මේ නාට්‍ය උළෙල මම නැවත ඉපදීමක්

මේ නාට්‍ය උළෙල මම නැවත ඉපදීමක්

මාදනී මල්වත්තගේ

වේදිකාවෙන්, පුංචි තිරයෙන් අප හමුවට එන ඇය අපට අමුත්තියක් නම් නොවේ. ඇය මාදනී මල්වත්තගේ ය. සංගීතයෙන්, රංගනයෙන්, නර්තනයෙන් ජීවිතය සරසවා ගත් ඇය සිය රංගනයට සංගීතය සහ නර්තනය උකහා ගනිමින් බොහෝ පෙළහරකම් පාන්නීය. රාජ්‍ය නාට්‍ය උළෙලේ දී තෙවතාවක් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් අැය සිය රංගන ජීවිතයේ සොළොස් අවුරුද්දක මතකාවර්ජන ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් වන මේ මොහොතේ අප සූදානම් ෙව්.

ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසීම සිදුවන ආකාරය පිළිබඳ සඳහන් කළොත්....

කුඩා අවධියේ පටන් ඒ කියන්නේ පෙර පාසල් අවධියේ සිටම සංගීතය, නාට්‍ය කෙරෙහි දැඩි ඇල්මක්, ආශාවක් මට තිබුණා. මොකද මගේ තාත්තා කලාවට ලැදි කෙනෙක්. ඒ වගේම තමයි අම්මත්. ඒ නිසාම මමයි, අක්කයි, මල්ලියි කලා ක්ෂේත්‍රයට යොමු වෙනවා දකින්න තාත්තා ගොඩක් ආශාවෙන් හිටියා. පෙර පාසල් අවධියේ පටන්ම සංගීතය, නාට්‍ය කලාව කෙරෙහි විශාල යොමුවක් අපේ ගෙදරින් තිබුණා. ඒ වගේම කුඩා වියේ පටන් සංගීතය ඉගෙන ගැනීම සඳහාත් මම යොමු වුණා.

මහනුවර ප්‍රදේශයේ හැදුණු වැඩුණු කාන්තාවක් විදියට මට විශේෂ අවස්ථාවක් හිමිවෙනවා. ඒ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය මගින් සෑම අවුරුද්දකම පවත්වනු ලබන “වළ සතිය නාට්‍ය උළෙල” නැරැඹීමට. ඉතිං මේ “වළ සතිය” බලන්න අපේ පවුලේ හැමෝම එක්කරගෙන යාමේ පුරුද්දක් තාත්තට තිබුණා.

නාට්‍ය කෙරෙහි දැඩි ඇල්මක්, ආශාවක් මට උපදින්නේ වළට ගිහින් නාට්‍ය නැරැඹීමට පටන් ගත් අවධියේ සිටයි. ඒත් එක්කම මම පාසල් නාට්‍යවලට සම්බන්ධ වෙලා කටයුතු කළා. සම්මාන දිනාගත්තා.

ඊට පස්සේ මම නාට්‍ය හා රංග කලාව හදාරන්න මහරගම ජාතික තරුණ සේවා සභාවට එනවා. එතැනදී මට ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, මංගල සේනානායක ආදී ක්ෂේත්‍රයේ විද්වත්, උගත් පතාක යෝධයන් පිරිසක් හමුවෙනවා.

ඔවුන්ගේ ආභාසය ලබාගනිමින් නාට්‍ය හා රංග කලාව පිළිබඳ හොඳ දැනුමක් එහිදී මං ලබාගන්නවා. ඒත් සමඟම ජයලත් මනෝරත්නයන්ගේ “කණේ‍රු මල්” යන වේදිකා නාට්‍ය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පය තැබීමට අවස්ථාව උදා වෙනවා.

එතැනින් පටන් ගත් නාට්‍ය ගමනත් සමඟ ලංකාවේ කඩඉම් නාට්‍යකරුවන්ගේ, කඩඉම් නාට්‍යවල, කඩඉම් චරිත කරන්නට ද මට අවස්ථාව ලැබුණා. මෙය රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට පහසුවෙන් හිමි‍ නොවන වාසනාවත්, හැකියාවත් සමඟ ලැබෙන දෙයක් කිව්වොත් නිවැරැදියි. නම් වශයෙන් ගත්තොත් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු වැනි නාට්‍යවල ප්‍රධාන භූමිකාව නිරූපණයට අවස්ථාව ලැබුණා.

ඒ වගේම දික්තල - කාලගෝල, මධුර ජවනිකා, සුබ සහ යස ආදී නාට්‍ය කලාවේ කඩඉම් නාට්‍යවල ප්‍රධාන භූමිකාවන් නිරූපණය කිරීමට හැකි වුණා. ඒත් සමඟම රාජ්‍ය නාට්‍ය උළෙලේ දී පිට පිටම තුන් වතාවක් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා. ඒ වගේම තුන් වතාවක් හොඳම නිළිය ලෙස මගේ නම නිර්දේශ වුණා.

විශිෂ්ටතම නිළියකගේ සම්මාන රංග භූමිකාව “මාදනී” සොළොස් අවුරුද්දක මතකාවර්ජන නාට්‍ය උළෙල පිළිබඳ කතා කළොත්....

ඇත්ත වශයෙන්ම මෙවැනි නාට්‍ය උළෙලක් කරන්න අවශ්‍යයි කියන යෝජනාව මුලින්ම ෙගනාෙව් මගේ මහත්තයා කීර්ති රත්නායක. මගේ මුල්ම ප්‍රේක්ෂකයාත්, විචාරකයාත් වන්නේ ඔහුයි. විශේෂයෙන් මම, මම නොවී වේදිකාවේදී චරිත වශයෙන් දැකිය හැකි එමෙන්ම සම්මානයට පාත්‍ර වූ නාට්‍ය කීපයක එකතුවක් වශයෙන් මේ නාට්‍ය උළෙල හැඳින්විය හැකියි.

වර්තමානයේ බොහෝ නාට්‍ය උළෙලවල් පැවැත්වෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස සහ මේ නාට්‍ය උළෙ පැවැත්වීමේ අරමුණ....

ඉතාමත් බහුල වශයෙන් නාට්‍ය නිර්මාණ බිහිවුවත් හොඳ නාට්‍ය නිර්මාණවල අඩුවක් දක්නට ලැබෙන බවට අද මට හැඟෙනවා. අපේ අලුත් පරම්පරාව නාට්‍ය කියලා දකින්නේ අවරගණයේ නිර්මාණයි. විශේෂයෙන් පාසල් ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නාට්‍ය හා රංග කලාව විෂයයක් ලෙස හදාරනවා.

ඔවුන්ට නාට්‍ය පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලැබීමට සුදුසුම මාර්ගය නාට්‍ය නැරැඹීම ලෙස මම දකිනවා. මේ නාට්‍ය උළෙල තුළින් ඉදිරිපත් කරන නාට්‍යයන් සියල්ල ඉතාම උසස් ගණයේලා සැලැකිය හැකි, සිසුන්ට ප්‍රායෝගික දැනුමක් ලබාගත හැකි නාට්‍යයන් පහක් ‍කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මගේ දක්ෂතාවයන් ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්නත් මට අවශ්‍ය වුණා. ඒ අවශ්‍යතාවයන් සියල්ල පරිපූර්ණ කරගැනීම මේ නාට්‍ය උළෙල පැවැත්වීමේ අරමුණු ලෙස සඳහන් කළ හැකියි.

මේ සඳහා ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳ සඳහන් කළොත්...

ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, රත්නා ලාලනී ජයකොඩි ආදී විශාල ප්‍රවීණයන් පිරිසක් මගේ නාට්‍ය උළෙලට එකතු වෙනවා. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. ඔවුන් ඉතාම කාර්ය බහුල පිරිසක්. මොවුන් මේ සඳහා සම්බන්ධ කරගැනීම මට විශාල වටිනාකමක් වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයාටත් එය වටිනාකමක් වෙනවා. මෙම නාට්‍ය උළෙල මගේ ජීවිතයේ පුනරුත්පත්තියක් වශයෙන් සඳහන් කළ හැක්කේ ද එබැවිනි.

වර්තමානයේ නාට්‍ය උළෙලක් සංවිධානය කිරීම බොහෝ අසීරු කටයුත්තක්. මේ සඳහා අනුග්‍රහය සපයන්නන් පිළිබඳ මතක් කළොත්...

මේ කාලවකවානුවේ හැටියට නාට්‍ය උළෙලක් සංවිධානය කිරීම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා ප්‍රේක්ෂකයා ගෙන්වා ගැනීම දුෂ්කර කාර්යයක් වෙනවා. එහෙත් “ටොයෝටා ලංකා” සමාගම ඒ අභියෝගය භාරගෙන මෙම නාට්‍ය උළෙල සඳහා අනුග්‍රහය ලබාදීම පිළිබඳව මං ස්තූතිවන්ත වෙනවා.

මෙහිදී “ටොයෝටා ලංකා” හි ප්‍රධාන කළමනාකරු ප්‍රියන්ත පෙරේරා ඇතුළු කාර්ය මණ්ඩලය ද විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම සද්ජන සහෘද සංසදයේ ප්‍රියංකර පෙරේරා ඇතුළු මගේ සහෝදර පිරිස ද මෙහිදී මට විශාල සහයෝගයක් ලබා දෙනවා.

නාට්‍ය උළෙලට ඇතුළත් වන නාට්‍යයන් පිළිබඳ සඳහන් කළොත්...

කේ. බී. හේරත්ගේ “ජගන් මා”, උදයසිරි වික්‍රමරත්නයන්ගේ “සුද්දෙක් ඔබ අමතයි”, මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ “මහ සමයම”, කේ. බී. හේරත්ගේ “කලු කුමාරි” සහ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ “සෙල්ලම් නිරිඳු” මේ නාට්‍ය උළෙලට ඇතුළත් වන නාට්‍ය වෙනවා.

පිළිවෙලින් ජනවාරි 10 සිට ජනවාරි 14 දක්වා සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී මෙම නාට්‍ය රඟ දක්වන අතර “මහ සමයම” නාට්‍ය පමණක් ජනවාරි 12 වැනි දින සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. විශේෂයෙන් “මහ සමයම” නාට්‍ය පිළිබඳව පැවසිය යුතුයි. එය නාට්‍ය කලාවට නවමු අත්දැකීමක් වෙනවා. මන්ද මෙය හඳුන්වන්නේ දෘශ්‍ය කාව්‍යයක් ලෙසයි.

අවසාන වශයෙන් මං මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මට කරන ගෞරවයක් විදිහට මේ නාට්‍යයන් නරඹා මා සමඟ කතාබහ කරන ලෙසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා