ඇමරිකාවේත් දිළිඳුකම මුළුමන්න්ම දුරු වී නෑ

ඇමරිකාවේත් දිළිඳුකම මුළුමන්න්ම දුරු වී නෑ

* ඇමරිකානුවෝ මිලියන 47ක් දුප්පතුන්

* දරුවන් පහකින් එක් අයෙක් දිළින්දෙක්

ලින්ඩන් ‍ජොන්සන් එක්සත් ජනපදයේ ජනාධිපතිව සිටිය දී ඔහුලේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී ම අමෙරිකාවේ දිළිඳුකමට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර දැන් 50වසරකින් පසු ඒ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් ඇතිව තිබෙන නමුත් අසමානත්වයේ පරතරය තවමත් පවත්නා බව වාර්තා වි තිබේ.

‍ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් දෙමසකට පසු 1964 ජනාවාරි 8 දා ලින්ඩන් ජොන්සන් කොංග්‍රසය හමුවේ කියා සිටියේ අමෙරිකාවේ දිළිඳුකමට එරෙහිව කොන්දේසි විරහිත යුද්ධයක් ඒ මොහොතේ පටන් ප්‍රකාශයට පත්කරන බවය. එපමණකින් නොනැවතුනු ඔහු දිළිඳුකමට එරෙහි එම යුද්ධය ජයගන්නා තෙක් එය නොනවත්වන බවද කියා සිටියේය.

සැබවින්ම 1964 එක්සත් ජනපදයේ පැවති 26%ක දිළිඳුකමේ අනුපාතය අද 16% දක්වා පහත බැස තිබේ. ආහාර සහන වැඩසටහන් හා බදු ක්‍රියාවලිය මේ තත්ත්වය ඇතිවීමට විශේෂයෙන් හේතුවි ඇති බව අයවැය හා ප්‍රතිපත්ති ප්‍රමුඛතා පිළිබඳ මධ්‍යස්ථානය පෙන්වා ‍දී ඇත. එහෙත් ලෝකයේ විශාලම ආර්ථිකය හිමි රට ලෙස දිළිඳුකම මුළුමනින්ම දුරැලීමට තවමත් එරට අසමත්ව ඇත.

2012 දී ළමයින් මිලියන 13ක් ඇතුළුව අමෙරිකානුවන් මිලියන 47 ක් දුප්පතුන් ලෙස ගණනය කෙරී ඇති අතර මෙය ඉතා විශාල සංඛ්‍යාවක් බව කෙන්ටකි සරසවියේ දිළිඳුකම පිළිබඳ පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනසංඛ්‍යා කාර්යාංශ වාර්තාවක දැක්වෙන්නේ 2009-2011 ගෝලීය අවපාතය හමුවේ සෑම අමෙරිකානුවන් තිදෙනකුගෙන් එක් අයකු දුප්පත් කම අත් විඳ ඇති බවය.

කෙසේවෙතත් දුප්පත්කම හා බැඳුනු මන්දපෝෂණය වැනි ප්‍රශ්න ජයගෙන ඇති බවත් තවත් සමහර ප්‍රශ්න ආංශික වශයෙන් ජය ගෙන ඇති බවත් පෙන්වා දෙන ඔවුන් සෞඛ්‍යාරක්ෂණ යා ආරක්ෂක වැඩසටහන් නොවන්නට දිළිඳුකමේ ප්‍රශ්නය දෙගුණ වනු ඇතැයි කියා තිබේ.

එහෙත් අමෙරිකානු දරුවන් පස්දෙනකුගෙන් අයකු දිළිඳුකමේ ගැලී සිටින අතර නිව්යෝර්ක් නගරයේ පමණක් පස්දෙනකුගෙන් එක් අයකුට වඩා ප්‍රමාණවත් ආහාර නොලැබෙන පවුලකට අයත් වන බව සාගින්නට එරෙහි සන්ධානය නම් සංවිධානය ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේ ප්‍රධාන නගර 25ක් ආහාර ආධාර ඉල්ලා ඇති අතර නිවාස රහිත වූවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබේ. දුප්පත් පොහොසත් පරතරය ද දරුණුලෙස වර්ධනය වෙමින් පවතින බවද ප්‍රකාශ වී තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා