උන්ගේ යුක්තිය හා අපේ සාමය

උන්ගේ යුක්තිය හා අපේ සාමය

 

“දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිදුවු විශාලම අපරාධය අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියයි”

- රැම්සේ ක්ලාර්ක් - හිටපු අමෙරිකා නීතිපති

ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් නූතන ලෝක ඉතිහාසයට එක්වූ ප්‍රබලම උදාහරණය ශ්‍රී ලංකාව එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමයි. එය විවාද කිරීමට තරම් කාරණයක් නොවන නමුදු ත්‍රස්තවාදයට එරෙහි සටනක යෙදී සිටින්නේ යැයි කියන එහෙත් ත්‍රස්තවාදය පිළිබඳ දෙබිඩි කියැවීම්වලින් යුතු බලවත් රටවල් අතළොස්සකට එය ප්‍රශ්නයක් වී තිබේ. එසේ නැති නම් ඊර්ෂ්‍යාවට හේතුවක් වී තිබේ.

ත්‍රස්තවාදය ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබුණද, ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සමත් ලෝකයට එක්ව නැඟී සිටිය යුතු වුවද මේ රටවල් ත්‍රස්තවාදය යනුවෙන් හඳුනා ගන්නේ එය තමන්ට තර්ජනය එල්ල කරන තත්ත්වයේදී පමණි.

තමන්ට අවනත නොවන රාජ්‍යයන් අස්ථාවර කිරීමටත්, එම පාලන තන්ත්‍රයන්හි වෙනස්කම් ඇති කිරීමටත් (Regime Change) ත්‍රස්තවාදීන් හෝ ත්‍රස්තවාදය යොදාගැනීම ඔවුන්ට අනුව ත්‍රස්තවාදය නොවේ. බලවත් ජාතීන්ගේ අර්ථකථනයට අනුව දකුණු අප්‍රිකානු නිදහස් අරගලයේ නායකයකු වූ නෙල්සන් මැන්ඩෙලා ද, පලස්තීන රාජ්‍යයක් උදෙසා අරගලයේ යෙදුණු යසර් අර්ෆත්ද ත්‍රස්තවාදීන්ය. එහෙත් එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් යනු විමුක්ති කාමියෙකි.

ත්‍රස්තවාදයට එරෙහිව පොදු ලෝක මතයක් තිබිය යුතු බවට ත්‍රස්තවාදය නිසා දශක ගණනාවක් පීඩා විඳී ශ්‍රී ලංකාව වැනි රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඇතුළුව සෑම ජාත්‍යන්තර වේදිකාවකදීම පාහේ හඬ නඟද්දී නෑසුණු කනින්, නොදුටු නෙතින් හා නොබිණු මුවින් යුතුව සිටි අමෙරිකාව ප්‍රමුඛ බලවත් ජාතීන්ට ත්‍රස්තවාදයේ තරම තේරුම්ගියේ 2001 සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල වූ අල්ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟයි.

එතෙක් ප්‍රචලිතව තිබුණේ පෙන්ටගනයට ඉහළින් කුරුල්ලෙකුටවත් පියාසර කළ නොහැකි බවයි. එහෙත් ත්‍රස්තවාදය නම් බූවල්ලා කොපමණ දුරට සිය අඩු පාඩු දිගහැර ඇති දැයි අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පෙනිණි. අමෙරිකාව ඊට ප්‍රතිචාර දැක්වූයේ නින්දෙන් ඇහැරුණු මිනිසෙකු විලසිනි.

9/11 ප්‍රහාරයට වගකිවයුතු ඔසාමා බින්ලාඩන් ඇෆ්ගනිස්ථානයේ කඳුකර පෙදෙස්වල සැඟව සිටින බව කියා සිටි අමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයට පහර දුන්නේ තොග ගණනින් බෝම්බ හෙළමිනි. මේ බෝම්බවලින් හා අමෙරිකානු හමුදා ක්‍රියාකාරකම්වලින් සිවිල් වැසියන් කොපමණ මියගියේද යන්න අමෙරිකාවට හෝ බටහිර බලවතුන්ට සංවේදී කාරණයක් නොවේ. මන්දයත්, ඔවුන් සිටියේ ත්‍රස්තවාදයට එරෙහි සටනක බැවිනි!

යුක්තිය ඉටුකළා

අන්තිමේදී ඔවුන් බින්ලාඩන් අල්ලා ගත්තේ ඊට වසර 10කට පසුවයි, ඒ ද පාකිස්තානයෙනි. ත්‍රස්තවාදයට එරෙහි සටනේ හවුල්කරුවකුද වූ පාකිස්තානයේ ගුවන් සීමා උල්ලංඝනය කරමින් රහසිගතව රටට ඇතුළු වූ අමෙරිකානු හමුදා තම අත්අඩංගුවට පත් බින්ලාඩන් වෙඩි තබා මරා දමන ලදී. එම මෙහෙයුම ධවල මන්දිරයේ සිට රූපවාහිනිය මඟින් නරඹමින් සිටි ජනාධිපති ඔබාමා ලෝකයට දැනුම් දුන්නේ යුක්තිය ඉටුකරන ලද බවයි.

ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මානුෂීය මෙහෙයුමේදී මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව සහ යුද අපරාධ සිදුවූ බව කියමින් හඬ නඟන කිසිදු බලවත් රටක් බින්ලාඩන්ගේ මරණය සිදුවූ හමුදා මෙහෙයුම ප්‍රශ්න නොකරයි.

ඔහු සිටියේ ආයුධ සහිතව ද, රහිතවද, ඔහු මිය ගියේ නේවි සීල් භටයන් සමඟ ඇතිවූ ගැටුමකදීද, වෙඩි තැබුවේ ඔහුගේ හිසටද, පපුවටද, උදරයටද, අතකටද, කකුලටද, එම වෙඩි පහර එල්ල කරනු ලැබුවේ කොපමණ දුරක සිටද වැනි කිසිදු ප්‍රශ්නයක් මෙහිදී ඔවුන් අසන්නේ නැත.

මන්දයත් ජනාධිපති ඔබාමා දැනුම්දුන් පරිදි යුක්තිය ඉටුකර ඇති බැවිනි, බින්ලාඩන් මරාදමමින් එල්ල වූ වෙඩි උණ්ඩ දෙක, තුන දක්වා දසවසරක් තිස්සේ වෙඩි උණ්ඩ කී ලක්ෂයක් නිකුත් වී තිබේද ඒවායේ ඉලක්ක බවට පත්වුයේ ත්‍රස්තවාදීන් පමණද? ඒවා නිසා අහිංසක ගැහැනු - පිරිමි කොපමණ මියගොස් තිබේද, නොදරුවන් කොපමණ මියගොස් ගොස් තිබේද වැනි ප්‍රශ්නද ඔවුන්ට නොවැදගත්ය.

ඉරාකය, ඇෆ්ගනිස්තානය ආදී, රටවල අමෙරිකා ආක්‍රමණවලදී සිදුවූ සැබෑ ජීවිත හානි පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන පවා නැත. එහෙත්, ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කරමින් සිදුකළ මානුෂීය මෙහෙයුමේදී කිසිදු තාත්වික හෝ විශ්වාසනීය මූලාශ්‍රයක් මත පදනම් නොවෙමින්, මෙපමණ සිවිල් ජීවිත සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි ඔවුහු ප්‍රස්තාර අඳිති.

ඒ වන විට උතුරේ ජනගහනය නිශ්චිතව කීමට ආසන්න වකවානුවක ජන සංගණනයක් සිදුව නොතිබුණත් දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදිය ඔස්සේ ක්‍රියාතමකවූ පරිපාලන වැඩපිළිවෙළද ඔස්සේ දළ ගණන් බැලීමක් කළහැකිවෙයි.

ඒ ඔස්සේ යමින්. මානුෂීය මෙහෙයුමේදී කොපමණ ජීවිත එල්. ටී. ටී. ඊ.‍ ප්‍රාණ ඇපයෙන් නිදහස් කරගත්තාද, හමුදා භාරයට පත් එල්. ටී. ටී. ඊ සාමාජිකයන් කී දහසක් පුනරුත්ථාපනය කර සමාජගත කර තිබෙනවාද වැනි කාරණා අදාළ කරගනිමින් අවශ්‍ය නම් ප්‍රායෝගිකව එම ගණනය කිරීම් කළ හැකිව තිබේ.

නෙල්සන් මැන්ඩෙලා

යසර් අර්ෆත්

බින්ලාඩන්

වේලුපිල්ලේ ප්‍රභාකරන්

මෑතදී රජය විසින් යුද්ධය පැවැති දශක තුනක කාලසීමාවටම අදාළවන පරිදි මේ තොරතුරු නිවැරැදි ලබාගැනීම සඳහා සංගණනයක්ද සිදුකරන ලදී. එහෙත්, පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ සිටි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ටීවන් රැප් අතිශයින්ම ඒකපාර්ශවිකව කරුණු දක්වමින් ගණන් ඉලක්කම් වාර්තා කළේ කවර මූලාශ්‍ර මත පදනම්වද?

නව යටත් විජිතවාදීන්ට බලවතුන්ට ඉරාකයේ තෙල් සම්පත සිය ග්‍රහණයට නතුකර ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් කීවේ සදාම් හුසේන්ගේ ආඥාදායක පාලනයෙන් ඉරාක ජනයා නිදහස් කර ගැනීමට සිදුව ඇති බවයි.

සමූහ සංහාරක අවි ඇතැයි මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් නිසා අමෙරිකා - බ්‍රිතාන්‍ය හමුදා ඉරාකය ආක්‍රමණය කර දශකයකටත් වැඩි කාලයක් ගතව ගොසිනි. එහෙත් ඉරාක ජනයාට දිනාදුන් විමුක්තිය කුමක්ද?

ව්‍යාජ රංගනයක් බව පෙනෙන්නට තිබූ නඩු විභාගයකින් අනතුරුව ඉරාක ජනාධිපති සදාම් හුසේන් කුරිරු ලෙස ගෙල සිරකර මරා දැමීමෙන් පසුවවත් අමෙරිකාව සහ බටහිර බලවතුන් ඉරාකීයයන්ට පොරොන්දු වූ විමුක්තිය ළඟා වී තිබේද? අද පවා බැග්ඩෑඩයේ වීදිවල නිරන්තරයෙන් බෝම්බ පුපුරා යයි. ඉරාක ජනයාට විමුක්තිය ළඟාකර ගැනීමට සිදුව ඇත්තේ නොපැතූ වරණයක් භාර ගනිමිනි.

රටවල අභ්‍යන්තර ගැටලු ඇති තරමට තමන්ට නව යටත් විජීතවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම පහසුබව ලෝක බලවතුන් දනී. ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ වේදනාව ඒ කාරණයත් සමඟ පැහැදිලිවම සම්බන්ධය. 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි වී නම් අද ශ්‍රි ලංකාවට එරෙහිව එල්ල වන මානව හිමිකම් යුද අපරාධ ආදී කිසිදු චෝදනාවක් නැත.

කොටින්ට, තවමත් මේ රටේ කොතැනක හෝ බෝම්බයක් පුපුරා යන තත්ත්වයක් තිබිණි නම් නව යටත් විජිතවාදී බලවතුන් අපව මැදිකර සිය දඬු අඬුව තද කරන්නේ නැත. ඔවුන්ට ඇති ප්‍රශ්නය ත්‍රස්තවාදය පරාජය කළ මේ කුඩා දූපත් රාජ්‍යය ආර්ථික සංග්‍රාමයද ජයගැනීම සඳහා වේගවත් ගමනක යෙදී සිටීමයි.

එසේ නැතිව ඔවුන්ගේ සැබෑ ප්‍රශ්නය මානව හිමිකම් නොවේ. මානව හිමිකම් දඩමීමා කරගැනීම පමණක් සිදුව තිබේ. සාකච්ඡාව වෙනුවට ‘යුද්ධය’ තෝරා ගත්තේ එල්. ටී. ටී. ඊ යයි ශ්‍රී ලංකාව සටන් කළේ ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය සමඟ බවද, ඕනෑම යුද බිමකදී 100%ක් මානව හිමිකම් ආරක්ෂා නොවන බවද මේ බලවතුන් සිතාමතාම අමතක කරන්නේ ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නය මානව හිමිකම් නොවන බැවිනි.

අධිරාජ්‍යවාදී බලවතුන් සිය යටත් විජිත වශයෙන් පැවැති රාජ්‍යයන් තවදුරටත් අල්ලාගෙන සිටීමට නොහැකි තැන බාහිර වශයෙන් යම් දේශපාලන ස්වාධීනත්වයක් ලබාදෙමින් ඒවා අත්හැරියේ නූල තමන් අත තබාගෙනයි. මුල්‍ය ප්‍රාග්ධනය හා නොයෙකුත් රාජ්‍ය තාන්ත්‍රික උපාය - උපක්‍රම ඔස්සේ තවදුරටත් එම යටත්විජිත ආධිපත්‍ය ඉදිරියට ගෙනයාමට ඔවුන් සුක්ෂම විය.

නව යටත් විජිතවාදය ලෙස අද අප අත්දකිනුයේ එම ක්‍රියාදාමයයි. අතීතයේදී යම්දුරකට අප්‍රකටව ක්‍රියාත්මක වූ එය දැන් එළිපිටම ක්‍රියාත්මක වෙමින් ඇති බවට නිදසුන් ලෝකයේ නොයෙක් තැන්හි දක්නට හැකිය. නව යටත් විජිතවාදය යනු අලුත් යමක් නොව පැරැණි යටත් විජිතකරණ ප්‍රතිපත්තිම අනියම් අයුරින් ක්‍රියාවට නැංවීම බව තේරුම් ගැනීම අපහසු නැත.

සිය යටත් විජිත ග්‍රහණයෙන් යම් නිදහසක් ලැබූ රටවල් තමන්ට පටහැණි ස්වාධීන ජීවන ක්‍රමයකට අනුගතවේද යන්න ගැන බියෙන් යුතු වූ අධිරාජ්‍යවාදී හාම්පුතුන් එකී බිය අතීතයේදීද වරින්වර හෙළිකර තිබිණි.

බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු මෙන්ම සාමි මන්ත්‍රී මණ්ඩලයේ සභාපති වශයෙන්ද කටයුතු කළ හිටපු බ්‍රිතාන්‍ය ඇමැතිවරයකු වූ හෙල්ෂෙම් සාමිවරයා ඒ බිය වචනවලට පෙරළා තිබුණේ මේ අන්දමින්. “අධිරාජ්‍ය විසුරුවා හැරියද ආසියාවේ හා අප්‍රිකාවේ සිදුවන්නේ මොනවාද යන්න ගැන ආර්ථික හා දේශපාලනමය වශයෙන් අපේ ඇති සැලකිල්ල පෙරට වඩා කොහෙත්ම අඩුවී නැත. වර්ධනය වෙමින් පවතින ‍ලෝකය අවසානයේදී ගිල ගැනීම බටහිර ජාතීන්ගේ වුමනාවකි”

(Foreign Affairs, April – June 1965 -) බටහිර බලය සහ ලංකාවේ ඉරණම’ යටත් විජිත වියගසේ බැඳීසිට සාපේක්ෂ නිදහසක් ලැබූ බොහෝ රාජ්‍යයන් අඩු - පාඩුකම් මධ්‍යයේ වුවද ජාතික රාජ්‍ය ගොඩනැගීමේ මාවතට පිවිසීම යටත් විජිත බලවතුන්ට නොරිසිවු බව ඉන් ඉතා පැහැදිලිවෙයි.

අලුතෙන් නිදහස ලබාගත් රටවල එම වුවමනාව බටහිර බලවතුන් විසින් දුටුවේ තමන්ට එරෙහිව ඇතිවන අවදානමක් වශයෙනි. ඒ අවදානමට ඉඩනොතැබිය යුතු බව ඔවුන් නිර්දය ලෙස කියා සිටින්නේ එය ගිල ගැනීම බටහිර ජනතාවගේ වුවමනාවක් බව, නොසඟවා පවසමිනි. යටත් විජිත ලෙස පැවැති රටවල ඒ සියල්ලටම පොදු ආර්ථික වාර්ගික, සමාජයීය, සංස්කෘතික පරිපාලන ආදි ගැටලු සමුදායක් උද්ගතව ඇත්තේ ඒ වුවමනාවට අනුවයි.

යටත් විජිතවාදය

එය දීර්ඝ කාලයක් යටත් විජිතයක් ලෙස පැවැති ශ්‍රී ලංකාවටද අදාළයි. දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාව පීඩා විඳි බෙදුම්වාදී, ත්‍රස්තවාදී අර්බුදයේ මුල් ද යටත් විජිත පාලනය හා සම්බන්ධයි.

පැරැණි අධිරාජ්‍යවාදය හා නව යටත් විජිතවාදය අතර දෘෂ්‍යමාන වෙනස්කම් ඇති බවද සැලකිය යුතුය. පැරැණි අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වූයේ සෘජුවම අවිබලය යෙදවීම, වංචනික ගිවිසුම් ආදිය ඔස්සේ වුවද නූතනයේ දී බොහෝ දුරට එම උපාය මාර්ග වෙනසට ලක්වී ඇත.

නව යටත් විජිතවාදය ව්‍යාප්ත කිරීමේදී අධිරාජ්‍ය ගැති පාලක පංතීන්, දේශපාලන පක්ෂ, බුද්ධිමතුන්, වෘත්තිකයන් රාජ්‍ය නොවන සංවිධාන ආදී විවිධ මෙවලම් රැසක් නව යටත් විජිතවාදී බලවතුන් උපයෝගීකර ගනී.

පැරැණි හෝ නව මුහුණුවරින් යුතු වුවද අධිරාජ්‍යවාදයේ සැබෑ වුවමනාව සෙසු රටවල සම්පත් කොල්ලකමින් තම රටවල සමෘද්ධිය ගොඩනඟා ගැනීමයි. ඉකුත් දශක කිහිපය මුළුල්ලේම සිදුවූ යුද ගැටුම් පිළිබඳ විමසිල්ලෙන් බලනවිට පෙනෙනුයේ ඒවා පිටුපස ඇති යථාර්ථය සම්පත් බවය.

එක්කෝ ඛනිජ තෙල්ය, නැතිනම් ජලය හෝ වෙනත් ස්වභාවික සම්පතකි. යට‍ත් විජිත යුගයේදී ශ්‍රී ලංකාවත් ඇතුළුව යටත් විජිතයක් ලෙස පැවැති රටවල සාරය උරාබිව් ආකාරය පිළිබඳ නිදසුන් ඔවුන්ගේම වාර්තාවලින් සපයාගත හැකිය.

අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය පාලනය කරන්නේ තමන් බව පෙන්වමින් නැඟී සිටියේද යටත් විජිත රටවලින් උරාගත් ඒ සාරයෙන් අදට ද ලොව සියලු රටවල ඒකාබද්ධ දළ ජාතික නිෂ්පාදිතයෙන් 85%කට හිමිකම් කියන්නේ ලෝක ජනගහනයෙන් 20%ක් වන මේ ධනවත් රටවල ජනයා බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙයි.

තවදුරටත් ලෝක බල තුලනයක් නොමැති පසුබිමක දුබල වෙමින් පැවැතියද අමෙරිකාව මුල්තැන්හි තබමින් සෙසු නව යටත් විජිත බලවත්හු සිය පොදු අභිලාෂය සපුරාගැනීම සඳහා පෙළ ගැසී සිටිති. නව අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රීය බලවතා බවට පත්ව සිටින්නේ එක්සත් ජනපදයයි. අප්‍රිකාව, ලතින් අමෙරිකාව ආදී තැන්වල අතීතයේදී සිදුකළ සම්පත් කොල්ලකෑම්, සූරා කෑම් වලින්ද පෙන්වා දී ඇත්තේ යටත් විජිතවාදී න්‍යාය පත්‍රය ඔවුන් දිගහරිමින් ඇති ස්වරූපයයි.

හිටපු අමෙරිකා ජනාධිපතිවරයකු වන තෝමස් ජෙෆර්සන් වරෙක සිය රට හැඳින්වූයේ “නිදහස් අධිරාජ්‍යයක්” (Empire of Liberty) වශයෙන් අධිරාජ්‍ය වශයෙන් නොව “ නිදහස් රාජ්‍ය” වශයෙන් පැවැතීමට සෙසු රටවලට ඇති අයිතිය අමෙරිකාව පිළිගන්නේ නැතිද? ලෝකයට නායකත්වය දීමේ වගකීම ඉතිහාසය විසින් පවරා ඇත්තේ අමෙරිකානු ජාතියට බව හිටපු අමෙරිකා ජනාධිපතිවරයකු වන ඕවිට් ඩී අයිසන්හවර් ප්‍රකාශ කර ඇත. එය තරමක් වෙනස් ආකාරයකින් සුපතල ඉංග්‍රීසි කිවි රඩ්යාඩ් කිප්ලිං පද්‍යයෙන් කීවේ, ලෝකය ශිෂ්ට සම්පන්න කිරීම සුදු මිනිසාගේ වගකීමයි යනුවෙනි.

ඉරානයේ මෙහෙයුමක නිරත ඇමෙරිකානු හමුදා

ලෝකයට නායකත්වය දීම සඳහා තනි රටකට ඇති අයිතිය කුමක්ද? තමන්ට එවැනි අයිතියක් ඇතැයි යම් රටක් සිතන්නේ නම් ඒ රට ලෝකයට නායකත්වය දෙමින් ඇත්තේ මේ අන්දමින්ද? ලෝකය ශිෂ්ට සම්පන්න කිරීම තම කාර්යය බව කියන සුදු මිනිසුන් කොපමණ ශිෂ්ට සම්පන්න ලෙස හැසිරී ඇතිද යන්න ගැන හොඳම නිදසුන් හමුවන්නේද යටත් විජිත රටවලිනි.

සුදු මිනිසුන් ගේ ශිෂ්ටත්වය

1818 ඌව වෙල්ලස්ස අරගලයේදී සුදු පාලකයන් කීවේ අපි අශිෂ්ටයන් උන්ගේ ගුහාවලට දක්කන්නේ අසිපතෙන්,ගින්නෙන් හා සාගතයෙන් බවයි. කියු විලසම වයස අවුරුදු 18ට වැඩි පිරිමින් මෙන්ම කුඩා දරුවන් සහ ගැහැනුන් පවා මරා දමමින්ද, සශ්‍රීක වෙල්ලස්ස ගිනිලමින්ද, ඵලදරන ගහකොල සියල්ල කපා විනාශ කරමින්ද ඔවුහු තම ශිෂ්ටත්වය ඉතිහාසයට එකතු කළහ.

මෙකී ශිෂ්ටත්වය හා ලෝක නායකත්වය පිළිබඳ ලොව සෙසු රටවල් ප්‍රශ්න කරනවිට ඔවුන්ට දීමට ඇති පිළිතුර කුමක්ද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු නොදී සෙසු රටවල් ප්‍රශ්න කිරීමට ඔවුන්ට අයිතිය ලියා දුන්නේ කවුද? මේ ප්‍රශ්නවලට පිළිතුරුදීමස වෙනුවට නව අධිරාජ්‍යවාදී බලවතුන් අද කරමින් සිටින්නේ අතිශයින් නග්න ලෙස සිය න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවමින් තිබීමයි.

පාට කණ්ණාඩි ගලවා දමා මේ ලෝක යථාර්ථය නිරුවත් දෑසින් දැකීමට හැකිවන්නේ යම්සේද ඒතරමට නව යටත් විජිතවාදයේ වහලුන් නොවී සිටීමට අපට හැකිවනු ඇත. රට ඉදිරිපිට ඇති මේ තීරණාත්මක මොහොතේ අප තේරුම්ගත යුතු සත්‍යය එයයි. එකී සත්‍ය තේරුම් ගැනීමට පමාවන තරමට නව යටත් විජිතවාදීන් අපට එරෙහිව වියන දැළ තව තවත් ශක්තිමත් කරනවාට සැක නැත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා