ජාත්‍යන්තරයේ නම රැන්දූ රජරට ඩී.එස්. සේනානායක ප්‍රාථමික විදුහල

ජාත්‍යන්තරයේ නම රැන්දූ රජරට ඩී.එස්. සේනානායක ප්‍රාථමික විදුහල

අධ්‍යාපනයේ උසස් පරමාර්ථ සාක්ෂාත් කර ගනිමින්, අනාගත අභියෝගයන්ට මුහුණදිය හැකි නිපුණතාවලින් පරිපූර්ණ වූ සදාචාරවත් දරු පරපුරක් සමාජයට දායාද කිරීමේ දැක්මකින් යුතුව, “සෑම දරුවෙක්ම මගේය” යන හැඟුමෙන් පිළිගෙන ඔවුන් තුළ සවිබල, නැණ බල ගුණ වඩවමින් සමබර පෞරුෂයකින් යුතු ලෝකයට උචිත දරු පරපුරක් රටට දායාද කිරීමට කැපවෙමු යන මෙහෙවරින් යුතුව අනුරාධපුර ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විදුහල, වර්තමානය වන විට අභිමානවත් ගමනකට අවතීර්ණව සිටීම ලක්මවට මහත් ආශිර්වාදයක් වී ඇත.

2003 වර්ෂයේ දී ආදර්ශ ප්‍රාථමික විදුහලක් ලෙස ආරම්භ වූ මේ විද්‍යාලය 2013 වර්ෂයේ දී වත්මන් විදුහල්පති අජිත් ප්‍රියන්ත වඩුගේ මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් යුතුව, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු පෙන්වීමට සමත් වීමද එදා මෙදා තුර විද්‍යාලය ලැබූ ඉහළම ජයග්‍රහණ අතරට සාඩම්බරව එක්වීම සුවිශේෂත්වයකි.

“කදම්භ නදී” නමින් 1985 ජූනි මස 27 වැනි දින අනුරාධපුර නැඟෙනහිර ආසනය නියෝජනය කළ යසපාල හේරත් මන්ත්‍රීවරයාගේ අනුග්‍රහය ඇතිව, එවක නාගරික මන්ත්‍රී ඩබ්ලිව්. ඩී.වී. චන්ද්‍රසේන මහතාගේ ආරාධනය පරිදි නගරාධිපති ජයසේන දිසානායක මහතාගේද සහභාගීත්වය ඇතිව කේ.ඩී. එම්. සී. බණ්ඩාර මහතා අතින් මුල්ගල් තබා මෙම විද්‍යාලය ආරම්භ කෙරිණි. අද දිදුලන මෙම පාසලේ එවක ප්‍රථම විදුහල්පතිවරයා ලෙස වැඩ භාරගනු ලැබූයේ පී. ආරියබන්දු මහතාය.

ගුරු මණ්ඩලය

තම දරුවා වඩාත් පහසුකම් ඇති හා පිළිගත් පාසලකට යැවීම මවුපියන්ගේ එකම අරමුණ වන්නේය. ඒ හෙයින් නගරයේ පහසුකම් සහිත පාසල් වෙත දරුවන් ඇතුළත්කර ගැනීමට එවක මාපියන් දැඩි තරගකාරීත්වයකට ලක්ව සිටියහ.

එකී තරගකාරීත්වය තුළ 1985 වර්ෂයේ දී තම පාසල වෙත දරුවන් ඇතුළත් කර ගැනීමට සිසු සිසුවියන් සොයායාමේ උත්සාහයක නිරත වන්නටද විදුහල්පතිවරයාට සිදු වූ බව කියති. එහෙත් අද ඇත්තේ ඊට හාත්පසින් වෙනස් තත්ත්වයකි.

එදා එක් ශාලාවකින් ඇරැඹි මෙම විදුහලෙහි ළමුන් 13 දෙනෙකුගෙන් හා ගුරුවරුන් දෙදෙනෙකුගෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ. ක්‍රමයෙන් පාසලෙහි සිසු සංඛ්‍යාව වැඩිවීමත් සමඟ 1988 වර්ෂය් දී ළමුන් 100 දෙනෙකු පමණ මෙහි අධ්‍යාපනය ලැබීය. ඒ අනුව අ.පො. ස. (සා.පෙළ) දක්වා පංති පැවැත්වීමටද හැකියාව ලැබුණි.

 ශ්‍රව්‍ය දෘෂ්‍ය කාමරය

දරුවන් ආගමික වතාවත්වලට සැරසී

2014 - පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම

චෙස් ක්‍රීඩාවේ යෙදෙන සිසුන්

නායකත්ව පුහුණුව

1990 වර්ෂ්‍ය තුළ දී “කදම්භනදී” ඩී.එස්. සේනානායක විද්‍යාලය නමින් ලියාපදිංචි කෙරුණි. එවක උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ව සිටි බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මෙම විද්‍යාලය ආදර්ශ ප්‍රාථමික විදුහලක් බවට පත් කළේය.

පාසලේ ගුණාත්මක සංවර්ධනය හා භෞතික සම්පත් සංවර්නය කෙරෙහි ද ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දායකත්වයක් සැපයීය. මෙහි ප්‍රාථමික පංති ආරම්භ කිරීමට එරෙහිව එම අවධියේ මවුපියන් සහ සිසු දරුවන්ද වීදි බැස්සේය.

දැඩි විරෝධතා එල්ල කළේය. එම විරෝධතා පසෙකලා සාර්ථකව ඉදිරියට ගෙන ආ ප්‍රාථමික විද්‍යාලය වර්තමානයේ අනුරාධපුර දිසාවේ ඇති ප්‍රමුඛ පාසලක් බවට පත් වී ඇත.

ගොඩනැගිලි 09කින් සමන්විත අද පාසල ළමුන් 13ක් දෙනෙක්ගෙන් ආරම්භ වී වර්තමානයේ 2500 ඉක්මවා ඇත. එදා ගුරුමණ්ඩලය දෙදෙනෙකි. අද ගුරුභවතුන් 87 ක් දක්වා වර්ධනය වී තිබේ. දෙමහල් හා තෙමහල් ගොඩනැගිලි පද්ධතියකින් ද සමන්විත වූ මෙහි පුස්තකාල, පරිගණක ඒකක, ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, ක්‍රීඩාපිටිය, සෙල්ලම් මිදුල, බුද්ධ මන්දිරය, ගුරු නිවාසය යන සියලු අංගයන් ගෙන් සවිබල ගැන්වී ඇත.

පාසල පංති කාමරයට සීමා නොවූන ප්‍රායෝගික අත්දැකීම් ඇති නව ලොවත් සමඟ සෘජු ලෙසම ගනුදෙනු කළ හැකි දරුවෙකු නිර්මාණය කිරීමෙහි නියැළී සිටීම අද අධ්‍යාපනය ලබන හා හෙට අධ්‍යාපනයට අයන්න කියවන දරුවන්ගේ වාසනාවකි.

විදුහල්පති අජිත් ප්‍රියන්ත වඩුගේ

වත්මන් විදුහල්පති අජිත් ප්‍රියන්ත වඩුගේ මහතාගේ දැඩි අධිෂ්ඨානය මත ගිය වසරේ දීද 31.7% ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල පෙන්වීමට ඩී.එස්. සේනානායක විද්‍යාලය සමත් වූ අතර, 2014 විභාගය සඳහා වූ අධ්‍යාපන ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව ක්‍රියාවට නංවා ඇත.

මවුපියන්ගේ දායකත්වයද ගුරුමණ්ඩලයේ කැපවීමද අනුව ඒ අධිෂ්ඨානය හා ඉලක්කය ළඟා කර ගැනීම අපහසු නොවනු ඇත.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතාගෙන් නොමද සහාය හා ඔවුනගේ කැපවීමද අනාගත දරුපරපුරේ උන්නතියට පිටුවහලක් වන බවද විදුහල්පති අජිත් ප්‍රියන්ත මහතා පවසයි.

බාහිර බලපෑම් වලින් තොරව අධ්‍යාපන කටයුත්තේ නියැළීමට අවශ්‍ය පසුබිම උදාවී තිබීම කෙරෙහි ද ඇමැතිවරයා සිය ප්‍රණාමය පුද කළ බව අජිත් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

නව ලොවට උචිත හා ඊට මුහුණදිය හැකි දරුවකු නිර්මාණය කිරීම වෙනුවෙන් පාසල තුළ විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ද ක්‍රියාත්මකය.

උදය රැස්වීම හා ඇගැයීම් කටයුතු, පරිසර කමිටුව, ඉංග්‍රීසි හා දෙමළ භාෂා වැඩසටහන්, මුද්දර සමාජ, චෙස් ක්‍රීඩාවට ළමුන් පුහුණු කිරීම, ශිෂ්‍ය උපදේශනය, කුඩා මිතුරි වැඩ සටහන, ශිෂ්‍ය සුබසාධනය, ව්‍යාපෘති කමිටුව, සෞන්දර්ය නිර්මාණ කුසලතා සංවර්ධන වැඩසටහන, ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයේ නව වැඩසටහන්, දැනුම මිනුම වැඩසටහන් හා ක්‍රීඩා කටයුතු ද මුල් තැනක් ගනී.

විශේෂයෙන් සෑම දරුවකුම තමන් අදහන ආගම කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම කෙරෙහි ඔවුන් හුරු කිරීම හා ඊට අවශ්‍ය පසුබිම සකස් කරදීම මෙම පාසලෙහි දක්නට ඇති තවත් එක් සුවිශේෂත්වයකි.

මෙකී අරමුණු ඔස්සේ ගමන් කරන මෙම විද්‍යාලීය විදුහල්පතිවරයා ප්‍රධාන ගුරු මඬුල්ල වර්තමානය වන විට අනුරාධපුර නගරයේ දිදුලන පාසල බවට ඩී‍.එස්. සේනානායක විද්‍යාලය රැගෙන යාමට සමත්ව ඇත.

ශරීර සුවතා වැඩසටහනකදී

ඉංග්‍රීසි අංශයේ ජයග්‍රාහිකාවන්

විදේශීය දූත පිරිසක් සමඟ

ප්‍රාථමික අංශයේ පන්ති කාමරයක්

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේෂණය කර බලන කළ 2005 හා 2006 වසරවල විභාගය සමත් වූවන්ගේ අගය 1% ක් විය. 2007 දී එම අගය 14%කි.

2008 දී 12% ප්‍රතිශතයක් ද 2009 යළිත් එම අගය 14%ක් විය. 2010 දී 18% ක් වූ අතර 2011/2012 එය 20% කි. 2013 වර්ෂයේ දී එම ඉලක්කයන් අභිභවමින් 31.7%ක ප්‍රතිඵලයක් පෙන්වීමට හැකිවීම වත්මන් විදුහල්පතිවරයාගේ මඟපෙන්වීම මත සිදු වීම ප්‍රශංසාවට ලක්ව තිබේ.

මෙම ප්‍රතිඵලයන්ට අමතරව විවිධ අංශයන්ගෙන් උපන් හපන්කම් දක්වන්නට සේනානායක දරු දැරියෝ හපනුන්ය. චෙස් හා කරාටේ ක්‍රීඩවද පාසලේ කීර්ති නාමය රැකදෙන්නට දායකත්වය උසුලයි.

2013 වසරේ දී සමස්ත ලංකා තරගාවලියේ දී චෙස් ක්‍රීඩාවෙන් පළමු තැන හිමිකරගන්නට ද සේනානායක සිසුවකු සමත් විය.

ආසියානු චෙස් තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් සිසුන් 05 දෙනකු සහභාගි කරවීමට මෙම විද්‍යාලයට හැකි විය. ඉන් පස්වැනි ස්ථානය දිනා ගැනීමට සේනානායක සිසුවකු සමත් විය.

එමෙන්ම මනෝමය ගණිත සංකල්පය වර්ධනය කිරීමේ වැඩසටහනටද විශේෂ ස්ථානයක් හිමිව තිබීම විශේෂත්වයකි. මෙහිදී සහිරු වන්නිනායක සිසුවාගේ දක්ෂතාවයන් අගයමින් මැලේසියාවෙන් උපාධියක් පිරිනමණ ලදී.

එය උතුරු මැද පළාතටද මහත් කීර්තියක් ගෙන දෙන්නා සේම, රටටද ඉමහත් ගෞරවයක් අත්කර දුන්නකි. ග්‍රාමීය දිළිඳු දරුවන් ලොවක් හමුවේ දස්කම් පාමින් ඉදිරියට ගමන් කරද්දී සේනානායක විදුහල් මාතාව තම දරුවන්ගේ හැකියාව ලොවට කියමින් සුවහසක් අනාගත දරු පරපුරේද නැණ ගුණ වැඩීම උදෙසා නිහතමානී ආඩම්බරයෙන් යුක්තව බලා සිටීම සාඩම්බර ඉතිහාසයක් ඇති අනුරපුර ජනයාට ද මහත් ගෞරවයකි. කීර්තිය ප්‍රශංසාව ගෙන දෙන්නකි.

පංති කාමරය තුළ ඉගැන්වීමේ ක්‍රියාදාමයත් සමඟ අනෙකුත් පාසල් අභිභවා සෑම විටකම ඵලදායිතාව වෙනස් කිරීමේ ක්‍රියාදාමයක තමන් ඇතුළු ගුරු මණ්ඩලය නිරතව සිටින බව විදුහල්පතිවරයා සඳහන් කරයි.

ශ්‍රව්‍ය දෘෂ්‍ය කාමරය තුළ දී ඉගැන්වීම් වලට අදාළ පාරිසරික ක්‍රියාකාරීත්වයන් මෙන්ම වෙනත් පොත පත හා වීඩියෝ දර්ශනද, සෞන්දර්ය වටිනාකම් පිළිබඳව ද ප්‍රායෝගිකව දැනුමක් ලබාදීමටද පියවර ‍ගෙන තිබීම දරුවාගේ මනස වර්ධනයට ඉමහත් රුකුලක් වී ඇත.

සහිරු වන්නිනායක සිසුවා

ඉංග්‍රීසි භාෂාව හුරුකරවීමට විදේශිකයන් සමඟ සිදුකෙරෙන ප්‍රායෝගික ක්‍රියාකාරම් තුළින් ඉංග්‍රීසි දැනුම වර්ධනය කෙරෙහි ද වැඩි අවධානයක් යොමුව තිබේ.

භෞතික හා ගුණාත්මක සංවර්ධනය හරහා සේනානායක විද්‍යාලය ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය අතරින් ඉහළම තැනට රැගෙන යාම තම වෑයම වී ඇතැයි ද අජිත් ප්‍රියන්ත වඩුගේ මහතා පවසයි.

අද වන විට සිසුන් අැතුළත් වීෙම් වර්ධනයක් හා විභාග ප්‍රතිඵල අතර සාධනීය වර්ධනයක් පෙන්නුම් කරන බව ද හෙතෙම සඳහන් කරයි.

උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයකුව කටයුතු කළ ‍ ගෝඨාභය ජයරත්න මහතාගෙන් ලද දායකත්වය හා කැපවීම මත මෙම විදුහල අද කීර්තිමත් විදුහලක් බවට පත්ව තිබීම සතුට ගෙන දෙන්නක් බවත් කළගුණ දන්නා මිනිසුන් ලෙස ගෝඨාභය අධ්‍යාපන ලේකම් වරයා මෙහිදී සිහිපත් කළ යුතුමය.

මෙම කරුණු හැරුණකොට ලන්ඩනයේ පාසලක් සමඟ මිත්‍ර සබඳතා පවත්වමින් අන්තර් ජාලය හරහා ඉංග්‍රීසි දැනුම හුවමාරු කර ගනිමින් ඉංග්‍රීසි භාෂාව වෙත ළමුන් වඩ වඩාත් නැඹුරු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාවට නැංවීමට පාසල සමත්ව සිටීම සතුටුදායකය. කේ.පියදාස, ජේ.එම්. මෛත්‍රිපාල, ඒ.එච්.උපාලි, ඩී.එස්. කුමාරසිංහ යන මහත්ම මහත්මීහුද මීට පෙර විදුහල්පතිවරුන් ලෙස කටයුතු කර ඇත.

වර්තමානය වන විට කේ.ඩී. දිසානායක මහත්මිය නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙසත් එස්. ඩබ්ලිව්. සේනානායක මහතා සහ ප්‍රියදර්ශනී ඩයස් මහත්මිය සහකාර විදුහල්පතිවරුන් ලෙසත් කටයුතු කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා