කොදෙව්-නවසීලන්ත තරගාවලිය සමයි

කොදෙව්-නවසීලන්ත තරගාවලිය සමයි

සංචාරක බටහිර ඉන්දියා කොදෙව් පිල හා නවසීලන්ත පිල අතර ඊයේ හැමිල්ටන් හී පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයක් වාර්තා කළ කොදෙව් පිල තරග 2-2ක් ලෙස තරගාවලිය සමකර ගත්තේය. දෙපිල අතර පැවැති තුන්වැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබිණි.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිලේ ඉනිමට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් එකතුකළ කර්ක් එඩ්වර්ඩ්ස් නොදැවී ලකුණු 123ක් රැස් කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් නායක ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 106ක් වාර්තා කළේය. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 211ක සම්බන්ධතාවක් ගොඩ නැගිණි.

ආරම්භක පිතිකරු කීරන් පොලාඩ් වේගවත් ඉනිමක නිරතවෙමින් පන්දු 44කදී ලකුණු 73ක් රැස් ක‍ළේය. ඕවර 50 අවසානයේ කොදෙව් පිල කඩුලු 4කට ලකුණු 363ක් රැස් කළ අතර එය කොදෙව් එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්විය. පිළිතුරු ඉනිම ඇරැඹූ නවසීලන්තය ඕවර 29.5කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 160ක් පමණි. පන්දු යැවීමේදී නිකිටා ඇන්ඩර්සන් කඩුලු 4ක් දවාලූ අතර ඇන්ඩ්‍රි රසල් හා ජේසන් හෝල්ඩර් අතර කඩුලු 2බැගින් බෙදී ගියේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා