අප යුද අපරාධ සිදුකළේ නැතැයි ප්‍රකාශයකට විරුද්ධ පක්ෂයට අත්සන් කළ නොහැකි ඇයි?

අප යුද අපරාධ සිදුකළේ නැතැයි ප්‍රකාශයකට විරුද්ධ පක්ෂයට අත්සන් කළ නොහැකි ඇයි?

ඇමැති විමල් වීරවංශ ප්‍රශ්න කරයි

මේ රටේ ආරක්ෂක අංශ යුද්ධයේ අවසන් සමයේදී යුධ අපරාධ සිදුකළේ නැතැයි කියා වගකීමකින් යුතුව ලෝකයට කරුණු හෙළිකරන ප්‍රකාශයකට විරුද්ධ පක්ෂයේ නායකයන්ට අත්සන් කළ නොහැකි මන්දැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.

මේ යුද්ධය කළේ අණ්ඩුව වෙනුවෙන් හෝ රාජපක්ෂවරුන් වෙනුවෙන් නොවන බවත් යුද්ධය නිමාවී සාමයේ ප්‍රතිළාභ ලැබුණේ සිංහල ජනතාවට පමණක් නොවන බවත් අවධාරණය කළ ඇමැතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනිකව කුමණ වාද භේද තිබුණද දේශපාලනයේදී ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් යනුවෙන් කොටසක් ද තිබෙන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

හෙතෙම මේ අදහස් පළ කළේ රුපියල් කෝටි 5 ක වියදමින් ඉදිකෙරුණු නවගමුව දකුණ වසමේ කෝන්ගහහේන පාර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වෙමිණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය

ඇමැති විමල් වීරවංශ මහතා කෝන්ගහහේන පාර ජනතා අයිතියට පත්කළ අයුරු.

ලංකාවේ සිදුවී ඇතැයි කියන යුධ අපරාධ පිළිබඳ හොයන්න මේ වනවිට ජිනීවා නුවර වෙනම යෝජනා ගේනවා. යුධ අපරාධ ලංකාවේ සිදුවු‍ණේ නැහැ කියල අයි විරුද්ධ පක්ෂයේ නායකයන්ට කට ඇරලා කියන්න බැරි. මේ රටේ ආරක්ෂක හමුදාව යුද්ධයේ අවසාන සමයේදී යුධ අපරාධ සිදු කළේ නැහැ කියල මේ රටේ සෑම දේශපාලන පක්ෂයකටම වගකීම අරගෙන කියන්න බැරි ඇයි.

මේ යුද්ධය කළේ අණ්ඩුව වෙනුවෙන් වත්, රාජපක්ෂවරු වෙනුවෙන් වත් නොවෙයි. සාමය දිනා දුන්නේ සිංහලයාට පමණක්ද?. සිංහල, දෙමළ, මුස්ලිම් කියන අපි සියළුදෙනාටමයි මේ සාමය දිනා දුන්නේ. අපේ රණවිරුවෝ යුධ අපරාධ කළා කියල හංවඩුව ගහන්නයි මේ එන්නේ. චැනල් 4 මාධ්‍ය ආයතනයේ අර අපකීර්තිමත් මාධ්‍යවේදියා සිරිකොත ඇතුළේ හංගගෙන ඒවාට උදව් කිරීමද ? කළ යුතුවන්නේ.

නැත්නම් මොන දේශපාලන මතය තිබුණත් අපේ රටේ දේශපාලන නායකයින් එක ලියුමකට අත්සන් කරල මේ රටේ යුධ අපරාධ සිදුවුණේ නැහැ කියල මුළු ලෝකයටම දැනගන්න කිවයුතු නොවේද?

යුද්ධය අවසාන සමයේ යුධ අපරාධ සිදුවුණේ නැහැ, සමූහ මිනිස් ඝාතන සිදුවුණේ නැහැ. අපේ හමුදාව විනයාණුකූලව යුද්ධය කළා කියලා එක මතයක් ඉඳගෙන කියන්න බැරි ඇයි?. අනිත් චෝදනා ගැන ඒගොල්ලෝ මොනවත් කියන්න ඕනේ නැහැ. ඒ අයට හිතෙනවා නම් එ අනෙකුත් චෝදනා ඇත්ත කියලා කිව්වත් කමක් නැහැ.

හැබැයි යුධ අපාරාධ චෝදනාවෙන් රට - ජාතිය බේරාගන්න රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීමක් නොවෙයිද ? ඇයි අපි ඒ යුතුකම කරන්න කියලා දේශපාලන පක්ෂවලට බලපෑම් නොකරන්නේ.

රජය විසින් මුහුද ගොඩකර නගරයක් නිර්මාණය කරන්නට යනවා යනුවෙන් විපක්ෂ නායකතුමා ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා. අපේ විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවේ දී කියලා තිබුණා මේ ආණ්ඩුව මුහුද ගොඩකරලා නගරයක් හදනවා. කොහොමද එහෙම හදන්නේ. කාගෙන් අහලද කියලා. ඉතින් දෙයියනේ මුහුද ගොඩ කරලා හරි රටට ආදායම් ගේනන නම් නගරයක් හදන්නේ එහෙම හැදුවට මොකද වෙන්නේ. මුහුද ගොඩකරන එක ඔබට ප්‍රශ්නයක් ද . සිංගප්පූරුව කොයිතරම් මුහුද ගොඩකරගෙන තියෙනවාද ? දැන් මැදපෙරදිග රටවල් මුහුද ගොඩකරගෙන නගර හදලා නැද්ද. ඉතින් එහෙම නගරයක් හැදුණාම මොකක්ද තියෙන ප්‍රශ්නය.

ඒ නිසා ඒ වගේ නව තීරණ මේ රජය විසින් ගන්නවා. අපේ පරම්පරාවට වඩා අපේ දරුවන්ගේ පරම්පරාවේ ජීවිතවලට මේ වෙනස අවශ්‍යයි.

කඩුවෙල සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා මේ වර්ෂයේදී කඩුවෙල සංවර්ධන කමිටුවට රුපියල් ලක්ෂ 5700 ක් ලබාදෙනවා. අර්ථාන්විත ආකාරයෙන් මේ ප්‍රදේශයේ සංවර්ධනයට යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ අවස්ථාවට කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිල්ලා මහතා හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා