ජිනීවාවලට කේලම් කියන විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය

ජිනීවාවලට කේලම් කියන විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය

වෙන කවරදාකටවත් වඩා අති විශාල ජනතාවක් කෑගල්ලේ පැවැති 66 වැනි නිදහස් සමරුවට සහභාගි වුණේ ඇයි? එසේ පැමිණි පොදු මහජනතාව රාජ්‍ය නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වටකරගෙන අතින් ඇල්ලීමට පොරකමින් ප්‍රතිචාර දැක්වූයේ ඇයි? එතනින් නොනැවතී “රට බේරාගත් නායකයාට ජය වේවා” යැයි කියමින් ප්‍රතිචාර දැක්වූයේ ඇයි? කුඩා ජාතික කොඩි අතින් ගත් දරුවන් එක් අතකින් ජනාධිපතිතුමා අතින් ඇල්ලීමට උත්සාහ ගත්තේ ඇයි? ජනාධිපතිතුමාගේ අතින් අල්ලාගෙන වචනයක් දෙකක් කතා කළ බොහෝ දෙනෙකුගේ දෙනෙත්වලට ඔවුන් නොදැනීම කඳුළු ඉනුවේ ඇයි? නිදහස් උත්සවයෙන් පසු නිල රථයට නගින්නේ නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව අතරට ගියේ ඇයි?

මීට පෙර සිටි ඇතැම් රාජ්‍ය නායක නායිකාවන් නම් මෙවැනි රාජ්‍ය උත්සවයක් නිම වූ පසුව කෙළින්ම ගමන් කරන්නේ තමාගේ නිල රථයටයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නම් ඕනෑම රාජ්‍ය උත්සවයක් නිම වූ පසුව එතනට පැමිණ සිටින පොදු මහජනතාව හමු වී අඩුම තරමේ වචනයකුදු කතා කිරීමට අමතක කරන්නේ නැත. ඒ ජනාධිපතිතුමාගේ හැටි ය. මේ රට බේරාගත් රාජ්‍ය නායකයාගේ හැටි ය.

ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම නිදහස් කරගත් රට, තවත් අභියෝගවලට ලක්වෙමින් තිබියදී එම අභියෝග පරාජය කිරීමට ද නොබියව මුහුණ දෙන නායකයෙකුගේ හැටි ය. ජනතාව තුළ සිටින නායකයා ආරක්ෂා කරනුයේ ජනතාව විසින් ම ය.

එම නිසා ලෝකයේ කවරෙක්, කණ්ඩායමක් හෝ රටක් ජනාධිපතිතුමාට එරෙහි වුවද, ඕනෑම කුමන්ත්‍රණයක් කළ ද ඒවා මේ දක්වා අන්ත පරාජයට ලක් කළේත්, ඉදිරියේදිත් පරාජය කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය ජනාධිපතිතුමාට ලැබෙන්නෙත් මේ රටේ ජනතාවගේ ආශිර්වාදය දිගින් දිගටම ජනාධිපතිතුමාට ලැබෙන නිසා ය.

අන්ධකාරයෙන් දේශය මුදාගෙන රටේ ජනතාවට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිදහස යළි භුක්ති විඳීමට අවස්ථාව ලබාදීම මූලික අභිප්‍රාය යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් කියා සිටී.

රනිල්ගේ නිදහස

“යටත් විජිතභාවයෙන් රට මුදාගෙන රටට නිදහස ලබා දීමට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයට, එම නිදහස ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. යටත් විජිතභාවයෙන් මුදාගත් රටේ නිදහස ආරක්ෂා කිරීමට පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළේ කෙසේද?

ඊනියා සටන් විරාම ගිවිසුමක් අත්සන් කරමින් කොටි ත්‍රස්තවාදීන් පෝෂණය කිරීමටත්, ආරක්ෂක අංශ දුර්වල කිරීමටත් ක්‍රියාකළ එක්සත් ජාතික පක්ෂය, ඉන් පසුව යුද ජයග්‍රහණය දැඩිව හෑල්ලුවට ලක් කිරීමට ක්‍රියාකළ බව නොරහසකි.

වසර 30කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම සඳහා ආරක්ෂක අංශ රට වෙනුවෙන් ක්‍රියාත්මක වන විට, මුළු රටේම ජනතාවගේ ආශිර්වාද ය හිමිවිය. එපමණක් නොව, මහා සංඝරත්නයේ ආශිර්වාදයද රට වෙනුවෙන් ඉදිරියට යන රණවිරුවන්ට හිමි විය. අනෙක් ආගමික නායකයන් ද ආශිර්වාද කර සිටියේ ත්‍රස්තවාදයෙන් රට මුළුමනින්ම නිදහස් කර ගන්නා ලෙස ය.

මුළු රටක් එක ම අරමුණ වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රට ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම නිදහස් කරගැනීම සඳහා එසේ කටයුතු කරද්දි, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් කළේ කුමක්ද? වගකිව යුතු විපක්ෂයක් නම් එදා කළ යුතුව තිබුණේ පටු දේශපාලන වාසි ලබාගන්නේ නොමැතිව, රණවිරුවන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ය.

එහෙත්, රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තොප්පිගල මහා විශාල කැළෑවක් බවයි. එහි විශාල කළු ගලක් තිබෙන බව ද ඔහු කියා සිටියේ ය. එමගින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තොප්පිගල යුද ජයග්‍රහණය වටිනා එකක් නොවන බවයි. වික්‍රමසිංහ මහතාගේ අර්ථ නිරූපණය අනුව මේ රටේ විශාල කැළෑ, ගල් වැනි දේවල් එවැනි භූමි ශ්‍රී ලංකාවට අයත් නොවේද? කියන සැකය මතු වේ.

එවැනි භූමි කොටි සංවිධානයට ලබා දුන්නාට ගැටලුවක් නොවන බව ද වික්‍රමසිංහ මහතා කියන්නේ ද යන පැනය මතුවීම වැළැක්විය නොහැකි ය. භූමිය ආරක්ෂා නොකිරීමෙන් රටේ ඒකීයභාවය ආරක්ෂාවේද? එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ රටේ ඒකීයභාවය පාවාදීමට නොවේද? කියන සාධාරණ ප්‍රශ්නය පැන නගී.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා විට මේ රටේ අග්‍රාමාත්‍යව සිටි මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා වර්තමානයේ ජීවත්ව සිටියා නම්, රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ප්‍රකාශය ගැන කුමන ප්‍රතිචාරයක් දක්වාවිද? කියන පැනය මතුවේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා රටේ උත්තරීතරම ස්ථානය වන පාර්ලිමේන්තුවේදී රණවිරුවන්ට අපහාස වන ආකාරයෙන් හා ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳ වට්ටමින් සිදු කරන ලද කතාව හැන්සාඩ් ගත වී තිබේ.

“මේ කට්ටිය යුද්ධ කරනවයි කියලා කරන්නේ මොනවාද? අලිමංකඩ යනවයි කියලා පාමංකඩ යනවා. කිළිනොච්චි යනවයි කියලා මැදවච්චි යනවා” යනුවෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය. ත්‍රස්තවාදය පරාජය කිරීම තීරණාත්මක අවස්ථාවක පවතිද්දී, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කාට වුවද මෙවැනි ප්‍රකාශයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සිදු කළ හැකිද?

“ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ය.

හමුදා බුද්ධි අංශයේ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ආකාරයෙන් දෙමළ ජාතික සන්ධානය හා සමානවම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඉන්පසු කොටි පිස්තෝල කල්ලිය කොළඹ පොලිස් ස්ථාන ඇතුළටම විත් බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය කිරීමට පසුබට නොවුණි.

මිලේනියම් පාවාදීම

මිලේනියම් සිටි මහා පාවාදීමෙන් දිගදුර මෙහෙයුම් බළකාය ගැන තොරතුරු කොටි ත්‍රස්තවාදීන් අතට ලබාදීමට ද ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයයි.

ඉහත සඳහන් වන්නේ එක්සත් ජාතික පක්ෂය රට පාවාදීම වෙනුවෙන් සිදුකරන ලද ක්‍රියාකාරකම්වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. මෙසේ ක්‍රියාකළ රනිල් වික්‍රමසිංහ මහතා නිදහස ලබාදීමට කටයුතු කළ තම පක්ෂයට, එම නිදහස රැකගැනීමේ වගකීම පැවරී ඇති බව ප්‍රකාශ කරනුයේ රෙදි ඇඳගෙනද? යන ගැටලුව ඕනෑම කෙනෙකුට පැන නගී.

එසේ පාවාදීම් රැසක් කළ එක්සත් ජාතික පක්ෂය, ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභීතව ක්‍රියා කිරීම අගය කරන්නේ නැත. රනිල් වික්‍රමසිංහ,රවි කරුණානායක, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් උඩුකය නිරාවරණය කරගෙන අද යාපනයේ පිහිටි නල්ලූර් කෝවිලට යන්නේ මහින්ද රාජපක්ෂ මහතාට පිංසිදු වන්නටය.

උතුරු පළාත් සභා මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය තරග කළේ මහින්ද රාජපක්ෂ මහතාට පිංසිදු වන්නටය. එහෙත්, ජිනීවා ජාත්‍යන්තර කුමන්ත්‍රණය ගැන රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය වචනයකුදු කතා නොකරයි.

සෑම හය මසකට වරක් පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලකොට රට අරාජික කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය වැනි ඇතැම් බටහිර බලවේග, කොටි හිතවාදීන්, දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නොගන්නා උත්සාහයක් නැත.

මාර්තු 28 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට අමෙරිකාව සූදානම් වේ. ඒ සඳහා මහා බ්‍රිතාන්‍යයේ සහයෝගය ද ලැබෙමින් පවතී.

මේ රටවල් දෙක දෙමළ ඩයස්පෝරාවේ අමෙරිකානු ඩොලර් බලය භාවිත කරමින් සිදු කරන්නේ තවත් න්‍යාය පත්‍රයකි.

දෙමළ ඩයස්පෝරාවට, කොටි හිතවාදීන්ට කෙසේ හෝ අවශ්‍ය වී ඇත්තේ අමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලබාගෙන, ශ්‍රී ලංකාව දෙකඩ කර, ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ය. අමෙරිකාවට හා මහා බ්‍රිතාන්‍යයට කෙසේ හෝ අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව අරාජික කර මැදපෙරදිග රෝස වසන්තයක් ශ්‍රී ලංකාවේත් ඇතිකර, ශ්‍රී ලංකාවේ සාරය උරාබීමට ය.

ඉරාකයට, ලිබියාවට, ඊජිප්තුවට, කුවේටයට අමෙරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර බලවේග සිදු කළේ එම දේ ය. ඉරානයට සිදු කිරීමට සැලැසුම් කරමින් සිටින්නේත්, සිරියාවට සිදුකරමින් සිටින්නේත් එම දේ ය. ඇෆ්ගනිස්ථානයට අමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාර එල්ල කොට සාමාන්‍ය ජනතාව ඝාතනය කරන විට, කිසිදු මානව හිමිකමක් උල්ලංඝනය වූයේ නැතිද? එම තත්ත්වය ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලය නිහඬ ඇයි?

ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් එල්ලා මරා දමන්නේ කුමන නීතියකටද? ලිබියාවේ ජනාධිපති අත්අඩංගුවට පත්වීමට පෙර ඔහු කියා සිටියේ තමා යටත් වන බවත්, තමා මරා නොදමන ලෙසත් ය. එහෙත් ගඩාෆි ඉතා අමානුෂික අන්දමින් මරා දමන ආකාරය ලොව පුරා සජීවි ලෙස විකාශය කිරීමට තරම් බටහිර මාධ්‍ය එඩිතර වී තිබුණේ, අමෙරිකානු රජයේ උෂ්ණය ඔවුන්ට ද වැදී තිබූ නිසා ය.

ඉරාකයේ දී අත්අඩංගුවට ගත් ඉරාක ජාතිකයන්ට, ඉතා අමානුෂික වධ බන්ධන පමණක් නොව, ලිංගික අඩත්තෙට්ටම් කිරීමටත් අමෙරිකානු හමුදා බිය නොවූහ. මේ සිදුවීම්වලින් කෙසේවත් මානව හිමිකම් උල්ලංඝනය වූයේ නොමැතිද? මේවා ගැන කවුරුත් ප්‍රශ්න නොකරන්නේ මන්ද? සදාම් හුසේන්, ගඩාෆි යන ජනාධිපතිවරුන් ඝාතනය කරන විට නිහඬව සිටින මානව හිමිකම් ක්‍රියාකාරි නෝනා මහත්වරුන්, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් නිහඬව සිටිය ද, මුළු ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරන විට හඬ අවදි කිරීමට තරම් හේතු වී තිබෙන්නේ අමෙරිකානු ඩොලර් නෝට්ටු බව ඉතා හොඳීන් පැහැදිලි ය.

විහිළු කතා

මානව හිමිකම් නෝනලා, මහත්වරුන් අමෙරිකාවේ සිට වැලනොකැඩී මෙරට පැමිණෙන්නේ, ශ්‍රී ලංකාවේ සිදුවුණ බව කියන මානව හිමිකම් උල්ලංඝනයවීම් ගැන සොයාබැලීමට ය. පැමිණෙන නෝනා මහත්වරුන් ආණ්ඩුවේ නියෝජිතයන් ද, විරුද්ධ පක්ෂයේ නියෝජිතයන් ද හමුවීමෙන් අනතුරුව උතුරට ගොස් කොටි හිතවාදීන් මෙන් ම, කොටි සංවිධානයේ පදයට නටපු, තවමත් දෙමළ ඩයස්පෝරාවේ පදයට නටන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හමුවීමට ද අමතක නොකරති. උතුරේ නියෝජිතයන් තනිකරම අසත්‍ය චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ ජිනීවා මානව හිමිකම් සමුළුවට උල්පන්දම් ලැබෙන ආකාරයෙනි.

රටට එරෙහි එවැනි අසත්‍ය ප්‍රකාශවල ප්‍රතිඋත්තර ලබා දෙන්නේ ආණ්ඩුව පමණි. මේ නෝනා මහත්වරුන්ට අතට අතදෙමින්, සිනහමුසුව ඡායාරූප පත්තරවල දාගන්න රනිල් වික්‍රමසිංහ මහතා, උතුරේදී එල්ල වූ අසත්‍ය චෝදනා ගැන වචනයකුදු කතා නොකරයි. ඔහු කියන්නේ රටේ ජනතාව විදුලි පුටුවෙන් බේරා ගැනීමට ක්‍රියා කරන බවයි.

“මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවට ගෙනියන්න දෙන්නේ නැහැ. මං විදුලි පුටුවට යනවා” යනුවෙන් පසුගියදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. මෙවැනි විහිළුසහගත විපක්ෂ නායකවරයකුගෙන් රට ගැන විශ්වාසයක් තැබිය හැකිද? අමෙරිකාවේ සිට මානව හිමිකම් නෝනලා මහත්වරුන් මෙරටට පැමිණෙන විට, ඔවුන්ට ගතු කේලම් කියන රනිල් වික්‍රමසිංහ මහතා, මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරා ගන්නේ කෙසේද? එම නිසා ජනතාවට විහිළුවක් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා, තවත් විහිළු සපයන්නකු වශයෙන් ක්‍රියා කළ යුතු ද? ඔහුගේ විහිළු කොතෙක් දුර දිග ගියේද කියනවානම්, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව කරන තත්ත්වයකට පත් වී නැත.

පක්ෂයේ විනය පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට පහරදීමට සූදානම් වූ බවට මාධ්‍යවල තොරතුරු පළ විය. කෙතරම් ප්‍රශ්න තිබුණ ද එවැනි ක්‍රියාවලිය කිසිවකු අනුමත කරන්නේ නැත.

රටක විපක්ෂ නායක යනු විකල්ප අගමැති ය. එවැනි කෙනෙකුට පහරදීමට උත්සාහ කිරීම කිසිසේත් ම අනුමත කළ නොහැකි ය. එහෙත් තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

ඔහු කියන්නේ තමා නාම යෝජනා ගැටලුවක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිල්ලක් සිදු කළ බවයි. එහෙත් මේ සිද්ධියෙන් ඉතා පැහැදිලි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ විනය දැඩිව පිරිහී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, දේශපාලනඥයකුට තිබිය යුතු පෞරුෂය පැත්තෙන් සලකා බැලුවොත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අසලකටවත් කිට්ටු කළ හැකි කෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ පෙනෙන තෙක් මානයක නොමැති බවයි.

ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලැබුණේ නැත. ඔවුන් දෙදෙනා මේ වන විට වික්‍රමසිංහ මහතාගේ පැටිකිරිය දිග හරිමින් ප්‍රබල චෝදනා එල්ල කරති.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බව ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට චෝදනා කරන බවත්, එසේ චෝදනා කරන රනිල් වික්‍රමසිංහ තම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යවමින්, ඒකාධිපති පාලනයක් ගෙන යන බවටත් ශිරාල් ලක්තිලක මහතා චෝදනා නගයි. තම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට නොහැකි නායකයකු රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ලබන්නේ කෙසේද?

අසත්‍ය චෝදනා

රට ගැන අසත්‍ය චෝදනා එල්ල කරන විපක්ෂ නායකවරයකුට, රටේ පාලන බලය විශ්වාසයකින් ලබාදිය හැකිද? යුද්ධය අවසන් කාලයේදී එල්ල වූ විදෙස් බලපෑම්වල ස්වභාවය කෙතරම්ද යන්න තේරුම් ගැනීමට එතරම් අපහසු නොවන්නේ ඊටත් වඩා ජාත්‍යන්තර වශයෙන් දරුණු බලපෑම් තව දුරටත් එල්ල වෙමින් තිබෙන නිසා ය. ඒවාට රට වෙනුවෙන් අභීතව මුහුණදෙන නායකත්වයක් රනිල් වික්‍රමසිංහ මහතා සතුව ෙනාමැති බව නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කරති.

තමාට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පහරදීමට උත්සාහ කළ බව ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජිනීවා යෑමට උත්සාහ කළහොත්, එය ද පුදුමයට කරුණක් නොවේ. තමන්ගේ නාම යෝජනා කපා දමා, පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරන බව ප්‍රකාශ කරමින් ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ජිනීවා ගියහොත්, එයද පුදුමවන්නට දෙයක් නැත. ඒ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ හැටි ය.

ජනතා විමුක්ති පෙරමුණට නව නායකයකු පත් ව සිටී. ඔහු අනුර කුමාර දිසානායක මහතායි. අනුර කුමාර දිසානායක මහතා කාලයක් තිස්සේ රහසිගතව ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වමින්, ඔත්තුකරුවකුගේ භූමිකාව සිදු කළ බවට මීට කාලයකට පෙර මාධ්‍ය වාර්තා පළ විය.

විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී, ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගැනීමට මූලික හේතුව වූයේ අනුර දිසානායක මහතා ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයෙන් යම් යම් තීන්දු ගැනීමට ගිය නිසා බවට ද වාර්තා පළ විය.

2007 අය-වැය පාර්ලිමේන්තුවේදී පරාජය කරමින් ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම නතර කිරීමට ප්‍රබල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ අවස්ථාවේදී, එය වැළකුණේ අය-වැය තෙවනවර ඡන්ද විමසීමේදී ඊට පෙර විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ තම තීරණ වෙනස් කළ නිසා ය.

එම තීරණය වෙනස් කිරීම සඳහා ප්‍රබල අරගලයක් ගෙනගියේ විමල් වීරවංශ මහතා ය. එසේ නොවන්නට ආණ්ඩුව පෙරළෙන්නේ එදා ය. එදා විමල් වීරවංශ මහතාගේ තීරණයට එරෙහිව දැඩි බලපෑමක් කළේ අනුර දිසානායක මහතා ය. එම නිසා රටට එරෙහි ජිනීවා කේලම් ගැන ද මෙරට පොදු මහජනතාව සිටින්නේ අවදියෙනි.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා