ශ්‍රී ලංකා වේග පන්දු හමුවේ පාකිස්තානය 165කට දැවී යයි

ප්‍රදීප්-එරංග-ලක්මාල්ගෙන් අති විශිෂ්ට පන්දු යැවීමක්

ශ්‍රී ලංකා වේග පන්දු හමුවේ පාකිස්තානය 165කට දැවී යයි

නුවන් ප්‍රදීප්

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ප්‍රබල ප්‍රහාරයකට ලක්වූ පාකිස්තානය ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ ආරම්භක දිනයේදී ලකුණු 165කට දැවී ගියේය.

නුවන් ප්‍රදීප්, ශමින්ද එරංග හා සුරංග ලක්මාල් යන ශ්‍රී ලංකා වේග පන්දු බළඇණිය පාකිස්තාන පළමු කඩුලු හත ලබා ගැනීමෙන් පසුව දඟ පන්දු යවන රංගන හේරත් ඉතිරි කඩුලු තුන ලබා ගැනීමට සමත් විය.

ඊයේ පළමු දින තරගය නතර කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 57ක් රැස්කර ගෙන සිටි අතර කෞශල් සිල්වා හා කුමාර් සංගක්කාර ලකුණු 12 බැගින් ලබා ගෙන සිටියහ.

ප්‍රතිවාදී ටෙස්ට් කණ්ඩායමක මුල් කඩුලු හතක් ම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් ලබා ගනු ලැබුවේ කලකට පසුව ය.

දිනය පුරාම පන්දුවේ දෝලනයක් දක්නට ලැබුණු තරගයේ අති විශිෂ්ට පන්දු යැවීමේ රංගනයක යෙදුනු නුවන් ප්‍රදීප් ලකුණු 62කට කඩුලු 3ක් ලබා ගනිමින් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ශමින්ද එරංග ලකුණු 25කට කඩුලු 2ක්ද, සුරංග ලක්මාල් ලකුණු 45කට කඩුලු 2ක්ද ලබා ගැනීමෙන් පසුව රංගන හේරත් ලකුණු 26කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය.

පාකිස්තාන පිතිකරුවන් සිවු දෙනෙකු ම දැවී ගියේ කඩුල්ල පිටුපසට උඩ පන්දු ලබා දීමෙනි. තවත් කඩුලු 3ක් කඩුල්ල මුවා කිරීමේ වරද නිසා පාකිස්තානයට අහිමි විණි.

පන්දු යවන්නන් දස්කම් දක්වද්දී පන්දු රැකීමේදී උඩ පන්දු තුනක් ගිළිහිණි. මේ උඩ පන්දු තුන ම අතහැරියේ ‘ස්ලිප්’ ක්‍රීඩකයන්ය. එම උඩ පන්දු රැක ගැනුණා නම් පාකිස්තානය මීටත් වඩා අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුනේ ඒ දැවී යාම්වලින් බේරුණු අවස්ථාවන් තුනේදී පිතිකරුවන් තිදෙනා ම ලකුණු ලබා ගැනීම ආරම්භ කර සිටියේ නැති නිසාවෙනි.

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙසින් හඳුන්වනු ලැබූ ඩුබායි තණතීරුව ඊයේ වේග පන්දු යවන්නන්ට හිතකර වූයේ අනපේක්ෂිත අයුරිණි.

මේ තරගය සඳහා වන කණ්ඩායම් නම් කිරීමේදී සියළු දෙනා විස්මයට පත් කරවමින් දෙපිල ම ඇතුළත් කර තිබුණේ එක් දඟ පන්දු යවන්නෙක් බැගින් පමණි. පෙර දිනයේ පැවැති මාධ්‍ය හමුවේදී කණ්ඩායම් දෙකේම නායකයන් පවසා සිටියේ ඩුබායි තණතීරුව දඟ කැවෙන බැවින් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු තරගයට ක්‍රීඩා කරවන බවය.

විශේෂයෙන් පසුගිය මාස අට නවය තිස්සේ මේ ඩුබායි තණතීරුවේ ක්‍රීඩා කර ඇති පාකිස්තානයේ නායකයා පවා පෙරේදා කියා සිටියේ තම කණ්ඩායමට දඟ පන්දු යවන්නන් දෙදෙනකු ඇතුළත් වන බවය. මෙහි පන්දුව දඟ කැවෙන බව මිස්බා උල්-හක් ප්‍රකාශ කළේ ඉතිහාසයද දිග හරිමිණි.

ශ්‍රී ලංකාව මේ තරගය සඳහා තවත් වේග පන්දු යවන්නෙක් ඇතුළත් කරමින් නුවන් ප්‍රදීප් කැඳවා තිබිණි. ඔහු ඊයේ යළි ටෙස්ට් ක්‍රිකට් තරග බිමට පිවිසියේ වසරක කාලයක හිස්තැනකින් පසුවය. පාකිස්තානය ඔවුන්ගේ තුවාළ ලැබූ අද්නන් අක්මාල් කඩුලු රකින්නා වෙනුවට සාෆ්රාස් අහමඩ් ඇතුළත් කර තිබිණි.

රංගන හේරත්

ඩුබායි නගරයට ඊයේ උදේ වර්ෂාව ඇද හැළුනද ඊට කිලෝ මීටර 50ක් පමණ දුරින් පිහිටි ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණය හිරු එළියෙන් දීප්තිමත්ව තිබිණි. එවන් උද්යෝගිමත් උදෑසනක කාසියේ වාසිය දිනා ගත් ඇන්ජලෝ මැතිව්ස් තම කණ්ඩායම පළමුව පන්දු යැවිය යුතු බවට තීරණය කළේය.

සුරංග ලක්මාල් යැවූ තරගයේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුව ෂෙසාඩ් ගේ පිත්තේ අග ස්පර්ශ වී පිටුපසට පැමිණියද එය රැක ගැනීමට තෙවැනි ‘ස්ලිප්’ හි පන්දු රකිමින් සිටි මැතිව්ස් අපොහොසත් විය. ඒ වන විට පාකිස්තාන මුළු ලකුණු සංඛ්‍යාව 17ක් විය.

දෙවැනි උඩ පන්දුව ගිළිහුණේ 10 වැනි ඕවරයේ මහේල ජයවර්ධන අතිනි. ඒ උඩ පන්දුව රැක ගැනීමට ගත් උත්සාහයේදී මහේල ගේ වමතේ ඇඟිලිවලට තුවාළ සිදුවී ඊට මැහුම් දමන්නට සිදුවිණි. තුවාළය සිදුවූ සැණින් මහේල ඔහුගේ වම් අත්ල අල්ලා ගෙන පිටියෙන් ඉවතට ගිය අතර සචිත්‍ර සේනානායක පන්දු රැකීම සඳහා පිටියට ආවේය. උඩ පන්දුව මහේල වෙත පැමිණියේ මොහමඩ් හෆීස් ගේ පිත්තේ අග ස්පරශ වෙමිනි. එය හෆීස් මුහුණ දුන් පළමු පන්දුව වූ අතර පන්දු යවන්නා වූයේ නුවන් ප්‍රදීප් ය.

ඊට පෙර 10 වැනි ඕවරයේ නුවන් ප්‍රදීප් ගේ තෙවැනි පන්දුවට කඩුල්ල මුවා කරමින් අහමඩ් ෂෙසාඩ් ලකුණු 3කට දැවී ගියේය. පළමු කඩුල්ල බිඳ වැටෙන විට පාකිස්තාන මුළු ලකුණු සංඛ්‍යාව 28ක් විය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 57ක් රැස්කර ගෙන සිටියේය.

යළි තරගය ආරම්භ වී තෙවැනි ඕවරයේදී පාකිස්තාන දෙවැනි කඩුල්ල බිඳ වැටිනි. පැයට කිලෝ මීටර 133ක වේගයෙන් පන්දු යවමින් ඒ කඩුල්ල බිඳ හෙලුවේද නුවන් ප්‍රදීප් ය. මොහමඩ් හෆීස් ගේ පිත්ත පැරදවූ පන්දුව කඩුල්ලේ ගැටෙන විට ඔහු ලබා ගෙන සිටියේ ලකුණු 21ක් පමණි.

පන්දු 59කට මුහුණ දුන් හෆීස් හතරේ පහර 4ක් එල්ල කළේය. මුළු ලකුණු 107 දී යූනුස් ඛාන් (13) ද, මුළු ලකුණු 109 දී නායක මිස්බා උල්-හක් (1) ද දැවී ගියහ. මේ දෙදෙනා ම ආපසු ක්‍රීඩාගාරයට ගියේ කඩුලු රකින ප්‍රසන්න ජයවර්ධන වෙත උඩ පන්දු ලබා දෙමිනි. මේ කඩුලු දෙක ම ලබා ගත්තේ ශමින්ද එරංග ය. යූනුස් පන්දු 29කට මුහුණ දුන් අතර මිස්බා මුහුණ දුන්නේ පන්දු 7කට පමණි.


පාකිස්තානය පළමු ඉනිම
 

කේ.මන්සූර් ඇ.ප්‍රසන්න ප.ලක්මාල් 73
ඒ.ෂෙසාඩ් ක.මු.ක ප.ප්‍රදීප් 3
එම්.හෆීස් ප.ප්‍රදීප් 21
යු.ඛාන් ඇ.ප්‍රසන්න ප.එරංග 13
එම්.උල්හක් ඇ.ප්‍රසන්න ප.එරංග 1
ඒ.ෂෆික් ඇ.සිල්වා ප.ලක්මාල් 6
එස්.අහමඩ් ඇ.ප්‍රසන්න ප.ප්‍රදීප් 7
බි.භාටි නොදැවී 24
එස්.අජ්මාල් ඇ.සිල්වා ප.හේරත් 8
ආර්.අලි ක.මු.ක ප.හේරත් 0
ජෙ.ඛාන් ක.මු.ක ප.හේරත් 2

අති‍රේක 7

එකතුව සියල්ලන් දැවී (ඕවර 63.5) 165
කඩුලු බිඳ වැටීම: 1-23, 2-78, 3-107, 4-109, 5-118, 6-127, 8-151, 9-151 පන්දු යැවීම: ලක්මාල් 21-6-45-2, එරංග 14-4-25-2, ප්‍රදීප් 8-2-62-3, හේරත් 10.5-3-26-3
 

ශ්‍රී ලංකාව පළමු ඉනිම
 

ඩි.කරුණාරත්න ක.මු.ක ප.ජුනයිඩ් 32
කේ.සිල්වා නොදැවී 12
‍කේ.සංගක්කාර නොදැවී 12
අතිරේක 1
එකතුව එක් කඩුල්ලක් දැවී (ඕවර 16) 57
කඩුලු බිඳ වැටීම: 1-40 පන්දු යැවීම: ජුනයිඩ් 7-1-26-1, අලි 7-1-28-0, අජ්මාල් 1-1-0-0, භාටි 1-0-2-0

 

සවස තේ පානයට පෙර තවත් කඩුලු දෙකක් පාකිස්තානයට අහිමි විය. මේ කඩුලු දෙක ලබා ගත්තේ මෙතෙක් වේලාවක් කඩුල්ලක් ලබා ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් ය. මුළු ලකුණු 118 දී ආරම්භක පිතිකරු කුරාම් මන්සූර් හා මුළු ලකුණු 127 දී අංක 6 පිතිකරු අසාඩ් ෂෆික් (6), ලක්මාල් ගේ ‘ගොදුරු’ බවට පත්වූ පිතිකරුවෝ වූහ.

මන්සූර් දැවී ගියේ කඩුලු රකින ප්‍රසන්න ජයවර්ධන වෙත උඩ පන්දුවක් ලබා දෙමිණි. ෂෆික්, ‘ෂෝට් කවර්’ ස්ථානයේදී කෞශල් සිල්වා ප්‍රදර්ශනය කළ විශිෂ්ට උඩ පන්දු රැකීමකින් දැවී ගියේය. පන්දු 136කට මුහුණ දුන් මන්සූර් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමග ලකුණු 73ක් රැස් කරමින් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්විය.

තේ පානය සඳහා තරගය නතර කරන විට පාකිස්තානයේ කඩුලු හයක් ලකුණු 128කට බිඳ වැටී තිබිණි. දිවා ආහාරයත් සවස තේ පානයත් අතර පැය දෙකක ක්‍රීඩාවේ ඕවර 27ක් ඇතුළත පාකිස්තානයට කඩුලු පහක් ලකුණු 71කට අහිමි වී තිබිණි.

තේ පානයට පෙර ලබා ගත හැකිව තිබූ තවත් කඩුල්ලක් ශ්‍රී ලංකාවට අහිමිව ගියේ නැවත වතාවක් ‘ස්ලිප්ස්’ හි දී උඩ පන්දුවක් ගිළිහුණු නිසාවෙනි. එවර උඩ පන්දුව අතහැරියේ දිමුත් කරුණාරත්න ය.

පිතිකරුවා වූයේ බිලවාල් භාටි ය. ඒ වන විට ඔහු ලකුණු ලබා ගැනීම ආරම්භ කර සිටියේ නැත. වාසනාවෙන් ප්‍රයෝජන ගත් භාටි පාකිස්තාන ඉනිම අවසන් වන විට නොදැවී ලකුණු 24ක් ලබා ගෙන සිටියේය. පන්දු 49කට මුහුණ දුන් ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි.

තේ පානයෙන් පසුව යැවුනු දෙවැනි ඕවරයේදී පාකිස්තාන හත්වැනි කඩුල්ල බිඳ වැටෙමින් සෆ්රාස් අහමඩ් ලකුණු 7කට දැවී ගියේය. ඔහු මුළු ලකුණු 129 දී දැවී ගියේ නුවන් ප්‍රදීප් ගේ පන්දුවට ප්‍රසන්න ජයවර්ධන කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමිණි. එය ප්‍රසන්න ඊයේ අල්ලා ගත් හතරවැනි උඩ පන්දුව විය.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු තුන ලබා ගත්තේ දඟ පන්දු යවන රංගන හේරත් ය. සයීඩ් අජ්මාල් (8) කෞශල් සිල්වා වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගිය අතර රහට් අලි (0) සහ ජුනයිඩ් ඛාන් (2) දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිණි. අජ්මාල් හා අලි යන අටවැනි හා නවවැනි කඩුලු දෙක ම මුළු ලකුණු 151 දී හේරත් ලබා ගත්තේ එක ම ඕවරයේදීය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී දැවී ගිය එක ම පිතිකරුවා වූයේ දිමුත් කරුණාරත්න ය. ජුනයිඩ් ඛාන් ගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් දිමුත් මුළු ලකුණු 40 දී දැවී ගියේය. පන්දු 43කට මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් එල්ල කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා