දේශපාලනයේ මොන වාද භේද තිබුණත් රටේ සංවර්ධනය ආපස්සට අදින්න බෑ

දේශපාලනයේ මොන වාද භේද තිබුණත් රටේ සංවර්ධනය ආපස්සට අදින්න බෑ

ඇමැති දිනේෂ් ගුණවර්ධන

අද දේශපාලනයේ මොන වාද භේද තිබුණත් සංවර්ධනය ආපස්සට දමන්න බැරි බවත් ආර්ථිකය ඇතුළු සංවර්ධන ක්‍රියාමාර්ග කළමනාකරණය කරමින් ලෝකයත් සමඟ වේගයෙන් ඉදිරියට යා යුතු බවත් එමඟින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කැර දිය යුතු බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඉකුත් 19 වැනිදා කොළඹ නගර සභා චතුරශ්‍රය හා කොළඹ නගරය අවට මාර්ග පද්ධතිය සංවර්ධනය කොට ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමිනි. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

තවත් වසර කිහිපයකින් ශත සංවත්සරය සමරණ කොළඹ නගර සභා ගොඩනැඟිල්ල හා විහාරමහාදේවී උද්‍යානයේ සංවර්ධන කටයුතු සිදු වුණා. රුපියල් කෝටි එකසිය හතළිහකට අධික මුදලක් වැය කොට නිමවූ මේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකු සහන ණය යටතේ මුදල් ප්‍රතිපාදන ලබාගෙන තිබෙනවා. ඒ අනුව මේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීම සඳහා කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා දෙවරක් සිතන්නේ නැතිව තම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට තීරණය කිරීම කොළඹ මෙන්ම දිනපතා කොළඹ නගරයට පැමිණෙන ජනතාව ලැබූ ජයග්‍රහණයක්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය අනුව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ නගරයට පුනර්ජීවයක් ලබාදුන්නා. නගරයේ සුන්දරත්වය, හරිත කලාප මඟින් පරිසර හිතකාමී බව, ජනතාවගේ සුව පහසුව මින් සැලසුණා. මේ තත්ත්වය කවුරුත් අගය කළ යුතු කරුණක්.

කොළඹ නගරයේ තිබෙන හරිත කලාපයක් වන විහාරමහාදේවී උද්‍යානය සංවර්ධනය කොට තිබීම නගරයේ අලංකාරයට හා ආකර්ෂණයට ඉතා වැදගත්ය. මෙහි වැට ඉවත් කොට දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේදීද ආලෝකමත් කැර තිබීම ලෝකයේ දියුණු නගරවල තිබෙන උද්‍යානවලටහිමිකම් කියාපෑමකි. ආරක්ෂක ලේකම් හා කොළඹ නගරාධිපති එක්ව අත්වැල් බැඳගෙන නිම කළ මේ ව්‍යාපෘති නිමවීමෙන් පසු එහි පාලන කටයුතු කොළඹ නගර සභාවට භාරදීමෙන් නගරාධිපතිතුමාට තවත් වගකීම් පැවරෙනවා. තුරඟ තරග පිටියට, නිදහස් චතුරශ්‍රයට මේ සංවර්ධන ක්‍රියාවලිය මඟින් නව ආලෝකයක් ලබා දුන්නා. මේ වන විට වත්මන් ආණ්ඩුව දේශපාලන ස්ථාවරභාවය ඇති කොට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කරනවා. සංවර්ධනයට අවශ්‍ය ගමන් මඟට රට යොමු කැර තිබේ. එමඟින් සංවර්ධනය වේගවත් වී තිබේ. වසර තිහක් අපි මේ නගරයේ ජීවත් වුණේ බියෙන් සැකයෙන්. කොයි මොහොතේ බෝම්බ පිපිරෙයිද ඉන් අපේ ජීවිතවලට හානි වේද යන්න සිතමින්. නමුත් ඒ කාල පරිච්ඡේදය ඉතිහාසයට එක් කරන්න අපට හැකි වුනා. රණවිරුවන්ගේ හා ජනතා සහයෝගයෙන් දැන් අපට දැවැන්ත සංවර්ධනයකට රට යොමු කරන්න හැකිවී තිබෙනවා.

මෙහිදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න හා ලෝක බැංකු නියෝජිත ජෙරිතූන් මහතාද සභාව ඇමතූහ.

මේ අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ‍ෆවුසි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග ඇතුළු නගර සභා මන්ත්‍රීවරු සහ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා