වෝනර් දිල්ලියට ජය ගෙනෙයි

වෝනර් දිල්ලියට ජය ගෙනෙයි

ඩේවිඩ් වෝනර්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් කල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව කඩුලු 7ක ජයක් හිමිකර ගනිමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි ජය වාර්තා කිරීමට මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සමත්විය.

තරගාවලියේ 44වැනි තරගය ලෙසින් රායිපුර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනු කල්කටා පිල ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 136ක් රැස් කළේය. රාජාට් බාටියා නොදැවී ලබාගත් ලකුණු 26 ඉනිමේ වැඩිම ලකුණු ලෙස සටහන් විය.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය දිල්ලි කණ්ඩායම තරග නිමවීමට පන්දු 13ක් ඉතිරිව තිබියදී තරගයේ ජය තහවුරු කරගත්තේය. තරගයේ වීරයා ලෙස නම් කෙරුණු ඩේවිඩ් වෝනර් පන්දු 42කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 63ක් වාර්තා කළේය. තෙවැනි කඩුල්ල සඳහා වෝනර් සමග එක්වු උන්මුක්ට් චාන්ද් ලකුණු 95ක සබඳතාවක් ගොඩනගමින් තරගයේ ජයග්‍රහණය කරා ගෙන ගියේය. චාන්ද ලකුණු 37ක් වාර්තා ලබාගත්හ.

කල්කටා-136/7යි. (ඕවර 20) රජාට් බාටියා නොදැවී 26, සුමිට් නර්වල් 23 (උමේෂ් යාදව් 36/2)

දිල්ලි-137/3යි‍. (ඕවර 17.5) ඩේවිඩ් වෝනර් නොදැවී 66, උන්මුක්ට් චාන්ද් 37.

සන්රයිසස්ට කඩුලු 7ක ජයක්

මේ අතර හියිදාබාද් හිදී මුම්බායි ඉන්දියන් පිල සහ හයිදාබාද් සන්රයිසස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිලට කඩුලු 4ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 129ක් පමණි. ඩිවේන් ස්මිත් ලකුණු 38ක් හා අම්බායි රයුඩු නොදැවී ලකුණු 34ක් වාර්තා කළේය. තරගයේ වීරයා වු ඉෂාන්ත් ශර්මා පන්දු ඕවර 4 තුළදී ලකුණු 15කට කඩුලු 2ක් දවාලීය.

සන්රයිසස් පිල ඕවර 18ක් තුළදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ ජය තහවුරු කරගත්තේය. වේගවත් ඉනිමක් දියත් කළ ශිකර් දාවන් නොදැවී ලකුණු 73ක් රැස්කළ අතර ඒ සඳහා පන්දු 55කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය. නායක කුමාර් සංගක්කාරට ලබාගත හැකිවුයේ ලකුණු 21ක් පමණි. මුම්බායි පිල නියෝජනය කළ ලසිත් මාලිංගට සහ සන්රයිසස් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට කඩුලු ලබාගැනීමට නොහැකි විය.

මුම්බායි-129/4යි. (ඕවර 20) ඩිවේන් ස්මිත් 38, අමිබායි රයුඩු නොදැවී 34 (ඉෂාන් ශර්මා 15/2, අමිට් මිෂ්රා 24/2)

සන්රයිසස්-130/3යි. (ඕවර 18) ශිකර් දාවන් නොදැවී 73, විහාරි 25

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා