ශ්‍රී ලංකා බොක්සිං තරග ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර තරගාවලියක්

ශ්‍රී ලංකා බොක්සිං තරග ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර තරගාවලියක්

මෙරට බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය පියවර ගෙන තිබේ. 'ලයන්ස් 'කුසලාන ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලිය ලෙස නම් කොට ඇති ‍මේ තරගාවලිය ලබන 28වැනිදා සිට මැයි මස 2දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සමග ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, චීන තායිපේ, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, දකුණු කොරියාව, සහ පිලිපීනය තරග වදින 'ලයන්ස්' කුසලාන ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියට බර පන්ති 10ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිති. කිලෝග්‍රෑම් 49, 52, 56, 60, 64, 69 සහ 75 බර පන්ති යටතේ පිරිමි තරග පැවැත්වෙන අතර කාන්තා තරග අංශයට කිලෝග්‍රෑම් 51, 60 සහ 75 බර පන්ති ඇතුලත්ය.

පසුගිය වසරේ ජාතික බොක්සිං තරගාවලියේ ජය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා බොක්සිං සංචිතයෙන් ලබන ජූලි මස ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලයන්ස් කුසලාන තරගාවලියට එක්වී සිටිති. එක් බර පන්තියක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින් තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය. ඒ අනුව මේ තරගාවලිය පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙර සූදානම් තරගාවලියක් ලෙස ද සැළකිය හැකිය. ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර 1967 වසරේ දී ආසියානු මට්ටමේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්විණි. ඉදිරියේ දී 'ලයන්ස්' කුසලාන ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලිය වාර්ෂිකව පැවැත්වීමට ආධුනික බොක්සිං සංගමය සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

'ලයන්ස්' කුසලාන ජාත්‍යන්තර බොක්සිං ශුරතාවලියේ සමාප්ති උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා