අනඳ විදුහල බැබළවූ උ: පෙළ විශිෂ්ටයෝ

අනඳ විදුහල බැබළවූ උ: පෙළ විශිෂ්ටයෝ

මෙවර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා සහ ගණිත අංශයේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන ඇතුළු ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට කීර්තිමත් පාසලක් වන කොළඹ ආනන්ද විදුහලට හැකි වී තිබේ.

විදුහල්පති කිත්සිරි ලියනගමගේ

ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය පසිදු ගිම්හාන් සිසුවාද ගණිත අංශයේ ප්‍රථම ස්ථානය නිසල් සඳරැස් සිසුවාද හිමිකර ගෙන ඇත.

ජීව විද්‍යා අංශයේ සසිඳුට දිවයිනෙන් දෙවැනි ස්ථානයද, ගණිත අංශයේ නිසල්ට දිවයිනෙන් හතරවැනි ස්ථානයද හිමිව තිබේ.

මේ ජයග්‍රහණ ඇතුළු ජයග්‍රහණ රැසක් කොළඹ ආනන්ද විදුහලට හිමිව ඇති අතර, ඒ සාමාර්ථ තුනම ලබාගත් සිසුන් සංඛ්‍යාව 81ක් ද A -2, B - 1 සමාර්ථ ලබාගත් සිසුන් සියයද ඉක්මවා සිටී.

මේ ජයග්‍රහණයට හේතුව මේ සිසුන් දිනපතා පාසලට පැමිණීම බවත්, ඔවුන් පාසල ආශ්‍රීතව ලබාගත් බෞද්ධ ආභාසය වන බවත් කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා දිනමිණට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

මේ ජයග්‍රහණ අත්පත් කර ගත් සිසුන් සමඟ සිදු කළ කතා බහේදී ඔවුන් අපට ප්‍රකාශ කර සිටියේ, ආනන්දේ මෑණි සෙවනේ සිටින ගුරු මවුපියවරුන් මේ දරුවන්ට මහත් පිටිවහලක් වූ බවය.

ඔවුන් ප්‍රකාශ කළේ මේ දරු පිරිස ඔවුන්ට අකුරු කළේ වේලාව හෝ වෙනත් කිසිදු කාර්යභාරයක් ගැන නොසිතමින් බවයි. සෑම අවස්ථාවකම විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය ලබා දුන් ඔවදන් ඔවුන්ට ආශිර්වාදයක් වූ බව ඔවුහු පැවසූහ.

හැම වාර විභාගයක්ම අ.පො.ස. උ.පෙළ විභාගය මෙන් සිතා ඔවුහු ලකුණු අතරට ගිය බව අවධාරණය කළ අනඳ ජයග්‍රාහකයෝ, එහිදී ආචාර්ය මණ්ඩලය ඔවුන් අගය කළ බවත්, ධෛර්යවත් කළ බවත් ප්‍රකාශ කළහ.

පාසලේ බාහිර විෂය කටයුතුවලටද මොවුන් එකසේ එක්වී ඇති අතර, මේ ජයග්‍රහණය සඳහා තම මාපියන් ඇතුළු පවුලේ සියලු දෙනා මෙන් උපකාරක පන්තිද පිටිවහලක් වූ බව කීවේ ය.

ආනන්ද විදුහලේ රසායනාගාර තම පරීක්ෂණ කටයුතු සඳහා මහත් ශක්තියක් වූ බවද මේ සිසුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා;

විදුහල්පතිතුමා සහ ජයග්‍රහණයට මඟ පෙන්වූ ගුරු භවතුන්

“මෙවර ආනන්ද විදුහලේ උසස් පෙළ සමස්ත ප්‍රතිඵලයම ඉහළ ගොස් තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් විද්‍යා ගණිත පළමු වැනියා මෙන්ම, ජාතික තලයේ දෙවැනි ස්ථාන අප විදුහලට හිමි වී තිබෙනවා. ඒ - 3 ලබාගත් සිසුන් 81ක් සහ A -2, B - 1 ලබාගත් සිසුන් 100 ද ඉක්මවා සිටිනවා.

ගුරුවරුන්, දරුවන් හා මාපියන්ගේ ඕනකම මතයි මේ ප්‍රතිඵලය ලැබී තිබෙන්නේ. මේ සියලුම දරුවන්ගේ මනස ඉහළ මට්ටමක තිබෙනවා. මේ දරුවන් බාහිර ක්‍රියාකාරකම් රැසකටද සම්බන්ධ වුණා.

ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානයද, කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයද ලබාගත් පසිදු ගිම්හාන්

“එදිනෙදා ඉගැන්වූ දේ එදිනෙදා හොඳින් පාඩම් කළා. මුල ඉඳලම මම පිළි‍ෙවළට පාඩම් වැඩ ටික කළා. මගේ පියා ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයෙක්. අම්මා ගෘහණියක්.

ආර්ථික අපහසුතා තිබුණත් මම දිගටම පාඩම් වැඩ කළා. විදුහල්පතිතුමාගේත්, අංශභාර ගුරු මණ්ඩලයෙන්, ආදී ශිෂ්‍ය සංගමයෙන් විශාල සහායක් ලැබුණා. පුංචි කාලේ ඉඳලම වෛද්‍යවරයෙක් වීමේ සිහිනය මා තුළ තිබුණා. හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා තමයි මම ආනන්දයට ආවේ. මේ ජයග්‍රහණයට විදුහලින් ලැබුණු සහාය විශේෂයෙන් අගය කරනවා.

ගණිත අංශයෙන් දිවයිනෙන් හතරවැනි ස්ථානයත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයත් ලබාගත් නිසල් සඳරැස් රණසිංහ;

“මට විශාල පීඩනයක් ඇති වුණේ නැහැ විභාගය සම්බන්ධව. පදිංචිය දෙහිවල. මම එදිනෙදා වැඩ එදිනෙදාම සිදු කළා. කුඩා කාලේ වෛද්‍යවරයෙක් වෙන්නයි මම සිතා සිටියේ.

ඒත් එය උසස් පෙළට එද්දී වෙනස් කළා. අම්මයි, තාත්තයි දෙන්නම වෛද්‍යවරුන්. අයියා මොරටුව විශ්වවිද්‍යාලයේ. අපි සියලු දෙනාම වගේම විභාගය ආරම්භ වන තුරු පාසලට ගියා. ප්‍රායෝගික පරීක්ෂණ විශාල පිටිවහලක් වුණා මගේ ජයග්‍රහණයට. විදුහල්පතිතුමා, උප විදුහල්පතිවරුන්, අංශභාර, විෂයභාර ගුරු මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය හිමි වෙනවා.

ගාල්ලගේ මලිත් තිවංක ගණිත අංශය කොළඹ දිස්ත්‍රික් - 08, දිවයින - 13

“මම පදිංචි මහරගමයි. අම්මා, තාත්තා දෙන්නම ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන්නේ. උසස් පෙළ ආරම්භ කරද්දීම උනන්දුවෙන් වැඩ කළා. සෑම වාර විභාගයක් සඳහාම උනන්දුවෙන් පාඩම් කළා. උසස් පෙළට කියා අලුතින් පාඩම් කරන්න අවශ්‍ය වුණේ නෑ. පාසලෙන් වගේම ගෙදරින් මට විශාල සහයක් ලැබුණා.

රවිදු බංගමුආරච්චි - ගණිත අංශය
(කොළඹ දිස්ත්‍රික් - 06, දිවයිනේ - 11)

“මම පදිංචි මහරගම. මගේ අම්මයි තාත්තයි දෙන්නම සේවය කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ. විභාගය සඳහා විශාල මහන්සියක් නොවුණත්, මුල ඉදන්ම හොඳින් පාඩම් කළා. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට විශාල සහයක් ලැබුණා. පාසලින් ලැබුණු සහාය උපරිමයි”

නුවන් තාරක පෙරේරා (ගණිත අංශය)
(කොළඹ දිස්ත්‍රික් - 10, දිවයින - 26)

“මම පදිංචි කොස්ගම. පියා ව්‍යාපාරිකයෙක්. මව ගෘහනියක්. හොඳින් පාඩම් කළ නිසා පන්තියේ ලකුණු අතරට ආවා. පළවෙනියා වුණා. විෂය මාලාව විභාගයට පෙර අවසන් කළ නිසා, පසුගිය ප්‍රශ්න පත්‍ර කිරීමට හැකි වුණා. පාසලින් ලැබුණේ විශාල සහායක්. අවසන් දිනය වන තුරු මා පාසලට පැමිණියා. විෂය භාහිර වැඩත් සිදු කළා”

ලකිඳු චානුර ඇලකන්ද (වාණිජ අංශය )
(කොළඹ දිස්ත්‍රික් - 04, දිවයින - 13)

“මම පදිංචි මුල්ලේරියාවේ. සෑම වාර විභාගයකටම පෙර සිට සූදානම් වූ නිසා ලකුණු තිබුණා. ගුරුවරුන් මාව උනන්දු කළා. එදාට එදාට අදාළ සියලුම වැඩ කළා. පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වා. උපකාරක පන්තිවලටත් ගියා.

උත්පල සසංක(වාණිජ අංශය )
(කොළඹ දිස්ත්‍රික් - 06 - දිවයින් - 30)

“මගේ ජයග්‍රහණයට පාසලින් විශාල සහායක් ලැබුණා. ඉතා හොඳ ගුරු මණ්ඩලයක් අපට සිටියා. උපකාරක පන්තිවලටත් ගියා. AAT විභාගයත් සමත් වුණා. උසස් පෙළ විභාගයට පාඩම් කළේ මාස තුනේ සිටයි. එදිනෙදා වැඩ සාමාන්‍ය පරිදි සිදුකළා.

මේ ජයග්‍රහණයට උරදීමට විද්‍යා, ගණිත අංශයේ සහකාර විදුහල්පති එච්.ජී.කරුණාරත්න මහතා ගණිත අංශ ප්‍රධාන එස්.ආර්.ඩී.බණ්ඩාරනායක මහත්මිය , ජීව විද්‍යා අංශය භාර චන්ද්‍රිකා විජේවර්ධන මහත්මිය, වාණිජ අංශ භාර කේ.ඒ.බී.කරුණානායක මහතා, කලා අංශ භාර ශ්‍රියා සේනාධීර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට, මේ දරුවන් තුති මල් මිටක් දෙපා මුල තබා නැමදීමටද අමතක කළේ නැත.

ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ, සහකාර විදුහල්පති එච්.ජී.මහමිතව මහතා ඇතුළු පාලන අධිකාරිය නිසි විනයකින් දරුවන් අධ්‍යාපනයට යොමු කරවන්නේ, වසර 126ක් ඉපැරැණි ආනන්ද විදුහල රටට සැමදා කීර්තියක් අත්කරදීමට මඟ පෙන්වන නිසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා