ජානක ගුණරත්නගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ජානක ගුණරත්නගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළ ජානක ගුණරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් මුවර්ස් ක්‍රීඩා සමාජයට හිමිවිය. කෝල්ට්ස් පළමු ඉනිමේදී කඩුලු 4ක් බිඳ දැමු ජානක දෙවැනි ඉනිමේදී ලකුණු 92කට කඩුලු 8ක් දවාගත්තේය. මුවර්ස් වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වු හර්ෂ කුරේ ලකුණු 111ක් රැස්කළේය.

මේ අතර එන්.සී.සී ක්‍රීඩා සමාජයේ ජෙහාන් මුබාරක් බදුරලිය පිලට එරෙහිව හා බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නිපුන් කරුණාරත්න එස්.එස්.සී පිලට එරෙහිව ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත්වුහ.

එන්.සී.සී පිල මේ තරගයේදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක හා ලකුණු 206ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සමත්වු අතර බ්ලුම්ෆීල්ඩ්-එස්.එස්.සී තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එන්.සී.සී පිලේ ජෙහාන් මුබාරක් නොදැවී ලකුණු 222ක් රැස් කළේ පන්දු 299කදී හතරේ පහර 32ක් සමගිනි.

එස්.සී පිල පළමු ඉනිමට ලකුණු 543ක් රැස්කළේය. තිළිණ කණ්ඩම්බි ලකුණු 165 හා තරංග පරණවිතාන ලකුණු 151ක් ඉනිමට එක් කළහ. තරගය නිමාවනවිට පිළිතුරු ලෙස බ්ලුම්ෆීල්ඩ් පිල කඩුලු 6කට ලකුණු 546ක් රැස්කර තිබිණි. නිපුන් කරුණාරත්න පන්දු 391කදී හතරේ පහර 24ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 248ක් රැස්කළේය.

රාගම පිල පරදවා කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට පානදුර පිල සමත්විය. ගුවන් හමුදාව සමග පැවැති තරගයෙන් යුද හමුදා පිල කඩුලු 6ක ජයක් හිමිකරගත් අතර හලාවත-ද්‍රවිඩ සංගම් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා