි සරසවි ක්‍රීඩාංගණයේදී හා තෙවැනි අදියර මැයි 12දා කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට ආසියාවේ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගිවීමට නියමිතය. ග්‍රොන් ප්‍රී තරගාවලියක් ශ්‍රී ලංකාවේදී වසර 10කට පමණ පසුව පැවැත්වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව මීටර් 100x4 කාන්තා සහය දිවීමේ තරගයට ඉදිරිපත්වීමට කලින් බලාපොරොත්තු වුවද කාලය මැනීමේ තරගයෙන් අසමත්වීම හේතුවෙන් එම ඉසව්වට එක් නොවේ. කලින් බලාපොරොත්තුවු පරිදි අනෙක් සියලු ඉසව් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරනු ඇත. මීටර් 100x4 සහය දිවීමේ ඉසව්වට කෙටිදුර ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය එක්වන අතර ඔහු සමග එම්.එස්.එම්.සෆ්රාන්, හසාන් හසරංග, ජී.එස්.ඒ.සී.නදීෂාන් හා ආර්.එම්.ජී.චාමර යන ක්‍රීඩකයන්ගෙන් තිදෙනෙකු ධාවනයේ යෙදෙති.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නව පරිපාලනය මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිස භාරගැනීමෙන් පසුව පැවැත්වෙන පළමු තරගාවලිය මෙයවන අතර 2013 වසරේ මුල්ම තරගාවලියද මෙය වීම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ තෙවැනි අදියර ශ්‍රී ලංකාවේ පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන ගණනක වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත්ව ඇති අතර එයින් කොටසක් ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදීමට එකඟතාව පළකොට ඇත.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ ජයග්‍රාහකයන්ට මුදල් තැගි පිරිනැමීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා ඇත.

බැංකොක් බලා පිටත් වු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම

පිරිමි-එම්.එස්.එම්.සෆ්රාන් (මී.100), කේ.කේ.කේ.සෙනෙවිරත්න (මී.400), ඩී.එල්.සමරජීව (මී.3000, මී.5000), එරංග දිනේෂ් ප්‍රනාන්දු (තුන් පිම්ම), අයි.ඩී.එස්.එස්.ජයසිංහ (තුන් පිම්ම), ඩී.එම්.එම්.දිසානායක (උස පැනීම), සචිත් මදුරංග (හෙල්ල), වරුණ ලක්ෂාන් (හෙල්ල), ෂෙහාන් අබේපිටිය, එම්.එස්.සෆ්රාන්, හසාන් හසරංග, ජී.එස්.එස්.පී.නදීෂාන්, ආර්.එම්.පී.චාමර (මී.100x4)

කාන්තා-ජානි චතුරංගනී (මී.100), සුජානි බුද්ධිකා (මී.100), චන්ද්‍රිකා සුභාෂිනී (මී.400), ශානිකා සමන්මලී (මී.800), ප්‍රියංගිකා මධුමන්ති (උස පැනීම), නදීකා ලක්මාලි (හෙල්ල), ඩබ්ලිව්.කේ.එල්.ඒ.නිමාලි (මී.800), එල්.ඩී.ඩී.ඊ.රත්නසිරි (දුර පැනීම), තරංගා විනෝදනී (උස පැනීම).

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා