පත්තර මහගෙදරට පැමිණීමට ලැබීම ජීවිතයේ සදා මතක සිටින සමරුවක්

පත්තර මහගෙදරට පැමිණීමට ලැබීම ජීවිතයේ සදා මතක සිටින සමරුවක්

- ඇමැති රංජිත් සියඹලාපිටිය

පත්තර මහ ගෙදරට පැමිණීමට ලැබීම ජීවිතයේ සදා මතක සිටින සමරුවක් බව දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශන කමිටු සභාපති සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

අටවැනි දැයට කිරුළ නිමිත්තෙන් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් “දිනමිණ” ජාතික පුවත්පත සමඟ පිරිනමන විශේෂ අතිරේකය ඊයේ (20) ලේක්හවුස් ආයතනයේ දී එළිදැක්වූ චාම්, අභිමානවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා එසේ සඳහන් කර සිටියේය.

කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි පත්තර මහගෙදරට පැමිණි ඇමැතිවරයා ප්‍රධාන සම්භාවනීය පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවේ ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නිර්මාණ හා සැලසුම් කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර යන මහත්වරු විසිනි. අනතුරුව ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් යන මහත්වරු විසින් රංජ‍ිත් සියඹලාපිටිය මහතා ගෞරවාන්විතව පිළිගනු ලැබූහ.

“ දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනය නිමිත්තෙන් විශේෂ පුවත්පතක් එළිදැක්වීමට ක්‍රියා කිරීම වටිනා සත්කාරයක්. මේ සඳහා දිනමිණ ජාතික පුවත්පත එක්වීමත් වැදගත්. පත්තර මහ ගෙදරට පැමිණීමට ලැබීමත් භාග්‍යයක්”රංජ‍ිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

මේ වනවිට ජාතික පුවත්පත් කිහිපයකට තීරු ලිපි රචනා කරමින් මාධ්‍ය මෙහෙවරක නිරතවන තමාට, මේ ආයතනයට පැමිණීම අමතක නොවන සිද්ධියක යැයි ලේක්හවුස් සභාපතිවරයා ප්‍රමුඛ පිරිස සමඟ පැවැති සුහද සාකච්ඡාවේදී රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

ශ්‍රී ලාංකේය ජාතියේ ප්‍රෞඩත්වය, අතීත උරුමය ගැනත්, ජයග්‍රාහී වර්තමානය පිළිබඳවත්, සෞභාග්‍යමත් අනාගතයේ හැඩරුවත් පැහැදිලි කරන දැයට කිරුළ ජාතික වැඩපිළිවෙළේ නිර්මාතෘ අතිගරු ජනාධිපතිතුමා බව කෘතවේදීව සිහිපත් කළ ඇමැතිවරයා කොන්ද කැඩී තිබූ ජාතියේ කොඳුනාරටිය ශක්තිමත් කොට අපිට ජාතියට යළි ආත්මාභිමානය කැඳවූයේ ජනාධිපතිතුමාගේ උදාර නායකත්වය මගින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ බව කීය.

මහින්ද චින්තනයේත්, මහින්ද චින්තන ඉදිරි දැක්මේත් සඳහන් ආකාරයට අප රට ආසියාවේ ආශ්චර්යමත් රට ලෙස ගොඩනැ‍ෙඟන අයුරු මෙවර ද දැයට කිරුළින් දැක බලා ගන්නට මහජනතාවට ඉඩකඩ සලසා තිබෙනවා. ”

අතිගරු ජනාධිපතිතුමා දින හතරක් දැය‍ට කිරුළ ප්‍රදර්ශනයේ ප්‍රධාන උත්සවවලට සහභාගී වෙනවා. රුපියල් මිලියන පනස්දහසක් වියදම් කර කුරුණෑගල, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්කවල ඉතිහාස ගත වන ආකාරයේ පොදු යටිතල පහසුකම් දියුණු කිරීමක් සිදුකළා. ඒවා ජනතා අයිතියට පත් කරන උත්සව අවස්ථාවන්ට අතිගරු ජනාධිපතිතුමා හෙට කුරුණෑගලත්, අනිද්දා පුත්තලමේත් සහභාගී වෙනවා.

දැයට කිරුළ ජාතික වැඩපිළිවෙළේ සාර්ථකත්වයේ ප්‍රධානම ගාමක බලවේගය තමයි ජනමාධ්‍ය ආයතන අපට දැක්වූ, දක්වන සහයෝගය. එය නිතරම අපි සතුටින්, ගෞරවයෙන් සිහිපත් කරනවා. රංජිත් සියඹලාපිටිය මහතා කීය.

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. ගෝඨාභය ජයරත්න මහතා-: ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනය රටේ ජනතාව වෙත කෙළින්ම සංවර්ධනයේ ප්‍රතිලාභ ගෙන දෙන නිසි වැඩපිළිවෙළක්. මේ හරහා ගමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් වුණා. ඒවාගේම විශාල මුදලක් ජනතා වැඩපිළිවෙළට වෙන් කළා.

ජංගම සේවා වැඩසටහනක් පවත්වා ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දුන්නා. මේවා‍ගේ ජනතාවට දැනෙන සේවාවක් සිදුකිරීමට දැයට කිරුළින් බලාපොරොත්තු වුණා. අතිගරු ජනාධිපතිතුමා, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරුන්ට නිතරම උපදස් ලබා දුන්නේ, හැකි තරම් සංවර්ධන ක්‍රියාදාමයන්ට ජනතාව සහභාගී කරගන්නා ලෙසයි. ඒ අනුවම කටයුතු සිදුවුණා.

ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා-: දැයට කිරුළ නිමිත්තෙන් දිනමිණ පුවත්පත සමඟ විශේෂ අතිරේකයක් ලබාදීමට හැකිවීම සතුටක්. ඉතා හොඳින් මේ කටයුතු සිදු කරන්නට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජ‍ිත් සියඹලාපිටිය මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් එස්. එම්. ගෝඨාභය ජයරත්න මහතා ප්‍රධාන අමාත්‍යාංශයේ සියලු ‍ෙදනාගෙන් ලැබුණු සහාය අගය කරනවා.

ජාතික සංවර්ධනයේ වේගවත් බවක් ඇති කිරීම දැයට කිරුළින් සිදු වෙනවා. කොළඹට සීමා වී තිබූ සංවර්ධනය ගමට ගෙන යාමක් මින් සිදුවුණා. රටේ, ජනතාව‍ගේ අවශ්‍යතාවලට මූලිකත්වය ලබාදෙමින් සංවර්ධන කටයුතු සිදුවීම වැදගත් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා-: අපි ‍පත්තර මහ ගෙදර ලෙස දැයට කිරුළ ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව ජනතාව අතරට තොරතුරු ගෙන යෑමට විශාල වැඩ කාටසක් කරනවා. ඒ අතරට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයත් එක් වීම සතුටට කරුණක්.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස-: විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජගත් ප්‍රනාන්දු, මාධ්‍ය ලේකම් පැතුම් පැස්කුවල්, නිර්මාණ හා සැලසුම් කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා