කැත්තට පොල්ල ක්‍රමයෙන් ප්‍රශ්න විසඳන්න බෑ

කැත්තට පොල්ල ක්‍රමයෙන් ප්‍රශ්න විසඳන්න බෑ

 කේ. එච්. නන්දසේන, උතුරු මැද පළාත් අධ්‍යාපන ඇමැති

උතුරු මැද පළාත් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ නව වෙනස්කම් ඇතිවිය යුතු බවට බොහෝදෙනා වරින්වර අදහස් දක්වනු ලැබීය. වර්තමානය වනවිට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය බාර නව අමාත්‍යවරයා ලෙස කේ. එච්. නන්දසේන මහතා පත්ව ඇත. අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රය වෙනුවෙන් එතුමා කිරීමට බලාපොරොත්තු වන මෙහෙවර පිළිබඳ කළ කතාබහකි මේ.

උතුරු මැද පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රශ්න, ගැටලු පිරුණු අංශයක් බවට ඇතැමුන් චෝදනා කරනවා. මේ අභියෝගය ඔබ බාරගන්නෙ කොයි විදිහටද?

මේ අභියෝගයට මුහුණ දෙන්නට බැරිනම් මම මේ වගකීම භාර ගන්නෙනෑ. මගේ දේශපාලන ගමන් ම‍ඟේ මම මීට වඩා අභියෝගවලට මුහුණදීලා ඒවා ජය අරන් තියෙනවා.

ගුරු මාරු, උසස්වීම්, වැටුප් ප්‍රශ්න, දුෂ්කර සේවාවල ගැටලු, දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ අක්‍රමිකතා, නුසුදුස්සන් ඉහළ තැන්වල වැජඹීම, පාසල් වැසීයාමේ ප්‍රශ්න අතුළු තවත් ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ ගැටලුවලට විසැඳුම් සොයාගත යුත්තේ කුමන ආකාරයකට ද?

මේවා කාලයක් තිස්සේ පවතින ගැටලු. මේවාට අතිධාවනකාරීව කඩිනම් විසැඳුම් සොයන්න ගියොත් වෙනත් ප්‍රශ්න මතුවෙනවා. විශේෂයෙන් මානව හිමිකම් ප්‍රශ්න මතු වෙනවා.

දුෂ්කර සේවා ගුරු ප්‍රශ්න, ගුරු ස්ථාන මාරු, විදුහල්පතිවරුන් පත් කිරීම් වාගේම විෂය අධ්‍යක්ෂවරු, කොට්ඨාස අධ්‍යක්ෂකවරු, ආදීන්ගේ ගැටලු ගැන මේ වෙන‍ කොටත් මම පුළුල් අධ්‍යයනයක් කරමිනුයි පවතින්නේ. මේවා අදාළ නිලධාරීන් සමඟ සුහදව, තාර්කික ලෙස කතා කරලා, සුදුසු විසැඳුම් ලබාදිය යුතුයි. ඒ හැර කැත්තට පොල්ල සම්ප්‍රදායෙන් ප්‍රශ්න විසඳන්ට බෑ.

පවත්නා ගුරු පුරප්පාඩුවලට සුදුසුකම් සහිත අය හිඟයි නේද?

ඒ හිඟය මකා ගන්න ආසන්නම පළාත්වලින් සුදුසුකම් ඇති අය ගන්න වෙනවා. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, සමාජ අධ්‍යයනය වැනි විෂයයන්වලට බඳවා ගන්නා පිට පළාත් ගුරුවරුන් ආව දවසේ ඉදලා ස්ථානමාරු වෙන්නයි හදන්නේ.

ඒ ගැටලුවට විසැඳුම් තියෙනවාද?

පස්අවුරුදු සේවා කාලය අවුරුදු තුන දක්වා අඩු කරනවා. හැබැයි මේ කාලය තුළ අපි දෙන ඉලක්ක සපුරා ගන්න දක්ෂතා දක්වන ගුරුවරුන්ට සහන අවස්ථා ලබා දෙනවා. ඒ වාගේම තවත් ප්‍රශ්නයක් තමා මෙවැනි ගුරුවරියන් ප්‍රසූත නිවාඩු සීමාවෙන් ඔබ්බට තවත් නොයෙක් ක්‍රියාමාර්ග තුළින් ප්‍රසූත නිවාඩුව දීර්ඝ කර ගන්නවා.

උතුරු මැද පළාතේ අධ්‍යාපන ගැටලුවලට මූලික හේතුව දේශපාලන ඇඟිලිගැසීම් කියලයි බොහෝ විවේචකයන් කියන්නේ. ඒක එහෙම නේද?

දේශපාලන ඇඟිලි ගැහීම් අවශ්‍යයි. එහෙම නැතුව කොහොමද පාසල් ගොඩනැගිලි, ක්‍රීඩාපිටි, විද්‍යාගාර වැනි සංවර්ධන කාර්යයන් කෙරෙන්නේ, මම කියන්නේ පාසල් සංවර්ධන සමිතිවලට ඒ ඒ ප්‍රාදේශීය දේශපාලඥයන් සහභාගී විය යුතුයි. පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කළ යුතුයි. හැබැයි පරිපාලනයට ඇඟිලි නොගැසිය යුතුයි.

පාසල්වලට ළමයින් අතුළත් කිරීමේ අල්ලස් ගැන නිතර කියවෙනවා. ඒ වුණාට මොනයම් හෝ මාර්ග ඔස්සේ ඒක සිද්ධ වෙනවා.

මං ඒ ගැන හොඳින්ම දන්නවා. දරුවන් පාසලට ඇතුළත් කිරීමට මුදල් ගැනීම නීතිවිරෝධී වැඩක්. හැබැයි අතමිට මුදල් හදල් ඇති අය පාසලේ පොදු කටයුත්තකට දායක වුණොත්, ඒක විධිමත්ව කෙරුණොත් ප්‍රශ්න නෑ. දුප්පත් මවුපියන්ටත් ඒ බරම පටවන්න මම ඉඩ තියන්නෑ.

ගුරු මාරු ප්‍රශ්නයත් ව්‍යාකූලයි නේද?

ඔව්. මේවා පිළිබඳ ඉතා සියුම්ව විමසා බැලිය යුතුයි. සේවය කර ඇති වසර ගණන, සේවයේ ප්‍රගතිය, ගුරු මාරු මණ්ඩල විසින් මේවා ගැන නිසි අධ්‍යයනයක් කළ යුතුයි. ඒවාට නිසි විසැඳුම් නොලැබෙන විටයි. දේශපාලඥයන් සොයාගෙන එන්නේ. නියමිත කාලය සම්පූර්ණ කරන ගුරු භවතාගේ පදිංචිය ආදී කරුණු සොයා බලා පුරප්පාඩු පවතින ආසන්නම විදුහලට ස්ථාන මාරු කිරීම ගැනත් මගේ අවධානය යොමු වෙලා තියෙනවා.

ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, ජනප්‍රිය පාසල්, ආදියට ඇතුළුවීමේ විශාල කලබැගෑනි තියෙනවා නේද?

අධ්‍යාපන ක්‍රියාවලියේදී සියලු ම කනිෂ්ඨ විද්‍යාල පැවතිය යුත්තේ රටට, සමාජයට ආදර්ශවත්වයි. ජනප්‍රිය පාසලුත් එහෙමයි. ඒක හින්දා මේ ආදර්ශ කියන කෑල්ල වෙනස් විය යුතුයි. ඈත ගම්වල පාසල්වලටත් පහසුකම් සපයා පංති කාමර දැකුම්කලු ලෙස සකස් විය යුතුයි. එවිට සියල්ලම ආදර්ශ පාසල් වෙයි. දරුවන් ඇතුළත් කිරීමේ දී පවුල් සෞඛ්‍යය සේවිකාව නිකුත් කර ඇති කාඩ්පත විමසා බලනවා. ආදි ශිෂ්‍ය පදනම නෙමෙයි, සහෝදර පදනම බලා කටයුතු කරනවා.

දෙමට වැව විදුහලේ ශිෂ්‍යයන් 6යි. ගුරුවරු 7 යි. තරියන්කුලම විදුහලේ ළමයි 17යි. ගුරුවරු 11යි, මේ විෂමතාව?

ගුරුවරුන්ට ගෙවන වැටුප් තලය අනුව ඒක දුක්බර තත්ත්වයක්. විදුහල්පතිවරුන් මේ ගැන එවලා තියෙන වාර්තා බලලා වහාම මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ගුරු උපදේශකවරු, කොට්ඨාස අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු මේ ගැන දක්වා ඇති අදහස් ගැනත් විමසිය යුතුයි. ඊට පස්සේ ගුරුවරුන් ආසන්න වෙනත් විදුහල්වලට මාරු කරලා, ගොඩනැගිලි හා වෙනත් වත්කම් ගැන සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි. මම වහාම මෙවැනි විදුහල් ගැන සොයා බලලා ඉදිරි පියවර ගන්නවා.

සුදුසුකම් නැති කලාප අධ්‍යක්ෂවරු වැඩි දෙනෙක් ඉන්න බවට එන චෝදනා ගැන මොකද කියන්නේ?

අධ්‍යාපන සුදුසුකම් ගැන ‍සොයා බැලිය යුතුයි. මේවාට බොහොම බුද්ධිමත්ව විසැඳුම් සෙවිය යුතුයි.

ඔබේ තේමා පාඨය වෙලා තියෙන්නේ “ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු” සුභාෂිත කවි පදයයි.

ඒක තමයි සමස්ත දේශයේම දරු පරපුරට සුදුසු වන්නේ. දැනුම, ආකල්ප කුසලතා, අද පවතින්නේ ඒ යථාර්ථය නේද? එදා තිබුණේ දැනුම සහ විභාග. ‘අද පවතින්නේ මොකක්ද? විභාග සඳහා දැනුම, මේ මගින් බිහිවන්නේ විභාග හඹායන, විභාග දැනුම පමණක් ඇති පිරිසක්. එදා එහෙම නෙවෙයි.

ඉංජිනේරු, දොස්තර ආදීන්ට පවා භාෂා දැනුම, සාහිත්‍ය දැනුම, ඉතිහාස දැනුම ඉහළින්ම තිබුණා. ඒ තුළින් සංවේදී බව, මානව ගුණදම්, ඓතිහාසික උරුමය පිළිබඳ දැනුවත් පිරිපුන් සමාජයක් බිහිවුණා. ඒත් මේ තත්ත්වය ආපස්සට හරවන්න බෑ. මේ පෙළ ගැස්ම වෙනස් කරන්න බෑ. අධ්‍යාපන ක්ෂේත්‍රය විතරක් නෙවෙයි, ගෝලීයකරණ සමාජ පැවැත්ම තුළ මෙය යථාර්ථය වෙලා අවසානයි.

උතුරු මැද පළාතේ සංස්කෘතික කටයුතු භාරව තිබෙන්නේ ඔබතුමාට. ඒ තුළ අපි දකින්නේ පළාත් කලා උළෙල වාගේ සීමිත වැඩ කොටසක්.

ආගමික ස්ථාන සංවර්ධනයටත් මුදල් දෙනවා. ඒත් හෙළ සංස්කෘතියේ තිඹිරිගෙය වුණු උතුරු මැද පළාතෙන් මීට වඩා සංස්කෘතික පුනරුදයක් ඇති විය යුතු බවයි මා හිතන්නේ. නැටුමයි, සංගීතයයි වාගේ සීමිත අංග කීපයකට සංස්කෘතිය සීමා කරන්න බෑ. අනෙක් කාරණාව තමයි අපේ ග්‍රාමීය කලා ගැන අවධානය යොමු වෙනවා මදි.

ඔබත් ගමේ උපන්, ගැමිකම හඳුනන, ඒක අත්විඳපු සැබෑ ගැමියෙක්. ගමේ තිබුණ ගැමි කලාවන් පළාත් මට්ටමෙන් ඇගයෙනවා මදි නම්, ඒවාට නිසි ඇගැයීමක් ලබා දෙන්න ඔබ කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවද?

අද හෙටම පළාත් සංස්කෘතික අංශය ග්‍රාමීය කලාවන් ඒකරාශී කිරීමට යොමු කළ යුතුයි. පළමුවෙන්ම අපේ සංස්කෘතික නිලධාරින් හා ඒ ඒ කලා ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හමුවිය යුතුයි.

පළාත් සංස්කෘතික අංශයයි. මධ්‍යම රජයේ සංස්කෘතික අංශයයි කියන්නෙ අංශ දෙකක්. මේ දෙපිරිසම ඒකරාශී කළොත්, පුළුල් සංස්කෘතික වැඩපිළිවෙළක් දියත් කළ හැකියි නේද?

මේ ගැන අනුරාධපුර දිසාපතිතුමා එක්ක කතා කරලා, සුදුසු ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ මගින් ප්‍රාදේශීය ලේකම්වරු හරහා ග්‍රාම ‍නිලධාරින් මගින් ග්‍රාමීය කලාකරුවන්ගේ ලැයිස්තුවක් ගන්නවා. ඒ මගින් කලාකරුවන් ඒකරාශී කරලා, ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් පූර්ණ බලතල සහිත කමිටුවක් ස්ථාපනය කරනවා. පළාත් සංස්කෘතික මෙහෙවරට මධ්‍යම රජයේ නිලධාරින්ගෙන් ගත හැකි උපරිම සහයෝගය ලබා ගන්න අපේ දිසාපතිතුමාගේ සහයෝගය ලැබෙන බව මම දන්නවා.

දැනට කලඑළි නොදුටු අපේ ග්‍රාමීය කලා අංශ මොනවාද?

අපේ ගොක්කොළ කලාව, පන්නන් කලාව, බලිතොවිල්වලට අමතරව ගම්වල තිබුණ ගොටු මාලා - පිදේනි වාගේ බොහෝ දේ ගැන අපේ අවධානය යොමු විය යුතුයි. ග්‍රාමීය මට්ටමේ කලාකරුවන් හා කලාවන් හැඳිනගෙන, ප්‍රාදේශීය ලේකම් මට්ටමේ ඔවුන්ගේ කුසලතා එළි දැක්වීම මගින් ඔවුන්ට නිසි ඇගැයීම් කළ හැකියි.

දැනට පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවාවන් හා සේවක පිරිස් ගැනත් නිසි අධීක්ෂණයක් කළ යුතුයි. මේ වැනි වැඩපිළිවෙළක් මගින් උතුරු මැද සංස්කෘතික අංශයට විශාල වැඩ කොටසක් කළ හැකියි. ඒ වගකීම, ඒ යුතුකම නොපිරිහෙළා ඉටු කරන්න මම විධිමත් පියවර රැසක්ම ගන්නවා. දැනටමත් එම කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ.

මේ සියලු කරුණු කාරණා ඔබ අපේක්ෂා කරන ආකාරයෙන් ඉටු කරන්න හැකි වෙයි කියා ඔබ හිතනවාද?

ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත්, උතුරු මැද ආණ්ඩුකාරතුමාගේ සහ ප්‍රධාන අමාත්‍යතුමාගේ මඟ පෙන්වීමත්, නිරන්තරව මට ශක්තියක් වෙනවා. අනෙකුත් පළාත් සභා මැති ඇමතිතුමන්ලා සහ මගේ කාර්ය මණ්ඩලයත්, රාජ්‍ය නිලධාරීන් මේ වැඩපිළිවෙළ සාක්ෂාත් කරගන්න මාත් එක්ක සිටින බව මට විශ්වාසයි. ඒ ආශිර්වාදය මා වෙත ලැබෙන තුරාවට මගේ වැඩපිළිවෙළ අතිසාර්ථකව ඉදිරියට ගෙන යන්න මට හැකියාව තියෙනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා