වන්නියේ වේදිකාවෙන් කලා ලොව ජයගත් අතුලසිරි

වන්නියේ වේදිකාවෙන් කලා ලොව ජයගත් අතුලසිරි

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට දායාද වූ කලාකරුවන් අතරින් බොහෝ දෙනෙකුට අත්වැලක් වූයේ වන්නියේ වේදිකාවයි. ඒ අනුව ඓතිහාසික උතුරුමැද පළාතේ මහා කලාකරුවන්, කලාකාරිනියන් රැසක් බිහිකළ වන්නිය වේදිකාවෙන් සිය කලා ජීවිතයට අත්පොත් තැබූ ඔහු රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරිය.

සෙමින්, සෙමින් ආරම්භ කළ ඔහුගේ රංගන දිවියට මේ වන විට එක් වූ නිර්මාණ ප්‍රමාණය සියයද ඉක්මවයි. ඒ අතරින් ටෙලිනාට්‍ය 60ක්, චිත්‍රපට 30ක්, වාර්තා චිත්‍රපට 15ක් හා වෙෙළද දැන්වීම් සඳහා සිය රංගන දායකත්වය ලබා දීමට අතුලසිරි සමත්විය.

කෙටි නාට්‍යයන් පිටපත් කර පාසල් වේදිකාවේ රඟදැක්වීමට සිහින දුටු ඔහුට ජයසේකර අපෝන්සුගේ ‘මඟුල් සක්වල’ නාට්‍ය­ෙය් රඟපෑමට ඉඩ ලැබුෙණ් දෛවයෙන් ඔහුට උරුම වූ ඒ අපූර්ව හැකියාවට ඉඩ හසර ලබාදෙමින්ය. එයින් ලැබූ ජනප්‍රියත්වය නිසාම නුවරඑළිය ප්‍රවීණ හා ආධුනික නාට්‍යකරුවන්ගේ නිර්මාණ සඳහා දායක වීමට ලද අවස්ථාව අතුලසිරිගේ රංගන දිවියේ ආරම්භයට පෙරවදන් සැපැයීමක් විය.

පාසල් වේදිකාවට නිර්මාණය කළ පළමු නාට්‍ය නිර්මාණය රෙදි හෝදන මහත්තුරු හොඳම නිර්මාණය ලෙස සම්මාන ලබද්දී, එයින් පන්නරය ලැබූ නිර්මාණ තව තවත් බිහිවිය. නීතිය, තවත් තොප්පියක්, වරිස සංගය, පෙම්වතියන් ඇවිල්ලා උතුරුමැද කලා උළෙලේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් ලද ජයතිස්ස අතුලසිරිගේ නිර්මාණ විය.

කෙටිනාට්‍ය, වෙසක් නාට්‍ය පවා ඔහු අතින් නිර්මාණය වෙද්දී හිමගිරි අරණ, හිම රාත්‍රිය, චායා, නාඳුනන පුත්තු, යම පෙළහර, දේදුනු සිහින, දියයට ගිනි, චරිතයකට පාට දෙන්න, රිදී ඉට්ටන්කරය, හැන්දෑව, මුතුකිරිල්ලී, ස්වයංජාත, සතර දෙනෙක් සෙන්පතියෝ ඇතුළු ටෙලිනාට්‍ය 60කට ආසන්න ප්‍රමාණයකට සෙසු චරිතයන් හරහා දායක වීමට අතුලසිරිට වාසනාව ලැබිණි.

නාඳුනන පුත්තු, අසනිවර්ෂා, ඉරමැදියම, ගරිල්ලා මාකටිං, අරුමෝසම් වැහි, සුදු කළු සහ අළු, රූ රූ, බහුබූතයෝ, නිකිනි වැස්ස, සීතා මං ආවා, සෙනසුරු මාරුව, චැලන්ජස්, ඉගිලෙන මාළුවෝ, කුසපබා ඇතුළු චිත්‍රපට ගණනාවක සෙසු චරිත නිරූපණයේ යෙදුණු ඔහුගේ රුව අප දුටු ආසන්නම චිත්‍රපටය වන්නේ සමනල සංධ්වනියේ බෝඩිමේ අයියා යන චරිතයෙනි. කලාවට දැඩි සේ ආලය කරන සිය මුළු දිවියම කලාව වෙනුවෙන් කැපකළ ජයතිස්ස අතුලසිරි මෙසේ පැවසීය.

වසර 35ක් පුරා චාරිතාංග නළුවකු ලෙස මා පැමිණි ගමන් මඟ විටක සුන්දරයි. තවත් විටෙක අභියෝගාත්මකයි. ඒත් කලාව නිසා මා ලද දේ බොහෝයි. ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් සාර්ථක වීමට එහි ප්‍රධාන චරිත සාර්ථක වීමට සෙසු චරිත නිරූපණ හරහා ලැබෙන්නේ විශාල සහයෝගයක්. ඒ අතින් මම ඒ ගැන සතුටු වනවා.

මම රංගනයෙන් එක්වූ බොහෝ නිර්මාණ ප්‍රවීණ නිර්මාණකරුවන් නිර්මාණය කළ දැවැන්ත හා සාර්ථක නිර්මාණ. මේ නිර්මාණ නිසයි මට ප්‍රේක්ෂකයන් අතරට ගමන් කිරීමට හැකි වුණේ. මගේ කලා දිවිය ආරම්භ කළේ වේදිකාවෙන්. ඒ නිසා එදා මෙන්ම අදටත් මම වේදිකාවට මහත් සේ ආදරය කරනවා. අභිරූපණ රංගන ශිල්පියකු වූ මා ද්‍රවිඩ චිත්‍රපට දෙකක් හා මාලදිවයින් චිත්‍රපටයක් රඟපෑමෙන් විදේශීය අධ්‍යක්‍යවරුන්ගේ පැසසුමටද පාත්‍ර වුණා.

එය මගේ ඉදිරි කලා කටයුතුවලට විශාල දිරිගැන්වීමක්. එමෙන්ම වන්නියේ වේදිකාව සංස්කෘතික සංවිධානයේ සාමාජිකයකු ලෙස පළාත් හා රාජ්‍ය සම්මාන දිනූ නාට්‍වල රංගන ශිල්පියකු හා සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පැමිණි ගමන් මඟට විශාල අත්වැලක් වූ මගේ දයාබර බිරිය නන්දා මපිටිගම හා මගේ ගමනට සහයෝගය ලබාදුන් සියලු දෙනාම ආදරයෙන් සිහිපත් කරනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා