බ්ලුස්ටාර්-නාවික-කොළඹ යුද හමුදාව සුදුසුකම් ලබති

කාගිල්ස් ෆුඩ් සිටි එෆ්.ඒ පාපන්දු අවසන් වටයට

බ්ලුස්ටාර්-නාවික-කොළඹ යුද හමුදාව සුදුසුකම් ලබති

කාගිල්ස් ෆුඩ් සිටි එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට බ්ලුස්ටාර්, නාවික, කොළඹ හා යුද හමුදා කණඩායම් සුදුසුකම් ලබාගත්හ.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවට පත්වු කොළඹ හා මාතර ක්‍රීඩා සමාජ අතර තරගයෙන් ගෝල් ගෝල් 4-1කින් කොළඹ ක්‍රීඩා සමාජය පිල ජයගත් අතර ශ්‍රී ලංගම හා යුද හමුදාව අතර රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල් දඬුවම් පහර 4-2කින් යුද හමුදා පිල ජය ලබා අවසන් වටයට සුදුසුකම් ලබාගත්හ.

එමෙන්ම පෙරේදා මාතර උයන්වත්ත පිටියේදී නිමාවු කළුතර බ්ලුස්ටාර් හා දොන් බොස්කෝ අතර තරගයෙන් ගෝල් 3-0කින් බ්ලුස්ටාර් ජය ලබාගත් අතර අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති නාවික-රත්නම් තරගයෙන් ගෝල් 2-0ක ජයක් නාවික හමුදාව අත්කර ගත්තේය.

ඒ අනුව කොළඹ-යුද හමුදාව හා බ්ලුස්ටාර්-නාවික කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග ලබන 15වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බ්ලුස්ටාර්-දොන් බොස්කෝ අතර තරගයේදී බ්ලුස්ටාර් පිලට විශාල වාසියක් ගෙනදුන් අප්‍රිකානු ජාතික ආබිසුන් ඩැනියෙල් ගෝල් 2ක් හා මොහොමඩ් ෆාහීර් ගෝලයක් වාර්තා කළහ.

තරගයේ 10වැනි මිනිත්තුවේදී ෆාහීර් ගෝලය ලබා බ්ලුස්ටාර් බලා‍පොරොත්තු ඉහළ නැංවු අතර ඩැනියෙල් 22වැනි හා 77 වැනි මිනිත්තුවලදී දොන් බොස්කෝ ක්‍රීඩකයන්ට විශාල පීඩනයක් ගෙන එමින් ගෝල් වාර්තා කළහ.

පසුගිය එෆ්.ඒ.කුසලාන ශූරයන් වු නාවික හමුදාව ප්‍රබල රත්නම් පිල පරාජය කරද්දී පළමු ගෝලය එල්.පී.ලලිත් හා දෙවැනි ගෝලය ඒ.සී.සමීර විසින් හිමි කරගන්නා ලදි.

එ‍ෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියට මෙවර නව මුහුණුවරක් ලබාදෙමින් අවසන් පූර්ව තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය රීඩ් මාවතේ නවීකරණය කරන ලද තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. නවීකරණයෙන් පසු මෙතෙක් ජාත්‍යන්තර රගර් තරග පමණක් පැවැති එම ක්‍රීඩාංගණයේ පාපන්දු තරගයක් පවත්වන පළමු අවස්ථාවද එය වනු ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා