එකල කළ හමු වූ කල

එකල කළ හමු වූ කල

ජනවාරි 17 වැනිදා ඇරැඹි මැටි කළය ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා දක්වා සීගිරිය පරිශ්‍රයේදී පැවැත්වේ.

ඕ පඩිපෙළ අසල තාවර වන්නට වූයේ දිය පොකුණ පෙනි පෙනීය. නිරුවත් යටි පතුල ළා රශ්මියකින් දැවෙන්නට වූයේ එළිමහනේ

සීගිරි මැටි කළය

*සොයා ගත් දිනය - 2013 නොවැම්බර් 01
* සොයා ගත් ස්ථානය - සීගිරිය උතුරු ඇතුල් දිය අගල
* කටේ විෂ්කම්භය - සෙ.මි. 12
* බඳෙහි විශාලත්වය - සෙ.මී. 26
* කළයෙහි උස - සෙ.මී. 30ක් පමණ
* අයත් වන කාලය - ක්‍රි.ව. 4 - 5 සියවස.
* භාවිතය - දිය නෑමට හෝ ගෘහස්තව ජලය ගබඩා කර තබන්නට
භාවිත කළා යැයි විශ්වාස කෙරේ.

 හෙයිනි. රජ්ජුලාවෝ කළය ‍රැගෙන එනු පෙනෙයි. මේ තරුණිය කළයෙන් දිය නෑම ප්‍රියය. ඒද පොකුණෙනි. ඉතා අඩුවෙන් සළු පිළි හැඳගෙනය. සුවඳ පැන් නාන්නේ අන්තිමටය. රජ්ජුමාලා අත ඇති කළය ඕ දෑතට ගත්තේ ප්‍රවේසමෙනි. එහි මතුපිට දිය ‍රැළි ඇන්දා සේය. හැඩය යාන්තමින් බුබ්බුලාකාරය. සිහින්ව නැඟුණු කට පෙදෙස ලලනාවකගේ ගෙලක් සිහිපත් කරවන සුලුය. අලංකෘතය.

මේ ඈ දිය නෑ ඒ කළය විය හැකිය.

බිසවක උද්‍යානය ඇතුළත තැනූ ශ්වේත මණ්ඩපයේ සක්මනේය. කපු රෙද්දෙන් කළ කොට්ටා කිහිපයක් බිම් මට්ටමෙන් අතුරා ඇත. ඒ අසල කුඩා කනප්පුවකි. බිසව කොට්ටයකට බර වූයේ මැටියෙන් තැනූ කුසලානයක් අතට ගනිමිනි.

කනප්පුව මත මල් ලියකමින් සපිරි දම් පැහැයට හුරු දුහුල් රෙදි කැබැල්ලකි. ඒ මත මැටියෙන් තැනූ බුබ්බුලාකාර කළයකි. ඒ බඳ වටා දම් පැහැති රෙදි කැබැල්ලක් ගැට ගසාය. ඇතුළත සුරාය. ඕ කුසලානයට සුරා පුරවා ගත්තේ සේවිකාවන්ද නොතකමිනි. රජු මේ දැන් එනු ඇතැයි ඈට සහතිකය. මේ සුරා ඔඩම ඔහුටය.

ඉතින් ඒ සුරා තිබූයේ මේ මැටි කළයේ විය හැකිය.

එකියක දිය පිරවූ කළය සැහැල්ලුවෙන් දෝතට ගෙන ඇවිද යන්නේ උතුරු දොර‍ටුව අසල සේවිකාවන්ගේ ගිමන් කුටිය වෙතය. ඇගේ දෑතට සීතල දැනෙයි. ඇගේ නළලින් දා බිඳු නැ‍ඟෙයි. කුමක් සිදු විය හැකිද? ප්‍රමාදයෙන් ගෙන ආ දිය ප්‍රධාන සේවිකාවගේ උදහසට ලක් විය හැකිද?

මේ එවන් එකියක ජලය පුරවා ගෙන ගිය කළය විය හැකිය.

බොහෝ අනුමානය. එකම කළයකි. ඒද මැටිය.

ක්‍රි.ව. 4-5 වන සියවසට පමණ අයත් යැයි සැලකෙන මේ අලංකෘත මැටි කළය සැඟව තිබුණේ සීගිරිය ඇතුල් දිය අගලෙහි උතුරු කොටසෙහි වැඩ බිම් අංක 139නි. මේ ජනවහරෙහි එන්නේ අතලය නමිනි. ප්‍රමාණයෙන් කළයකට වඩා කුඩා වූද,හැඩයෙන් කළයකට සමාන වූද අතලය බහුලව භාවිත කරන්නේ ස්නානයටත්,ජලය ගැනීමටත්ය.

මධ්‍යම සංස්කෘතික අරමුදල හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් සීගිරිය භූමියේ එළිමහනේ විසල් කුටියක් තනා මහජන ප්‍රදර්ශනයට තැබුණේ එහෙව් මැටි කළයකි. ජනවාරි 17 දා සිට 31 දා තෙක් පැවැත්වීමට නියමිතව තිබූ මේ මැටි කළය ප්‍රදර්ශනය දින දිගු කර ගත්තේ පෙබරවාරි 04 දා තෙක්ය. ඒ සීගිරියට ගලන ඉමහත් ජන ගංගාවගේ ප්‍රසාදය පතාය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් සංවිධානය කෙරුණ ‘සීගිරිය මැටි කළය'ප්‍රදර්ශනයට සමගාමීව නවීන වළං වෙළෙඳපොළක්ද සීගිරිය භූමියේ දකින්නට ලැබුණි. ජනවාරි 17,18.19 තෙදින තුළ ප්‍රදර්ශන භූමියේ සකපෝරුවකින් මැටි වළං තැනෙන්නට විය.

එපමණක් නොව තැනුණ වළං පුලුස්සා ගන්නා ආකාරයත් දැක බලා ගත හැකි විය. ප්‍රදර්ශනයේ තේමාව වූ සීගිරිය මැටි කළයට අමතරව එතැන තවත් මැටි භාණ්ඩ රාශියකි. සීගිරිය කළයට පෙර හෝ පසුව නිෂ්පාදනය කළ අනුරාධපුර, පොළොන්නරුව යුගවල මැටි කළ සහ තවත් එවැනි භාණ්ඩ රාශියකි උසැති කුලුනු වැනි තැන්වල වීදුරු හෙල්මට් ඇතුළේ ප්‍රදර්ශනයේය.

නුවර යුගයට අයත්

බුම්මැඩියක්

එක් තැනක ක්‍රි.ව.05 වන සියවසට අයත් හැඩකාර කොතලයකි. ඒ සීගිරියෙන් හමු වූවකි. ඊළඟට සමාන කාල නිර්ණයක් සහිතව පිදුරංගලින් හමු වූ ළිං කළයකි. කඳ අහිමි හිස පමණක් සු‍රැකි කළයක් පරිපූර්ණ මැටි භාජන අතර උජාරුවෙනි. සීගිරියෙන් හමු වූ මේ මැටි බඳුන් අතර පැ‍රැන්න වසර 3000ක අතීතයට අයිති වූවකි.

පිළිස්සුම් තාක්ෂණය හා නිර්මාණ ලක්ෂණ අනුව එම මැටි බඳුන් කළු, රතු, පඬු පැහැති, වර්ණාලේපිත හා මෝස්තරාත්මක යනුවෙන් කොටස් කිහිපයකට වෙන්කර දැක්විය හැකිය. ඒ අතර වඩාත් සුලබ රතු බඳුන්ය. හැඩය හා උපයෝගීතාව අනුව බඳුන් වර්ග 45ක් සීගිරියෙන් හමු වී ඇත.

ඒ අතර තිබෙන නූතන මැටි කළ අතරින් සියුම් හුයක් සේ දිව යන්නේ එක්,එක් පාරම්පරික ක්‍රම සහ ප්‍රදේශ අනුව මැටි භාණ්ඩ සැකසීමේ කලාව විසිරී ඇති ආකාරයයි. මිහින්තලේ, ක‍ටුපොතගමින් ලැබුණු අතලය පෙන්වන ශිල්පීය ක්‍රමවලට හාත්පසින්ම වෙනස් ක්‍රමයක්. පෙන්වන පණ්ඩිතරඹෑව, ගලෙන්බිඳුනුවැව කළය ඊට අඩි කිහිපයක් ඔබ්බෙනි. සියල්ලටම පි‍ටුපසින් හැංගීගෙන ඉන්නේ බුම්මැඩියකි. ඒ අනුරුවකි. අයිතිය මහනුවර යුගයටය.

පාරම්පරික කුඹල් ගම්මානවල නිර්මාණය කෙරෙන විවිධ හැඩයේ මැටි කළ

2013 ජනවාරියේ පටන් ගත් උතුරු දිය අගලේ කැණීම් උත්කර්ෂයට නැංවුණේ 2013 නොවැම්බරයේදීය. ඒ මීටර් 60ක් දිග, මීටර් 28ක් පළල උතුරු දිය අගලේ පතුළෙන් හමුවූ නොකැඩුණු, නොබිඳුණු මේ අපූරු අතලය නිසාය. මීටර් 4 1/2ක් ගැඹුරේ ඔහේ වැතිරීගෙන සිටි මැටි කළයේ මුවේ විෂ්කම්භය සෙන්ටිමීටර් 12කි. බඳේ විෂ්කම්භය සෙන්ටිමීටර් 26කි.

රජ්ජුලාවෝ දිය නාන්නට ගෙන ගිය කළය උතුරු ප්‍රකාරයේ දිය අගලට අත් හරින්නට ඇතැයි නොසිතිය යුතුය. ඕ එතරම් අපරික්ෂාකාරී නැත. බාගදා මේ සීගිරිය නගරයම නටබුන්ව ගිය පසුව,දිය අගල්,ප්‍රාකාර ආදිය වැසී ගිය පසුව කාටත් හොර රහසේ වැළලෙන්නට ඇති මැටි කළයකි. ඒත් නැත්නම් සුරා ඔඩමකි. ජලය පුරවා තැබූ බඳුනකි. කාට නම් ඒ නිවැ‍රැදිව කිව හැකිද? කාශ්‍යප රජුවත් ඒ නොදනී.මෙවන් සුළු කාරණා ගැන ඔහු දැන සිටින්නට ක්‍රමයක් නැත. මේ නම් දාසියකගේ නොමනා ක්‍රියාවකි.

සීත මාලිගාවේ බැළ මෙහෙවර කළ එකියකගේ සූත්තරයකි. මැටි කළයකි. අතලයකි. ක්‍රි.ව.05 වන සියවසට අයත් සාටෝප වස්තුවකි. ඉඳින්,මම අසමි; මෙවන් කළයක් නැළවුණේද ඔබ උකුලේ ලන්දූ ?


නොබිඳුණු-නොකැඩුණු මැටි කළය මෙයයි

කේ.බී. චන්දන වීරසේන

ව්‍යාපෘති කළමනාකරු

සීගිරිය ව්‍යාපෘතිය - මධ්‍යම සංස්කෘතික අරමුදල

‘මේ මැටි කළය කාශ්‍යප යුගයට අයත් කියලයි අපි නිගමනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රි.ව.04-05 වැනි සියවසට අයිති එකක්. හරියටම කියනවා නම් 478-495 දක්වා කාලය තුළ රජ කරපු කාශ්‍යප රජ්ජුරුවන්ගේ රාජ්‍ය කාලයට අයත් මැටි කළයක් තමයි මේ හමු වෙලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්.

වසර 2700ක් පමණ මේ කළය පැ‍රැණියි කියලත් කියන්න පුළුවන්. නොබිඳුණු,නොකැඩුණු තත්ත්වයෙනු ලැබුණු මේ මැටි කළය ආරක්ෂා කර ගන්න එකයි දැන් අපි කරන්න ඕනා. අපි විස්වාස කරනවා අතලය නමින් හඳුන්වන මෙය ජලය ‍රැගෙන ඒමට භාවිත කළ එකක්ය කියලා.

ඒ වගේම මේක ස්නානයට පාවිච්චි කළ එකක් කියලත් අනුමානයක් තියෙනවා. මොකද අපේ පැ‍රැන්නෝ කළෙන් තමයි නෑවේ. තවත් සමහර විට දිය බීමට පාවිච්චි කරන්න ඇති කියලත් කියන්න පුළුවන්.නැත්නම් දිය ගෙන එන්න පාවිච්චි කරන්න ඇති.

තවත් මේ වගේ මැටි භාණ්ඩ කැණීම්වලින් හමු වෙයි කියලා අපි හිතනවා. මොකද උතුරු දිය අගල කණිනකොට අපිට වලං ක‍ටු ගොඩක් හම්බ වුණා. ඒවා ගලපලා අපිට තව භාජන රාශියක් හදන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම සීගිරියේ තවමත් කැණීම් නොකළ ප්‍රදේශත් තියෙනවා.

මේ ප්‍රදේශවල කැණීම් පටන් ගත්තොත් තවත් බොහෝ පෞරාණික දේ ලැබෙන්න පුළුවන්. 1983දී තමයි අපි සීගිරි ව්‍යාපෘතිය පටන් ගත්තේ. ආරම්භ වුණාට පස්සේ පිට්ටනි වගේ තිබුණ ප්‍රදේශ කැණීම් කරලා නටබුන් මතු කරගෙන මේ දැන් තියෙන තත්ත්වෙට ගෙනාවා. එහෙම තැනක් තමයි ඔය ඇතුල් දිය අගලේ උතුරු ප්‍රදේශය කියන්නෙත්.

මේ ප්‍රදේශයේ මීටර් 180ක වපසරියක විතර කැණීම් කටයුතු ඉදිරියට කරන්න තියෙනවා. අවුරුදු 03කට තමයි මේ කැණීම් කරන්න යෝජනා වෙලා තියෙන්නේ. අවුරුදු 03 ගියාට පස්සේ ඇතුළු දිය අගල වගේ මේ උතුරු දිය අගලත් සකස් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.

තවත් දෙයක් කියන්න ඕනා මැටි කළය ප්‍රදර්ශනය නිසා සීගිරියට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියා. දළ වශයෙන් ජනවාරි 17 වැනිදා සිට 26 වැනිදා වන තුරු සංචාරකයන් ලක්ෂ 05ක් පමණ පැමිණි බව කියන්න පුළුවන්.

ඉනුත් විදේශිකයන් ප්‍රමාණය ලක්ෂයක් විතර වෙනවා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසාම 31 වැනිදා අවසන් කරන්න නියමිත වෙලා තිබුණ ප්‍රදර්ශනය පෙබරවාරි 04දා දක්වා දීර්ඝ කරන්න අපි තීරණය කළා. මේ ලබපු අත්දැකීම් සමඟ නැවත මෙවන් ප්‍රදර්ශන පවත්වන්නත් අපි බලාපොරොත්තු වෙනවා.


පරිපූර්ණ කළයක් හමු වුණු පළමු අවස්ථාව

ගාමිණි කරුණාරත්න

ප්‍රධාන කැණීම් පරීක්ෂක

සීගිරිය ව්‍යාපෘතිය - මධ්‍යම සංස්කෘතික අරමුදල

සීගිරියේ උතුර, දකුණ හා බටහිර වශයෙන් ප්‍රධාන දොරටු තුනක් දැනට මතු කරගෙන තිබෙනවා. උතුර හා බටහිර දොරටු ආශ්‍රිත ප්‍රදේශවල කැණීම් කටයුතු මේ වන විට කරලා තිබෙනවා. උතුරු ප්‍රදේශයේ කැණීම් කරන්නේ නෑ කියන අදහසක් තමයි තිබුණේ.

මොකද සංසංදනාත්මක අධ්‍යයන සඳහාත් අනාගත පර්යේෂකයන් සඳහාත් ඒ ප්‍රදේශය කැණිම් නොකළ යුතුයි කියන සංකල්පය නිසා. එහෙත් වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අධිකාරි, හිටපු සීගිරිය ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය ඩී.කේ. ජයරත්න හා වර්තමාන සීගිරිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ යන මහත්වරුන්ගේ අදහස අනුව උතුරු ප්‍රදේශයේ කැණීම් ආරම්භ කළ යුතු බවට මෑතක දී තීරණය වුණා.

උතුරු දිය අගල කැණීම් කර සංරක්ෂණය කර සංචාරකයන්ට හා ශ්‍රී ලාංකිකයන්ට ඉදිරිපත් කළ යුතු ය යන යන අදහස ඔවුන් ඉදිරිපත් කළා. ඒ අනුව අපි උතුරු ඇතුල් දිය අගලේ කැණිම් 2012 දි ආරම්භ කළා. වැසි තත්ත්ව මඟ හරිමින් මාස පහක් පමණ කාලයක් තමයි අපට කැණිම් කටයුතු කිරීමට හැකි වුණේ.

අති විශාල වළං කටු ප්‍රමාණයක් අපට මේ භූමියෙන් හමු වුණා. අපට මේ කළය හමු වුණෙ 2013 නොවැම්බර් 01 වැනිදා. මතුපිට සිට මීටර් හතර හමාරක් පමණ ගැඹුරකින් මේ කළය හමු වුණෙ. මෙය නොකැඩුණු නෙබිඳුණු පරිපූර්ණ මැටි කළයක් සීගිරි භූමියෙන් සොයා ගත් පළමු අවස්ථාව.

කළයෙහි බඳෙහි කුඩා සිදුරක් පමණක් තිබෙනවා. මේ මැටි කළය ක්‍රි.ව. 4, 5 සියවස්වලට අයත් වේ යැයි සැලකෙනවා. මේ කළය ඇතුළෙහි තිබුණු පස් සාම්පල දෙකක් පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයට හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ කොළඹ පිහිටි ප්‍රධාන රසායනාගාරය වෙත විද්‍යාගාර පර්යේෂණ සඳහා යවා තිබෙනවා. මේ කළය දිය නෑම සඳහා භාවිත කරන්නට ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. එහෙමත් නැති නම් ගෘහස්තව ජලය ගබඩා කර තබා ගන්නට භාවිත කළා වෙන්නත් පුළුවන්.


මැටි කළය හමු වූ උතුරු ඇතුළු දිය අගල

ප්‍රංශ ජාතික ඩෙබෝරා සැකොට් ඇතුළු නර්තන කණ්ඩායම කළගෙඩි නැටුමක් ඉදිරිපත් කරමින්

සීගිරි මැටි කළය තවත් එක් කළයක් නොවේ; හිස් කළයක් ද නොවේ. එය දහසකුත් කතාවලින් පිරී ඇත්තේ ය. එහෙත් බොහෝ කතා සැඟ වී ඇත්තේ ය. මෙතෙක් අනාවරණය වී ඇත්තේ කතා කිහිපයක් පමණි. සමහර කතා අනුමාන වශයෙන් පවසන දෑ ය. එහෙත් සීගිරි කළයේ ලැඟුම් ගෙන සිටින යම් යම් කතන්දර මතු යම් දිනක කවරකු හෝ විසින් අනාවරණය කර ගනු ඇත. සීගිරි මැටි කළය කවරකු විසින් කවර කාර්යයක් සඳහා භාවිත කරන්නට ඇති ද යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නැති බව සැබෑ ය. එහෙත් සීගිරි මැටි කළයේ විශාල ඉඩ කඩක ලැඟුම් ගෙන සිටින්නේ මෙරට මැටි කර්මාන්තයේ කතාව බව නොරහසකි. ඒ නිර්මාණකරණයේ කතාව කිසි කලෙක සැඟවිය නොහැකි ය.

කාශ්‍යප යුගය නියෝජනය කරන්නා වූ නිර්මාණාත්මක මිනිසුන්ගේ දෑත්වලින් මෙවන් මැටි කළ සිය දහස් ගණනක් නිර්මාණය වන්නට ඇත. එතැන් පටන් අද දක්වා එනම් වසර තුන් දහසක් පමණ කාලයක් තිස්සේ නොයෙක් වෙනස්කම්වලට භාජනය වෙමින් මැටි කර්මාන්තය අද දක්වා විකාශනය වී ඇත.

එනිසා සීගිරි මැටි කළයේ සැබෑ උරුමකරුවන් අද අප අතර සිටින බව පැවසුවහොත් එය සාවද්‍ය නොවේ. සීගිරි මැටි කළය නිර්මාණය කළ නිර්මාණාත්මක මිනිසුන්ගේ පරපුරේ මිනිසුන්ගේ දෑත්වලින් අද ද හරි අපූරු මැටි කළ නිර්මාණය වන්නේ ය. එපමණක් නොවේ; තවත් අනේක විධ මැටි නිර්මාණ ඔවුන්ගේ දෑත්වලින් පණ ලබන්නේ ය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරාධනයෙන් එවන් නිර්මාණකරුවො රැසක් ‘මැටි කළය‘ ප්‍රදර්ශන භූමියට පැමිණ සිටියහ. මැටි කර්මාන්තයේ නියැළෙන පාරම්පරික ගම් නියෝජනය කරමින් පැමිණි ඔවුන්ගේ මේ කතා කිහිපයක් මෙසේ සටහන් කරන්නේ සීගිරි මැටි කළයේ සැබෑ උරුමකරුවන් ඔවුන් වන බැවිනි.

අපි කරන්නේ ලොකු ඉතිහාසයක් තිබෙන

එම්. සෝමවීර

මොලගොඩ - කෑගල්ල

කර්මාන්තයක්අපේ ගම පාරම්පරිකව ම මැටි කර්මාන්තයේ යෙදිලා ඉන්න ගමක්. පවුල් 80ක් විතර කරන්නෙ මේ කර්මාන්තය තමයි. මේ වගේ ප්‍රදර්ශනයකට අපට ආරාධනා කිරීම අපේ කර්මාන්තය අගය කිරීමක්. සීගිරියෙන් හමු වුණු මේ පුරාණ කළය අපේ කර්මාන්තයේ ඉතිහාසය ගැන තමයි කියන්නේ.

මැටි කර්මාන්තය එදා ඉදලා අද දක්වා පවතින කර්මාන්තයක් වුණත් ඒ ගැන තිබෙන සැලකිල්ල හරි ම අඩුයි. මොකද මේ කර්මාන්තය කරගෙන යන එක් හරිම දුෂ්කරයි. ප්‍රධානම ගැටලුව මැටි ලබා ගන්න එක. මැටි ගන්න අවසර ගන්න ඕන. ඒකට අමාත්‍යංග හතරකින් අවසර ගන්න ඕන.

ඒක හරිම අමාරුයි. අපි බියගමෙන් මැටි ගේන්නේ. අවසර අරගෙන නෑ කියලා අතර මඟදී මැටි ලොරි නවත්වා ගන්නවා. ඒ හින්දා මේ ගැටලුවට විසඳුමක් ලැබෙනවා නම් මේ කර්මාන්තය කරගෙන යාම පහසුවක්.

අද මැටි කර්මාන්තය කිරීම දුෂ්කරයි

පී. වීරප්පන්

කඳුවැව - නොච්චියාගම

අපි පාරම්පරිකව වළං කර්මාන්තයේ යෙදිලා ඉන්න හින්දා මේ ප්‍රදර්ශනයට එන්න අපට ආරාධනා කළා. අපේ ගමේ දෙමළ පවුල් විස්සක් විතර මේ කර්මාන්තයේ යෙදිලා ඉන්නවා. අපි වළං හදලා කොළඹ යනවා. වළං අරන් පොළවලටත් යනවා.

මේ ප්‍රදර්ශනයට අපට එන්න ලැබුණු එක ගැන හරි සතුටුයි. ප්‍රදර්ශනය බලන්න ආපු ගොඩක් දෙනෙක් අපේ වළං අරගෙන ගියා. ඒත අපට මේ කර්මාන්තය කරගෙන යන එක නම් දුෂ්කරයි. පාරම්පරිකව පාවිච්චි කරපු සකපෝරුව වෙනුවට දැන් විදුලි බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රවලින් වළං හදන්න පුළුවං.

ප්‍රදර්ශන කුටිය

අතින් සකපෝරුව කරකවලා වැඩ කරනවට වඩා ඒක හරි ලේසියි. ඒකට රුපියල් පනස්දහසක විතර මුදලක් අවශ්‍ය වෙනවා. සමෘද්ධියෙන් අපට ඒ සඳහා ආධාර කරනවා කිව්වත් තවම ලැබුණෙ නෑ. අලුත් තාක්ෂණය යොදා ගන්න අපට කාගෙන් හෝ සහයක් ලැබෙනවා නම් අපට මේ කර්මාන්තය වඩාත් හොඳින් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්.

අපි අදට ගැළපෙන වළං හදනවා

ඩබ්ලිව්. සෝමවතී

මොලගොඩ - කෑගල්ල

අපේ කර්මාන්තය ඈත අතීතයේ ඉදලා පැවතුණු එකක්. සීගිරි මැටි කළයෙන් ඒක ඔප්පු වෙනවා. අද අපි අද කාලෙට ඔබින විදිහට මේ කර්මාන්තය කරනවා. දැන් දරවලින් උයන අය අඩුයි. ගොඩක් දෙනෙක් උයන්නෙ ගෑස්වලින්.

ඒ හින්දා අපි ගෑස් ළිපේ උයන්න පුළුවන් වළං හදනවා. ඒවට හොඳ ඉල්ලුමක් තිබෙනවා. අපි ඒ වළං කොළඹටත් යවනවා. අපේ කර්මාන්තයේ ඉතිහාසය කියන මේ ප්‍රදර්ශනයට එන්න ලැබීම අපට ලැබුණු විශිෂ්ට අවස්ථාවක්.

සීගිරි මැටි කළය අපට ආඩම්බරයක්

වේලු විග්නේෂ්වරන්

කඳුවැව - නොච්චියාගම

මේ වගේ ප්‍රදර්ශනයකට අපට ආරාධනා කරපු එක ගැන ආඩම්බරයි. ඈත අතීතයේ ඉඳලා මේ කර්මාන්තය පැවතණු බවට සාක්ෂි ලැබී තියෙනවා. අපේ මිතුන් මිත්තන්ගේ ඉඳලා පැවත ගෙන ආපු මේ කර්මාන්තයේ අද අපි යෙදිලා ඉන්නේ.

පාරම්පරිකව අද දක්වා ම මේක පැවත ගෙන ආවා. ඒත් මේ කර්මාන්තය මේ විදිහයට පවතින්නේ තව ටික කාලයයි. මොකද පාරම්පරිකව මේක ඉදිරියට ගෙන යන්න කෙනෙක් නැති වෙනවා. අපට දරුවො තුන් දෙනෙක් ඉන්නවා.

ඒත් ඒ කවුරුවත් මේ කර්මානතයේ යෙදෙන්න කැමැත්තක් නෑ. ඔවුන් වෙනත් ක්ෂේත්‍ර තෝරා ගෙන ඉන්නේ. තව ටික කාලෙකින් මේ ප්‍රදර්ශන තියලා තමයි පාරම්පරික මැටි කර්මානතයේ යෙදෙන හැටි පෙන්නන්න වෙන්නේ.

(මේ ලිපිය සැකසීමේ දී සහාය ලබා දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රචාරක නිලධාරි පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතාට අපගේ ස්තුතිය.)

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා