පන්සල ජනතා සේවයේ කේන්ද්‍රස්ථානය විය යුතුයි

පන්සල ජනතා සේවයේ කේන්ද්‍රස්ථානය විය යුතුයි

දක්ෂිණ භාරතයේ ප්‍රධාන සංඝනායක, බෙන්තොට පිටාරඹ විහාරයේ විහාරාධිපති ආචාර්ය තලාවේ

සංඝරතන හිමි

දීර්ඝ කාලයක් තිස්සේ විදේශිකයන්ගේ ආධිපත්‍යයට නතුව විවිධ තාඩන පීඩනයන්ට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකි වූයේ 1948 වසරේදී නිදහස ලැබීමෙන් අනතුරුවය. එදා සුදු ජාතිකයන්ගෙන් නිදහස් කරගත් අප මාතෘභූමියට පසුකාලීනව එල්ලවූ ත්‍රස්තවාදී ආක්‍රමණ පරාජය කිරීමට හැකිවීම ද ශ්‍රී ලාංකිකයන් ලැබූ තවත් ජයග්‍රහණයකි. උදාකරගත් නිදහස සැමරිය යුතු ආකාරය හා එම නිදහස රැක ගැනීමට ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසිය යුතු ආකාරය ගැන දක්ෂිණ භාරතයේ ප්‍රධාන සංඝනායක, බෙන්තොට පිටාරඹ විහාරයේ විහාරාධිපති ආචාර්ය තලාවේ සංඝරතන හිමියන් සමඟ කළ සංවාදයකි මේ.

l 66 වැනි අභිමානවත් නිදහස සැමරීමට සූදානම් වෙන ශ්‍රී ලාංකිකයන්ට මෙවර නිදහස් දිනය සැබෑම නිදහස් දිනයක් ලෙස සමරන්න පුළුවන්ද?

මෙවර එළඹෙන්නේ සුවිශේෂී නිදහස් දිනයක්. මම හිතන්නේ මේ තමයි නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය. නිදහසින් පසු විවිධ ආපදාවන්ට ගොදුරු වෙලා හිටපු ශ්‍රී ලාංකිකයන්ට මේ යුගයේ පූර්ණ නිදහසක් භුක්ති විඳින්න ලැබෙනවා.

1948 පටන් මේ රටේ දේශපාලන වාතාවරණය හැලහැප්පීම්වලින් පිරිලා තිබුණා. ජාතිවාදය, විප්ලවවාදය, අන්තවාදය යනාදී දේවල් සමඟ තමයි පසුගිය අවුරුදු 60 ක් පමණ අපි ගත කළේ. අරගලවලට මැදිවෙමින් පැමිණි කටුක කාලපරිච්ඡේදයක් නිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහසක් ඒ කාලේ තිබුණේ නැහැ.

විශේෂයෙන් 71 වගේම 89 කාලවකවානුවලදී ඉතාම කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න ජනතාවට සිදු වුණා. ඒ වගේම පසුගිය කාලයේ ඇතිවුණු ජාතිවාදී අරගල නිසා කවුරුත් ජීවත් වුණේ ත්‍රාසයෙන් සහ භීතියෙන්.

නමුත් ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගත් දා පටන් බැලුවහොත් මේ තමයි ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය. අද රට පුරාම නිදහස් වාතාවරණයක් තිබෙනවා. අද ඕනෑම කෙනෙකුට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා නිදහසේ ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ අවස්ථාවේ ඉතා උත්කර්ෂවත් අන්දමින් නිදහස භුක්ති වෙන්න ඕනා.

l ලේ, දහඩිය වගුරුවමින්, ජීවිත දහස් ගණනක් පූජා කරමින් විශාල කැපකිරීම් සමුදායක් සමඟ උදාකරගත් නිදහස සැමරීම‍ට උත්සව පැවැත්වීම පමණක් ප්‍රමාණවත්ද?

නැහැ, අද අපේ වර්තමාන පරපුරට නිදහස, අතීතය අමතක වෙලා. ඒ නිසා වත්මන් පරපුරට වගේම අපේ රටේ අනාගතය භාරගන්න සිටින බාල පරම්පරාවටත් නිදහසේ අභිමානය පිළිබඳව කියා දිය යුතුයි. විශේෂයෙන් අපේ අතීත උරුමයන් හා අපේ වටිනා ඉතිහාසය පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතුයි.

ඔවුන් තුළ ජාතික හැඟීම, ජාතික චින්තනය ඇති කරන්න ඕනා. මෙතනදී ජාතික චින්තනය කියන්නේ ජාතිවාදය නොවෙයි. එය නිවරැදිව වටහා ගත යුතුයි. මේ අපේ රටය යන හැඟීම සියලු දෙනා තුළම ඇති කරන්න ඕනා. සිංහ‍ල අපිට වගේම මුස්ලිම්, දෙමළ ජනතාවටත් මේ නිදහස සමරන්න අයිතියක් තිබෙනවා.

ඒ වගේම මේ සිංහල බෞද්ධ රටක්ය යන අදහසත් ඒ අය මතක තබා ගත යුතුයි. අපේ රටේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ලෝකයේ කිසිම රටක නැහැ. අනෙකුත් සියලුම රටවල ප්‍රජාතන්ත්‍රවාදී රාමුව දිරාපත් වෙලා.

අපේ අසල්වාසී ඉන්දියාව ගතහොත් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අඩුපාඩු රැසක් තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් අගය කරනවා. ඒකට හේතුව මේ රටේ ජනතාව තුළ තිබෙන මෛත්‍රිය හා කරුණාවයි. මේ බෞද්ධ රටේ ජාතින් කිහිපයකට අයත් ජනතාව ඉතාමත් සමගියෙන් සමාදානයෙන් ජීවත් වන්නේ සිංහල බෞද්ධ ජනතාව තුළ තිබෙන මෛත්‍රිය හා කරුණාව නිසයි. එය අපි ගරු කළ යුතුයි.

l ජාතික චින්තනය වගේම ජාතික නායකත්වයක අඩුවකුත් අද අපේ සමාජයේ තිබෙනවා නේද?

අද සමාජය ලොකු වෙනසක්, පරිවර්තනයක් සිදු විය යුතු කාලයක්. සියලුම දෙනා හොඳ චින්තනයකින් පෝෂණය විය යුතුයි. විශේෂයෙන් එකම ජාතිකයක්ය යන හැඟීම සියලු දෙනාටම කාවැද්දිය යුතුයි. මේ හැගීම සිංහල වගේම දෙමළ, මුස්ලිම් ජාතීන්ටත් ලබා දිය යුතුයි.

එවිට කිසිම රහස් ව්‍යාපාරයක් ඇති වෙන්නේ නැහැ. නිදහස ලබන කාලයේ නිදහස දිනාගත යුතුයි කියන හැඟීමෙන් සියලු දෙනාම එකමුතු වී සිටියා. නමුත් එතැන් පටන් විවිධ හැලහැප්පීම් ආවා. මම හිතන්නේ ඒකට හේතුව නිදහස ලැබුණු ක්‍රමයේ වැරැද්ද.

ලැබුණු නිදහස මීට වඩා ජනතාවට දැනෙන ආකාරයට ලැබුණා නම් ජනතාව එදා තිබුණු එකමුතුකම හැමදාම රැකගන්න තිබුණා. ජනතාව තුළ හොඳ ගැඹුරු චින්තනයක් ඇති කරන්නත් පුළුවන් මේ යුගයේ පමණයි. ජාතික නායකයන් වගේම ජාතික චින්තනයක් මේ රටේ ඇති නොකළහොත් විවිධ හැලහැප්පීම් අනාගතයේදිත් එන්න පුළුවන්.

l නායකයෙකු තෝරාපත් කර ගැනීමේදී නායකත්වයේ සුදුසුකම් ලෙස සැලකිය යුත්තේ මොනවාද?

රටකට ප්‍රබල දේශපාලන නායකත්වයත් ඉතා වැදගත් වෙනවා. මම හිතන්නේ ජනාධිපතිතුමාගෙන් අද රටට හොඳ නායකත්වයක් ලැබෙනවා. නමුත් දැන් ඡන්දවලට ඉදිරිපත් වන ඇතැම් අය දිහා බැලුවම දේශපාලන දර්ශනයකින් පෝෂණය වුණු කීදෙනාද ඉන්නේ.

චිත්‍රපටවල රගපෑවට එය දේශපාලන දර්ශනයට සුදුසුකමක් නොවෙයි. අපේ රට රැක ගන්න නම් හොඳ මහත්මා ගතිගුණ ඇති බුද්ධිමත් දේශපාලන බලමණ්ඩලයක් ගොඩනැ‍ගෙන්න ඕනා. එය ප්‍රජාතන්ත්‍රවාදී රටකට අවශ්‍ය දෙයක්. ඒ වගේම තෝරා ගන්න නායකයන්ට හොඳ දෘෂ්ටියක් තියෙන්න ඕනා. රට තව දුරටත් පෙරට ගෙන යා හැක්කේ එවිටයි.

l එදා හික්කඩුවේ සුමංගල වැනි නායක හාමුදුරුවරු මෙරට නිදහස උදෙසා කැපවී ක්‍රියා කළත් එවන් නායකත්වයක් අද භික්ෂූන් වහන්සේලාගෙන් නොලැබෙන්නේ ඇයි?

සෑම භික්ෂුවක් තුළම පොදු අරමුණක් අදහසක් තිබිය යුතු වුණත් අද භික්ෂූන් වහන්සේ අතර තිබෙන්නේ පෞද්ගලික අරමුණු, මතවාද. භික්ෂූන් වහන්සේලාගෙන් අද සැබෑ නායකත්වයක් නොලැබෙන්නේ ඒ නිසයි. නමුත් රටට සමාජයට වැදගත් අවවාද අනුශාසනා ලබා දීම සම්බන්ධව ආගමික නායකත්වයට විශාල වගකීමක් තිබෙනවා.

විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා මේ සඳහා පෙරමුණ ගත යුතුයි. අදවනවිට භික්ෂුව කෙරෙන් එම වගකීම ඉටු වෙන්නේ නැහැ. එදා භික්ෂූන් වහන්සේලා ජාතික නිදහස් සටනේ පෙරමුණ්ම සිටියා. අපි අදටත් ඒවා මහත් අභිමානයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මෙතැන් පටන්වත් සියලුම භික්ෂූන් වහන්සේලා එකමුතුව ජාතික චින්තනයක් ජනතාව තුළ ඇති කරවා නිවරැදි නායකත්වයක් ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුයි.

l එදා රාජරාජ මහා මාත්‍යාදීන්ට අවවාද අනුශාසනා කරමින් ඉදිරියෙන් සිටි භික්ෂුව අද සිටින්නේ නායකයන්ට පිටුපසින් නේද?

අද පොදුවේ ගත් කල හැම හඩකම තිබෙන්නේ පෞද්ගලික අවශ්‍යතා. එදා රජවරුන්ට ඇමැතිවරුන්ට අවවාද අනුශාසනා කරපු පරිද්දෙන් අද ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඇතැම් භික්ෂූන් වහන්සේලා‍ගේ පෞරුෂත්වය බිඳ වැටිලා. අද භික්ෂූන් වහන්සේලාත් පටු අරමුණුවලට සීමා වෙලා.

එය ලොකු පාඩුවක්.ලැබෙන වරප්‍රසාද නැතිවෙයි කියන හැඟීමෙන් අවවාද අනුශාසනා බාල කරනවා. ජනතාවට හොද වගේම නරකත් පෙන්වා දීම භික්ෂුවගේ වගකීමක්. ඒ වගේම පක්ෂයක් හෝ පුද්ගලයෙක් තෝරාගන්න භික්ෂූවකට අයිතියක් නැහැ.එයින් සිදුවන්නේ රට අගාධයට යෑමයි. භික්ෂූවගේ වගකීම විය යුත්තේ රට බේරා ගැනීමයි. ඒ නිසා එවැනි ආගමික නායකත්වයක් රටට අවශ්‍යයි.

l එදා වගේම තවමත් ආගමික ආක්‍රමණ අපේ සමාජයට එනවා. ඒවාට මුහුණ දීමට බෞද්ධයන් ක්‍රියා යුත්තේ කොහොමද?

සිංහලයාගේ පිරිහීමක් තිබෙනවානම් ඒ අන් අයගේ අඩුපාඩුවක් නිසා නොවෙයි. අපේම අඩුපාඩුවක් නිසයි. බෞද්ධයන් ලෙස අපි අන් අයට නොසලකා සිටියහොත් අන්‍යාගමිකයන් රිංගලා බෞද්ධයන් ඔවුන්ගේ ආගම්වලට හරවා ගන්නවා.

ඒ නිසා අපි නැති බැරි උදවිය පිළීබඳ අවධියෙන් ඉන්න ඕනා. බෞද්ධ ක්‍රමයයි අන්‍ය ආගම් ක්‍රමයයි එකකට එකක් පරස්පරයි. අන්‍ය ආගම් ගෙනයන්නේ ව්‍යාපාරයක්. අන්‍යාගමිකයන් අපේ දිළිදු ජනතාවට මිල මුදල්, බඩු බාහිරාදිය ලබා දී ආගම්වලට හරවා ගන්න උත්සාහ කරන්න පුළුවන්.

ඒ නිසා අපි අවදියෙන් ඉන්න ඕනා. ඒ වගේම අපිට පුළුවන් හැටියට අපි ජනතාවට උදව් උපකාර කළ යුතුයි. අපි කරන්නේ සේවයක්. අන් අය මැදිහත් වෙන්නේ අපේ ‍සේවය නිසියාකාරව ඉටු නොවන අවස්ථාවේදීයි. ඒ නිසා අපි පන්සල කේන්ද්‍ර කරගෙන මේ සේවය ව්‍යාප්ත කළ යුතුයි.

ඒ වගේම බෞද්ධ දර්ශනය මත පිහිටලා කටයුතු කරනවා නම් කිසිදු ආක්‍රමණයක් එන්නේ නැහැ. ආක්‍රමණ ආවත් අපි ‍කලබල වී පොලු මුගුරු ගත යුතුත් නැහැ. කලබල වී ක්‍රියා කළහොත් ජාත්‍යන්තරයේ අපිට විරුද්ධව ක්‍රියා කරන්නන්ට එය වාසියක්. ඒ නිසා එවැනි අවස්ථාවලට ස්ථානෝචිතව ක්‍රියා කළ යුතුයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා