පිල්ලේගේ පිල්ලි පරාජය වේවා!

පිල්ලේගේ පිල්ලි පරාජය වේවා!

නාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොලීවියාවේ සිට පෙරළා ශ්‍රී ලංකාවට එන්නේ අන්තර් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ද රැගෙන ය. එක් අතෙකින් බොලීවියා රජය විසින් සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ගෞරවණීය සම්මානයක් මහින්ද මහතා වෙත ප්‍රදානය කර තිබේ. මේ සම්මානයෙන් ප්‍රකාශ වන්නේ ලතින් අමෙරිකාවේ ප්‍රකට රාජ්‍යයක් වන බොලීවියාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දැක්ම පිළිගන්නා බව ය. එය අනුමත කරන බව ය. තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව පරමාදර්ශ කොට ත්‍රස්තවාදය පරාජය කිරීමට සූදානම් වෙමින් සිටී. මේ සියල්ල යහපත් දේ ලෙස සලකා සතුටු විය හැකි ය.

මේ අතර නවී පිල්ලේ මැතිනියගේ නිරීක්ෂක කණ්ඩායම් ලබන ජූලි මාසයේ සිට සිය කටයුතු ආරම්භ කිරීමට තීන්දුවක් ගෙන සිටිති. මානුෂික මෙහෙයුම පැවැති සමයේ යුද අපරාධ සිදුවුණේ ද, මානව හිමිකම් උල්ලංඝනය වුණේ ද යන්න සොයා බැලීම එහි අරමුණ ලෙස සඳහන් වේ. එහෙත් ඇත්ත අරමුණ වන්නේ; කොටි සංවිධානය අත්පත් කරගත් පරාජය වෙනුවෙන් ආණ්ඩුවෙන් පළිගැනීම ය. නවී පිල්ලේ මැතිනිය 2009 සිට ම ක්‍රියා කර ඇත්තේ එම පළිය ගැනීම සඳහා ය. මේ පරීක්ෂණය කොයි අතින් ගත්ත ද ඒකපාර්ශ්වීය වනු ඇත. අවසන් ඉලක්කය වන්නේ; ශ්‍රී ලංකා ආණ්ඩුව බිත්තියට හේත්තු කිරීම මිස අන් දෙයක් නො වේ.

නවී පිල්ලේගේ පරීක්ෂණය සඳහා වූ පිරිස ශ්‍රී ලංකාවට පැමිණිය යුතු ද? නොපැමිණිය යුතු ද? මෙබඳු පරීක්ෂණයක් අවශ්‍ය ද? අනවශ්‍ය ද? යනාදී කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිගමනය අද සන්ධ්‍යාව වන විට දැකගත හැකි වනු ඇත. ප්‍රධාන පක්ෂ හතරක් පාර්ලිමේන්තුව නියෝජනය කරති. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ හතර ය. මේ හැරෙන්නට තවත් දේශපාලන ව්‍යාපාර කිහිපයක් ප්‍රධාන පක්ෂවලට අනුගත ව සිටිති. ලංකා කොංග්‍රසය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය හා සමසමාජ පක්ෂය එම දේශපාලන ව්‍යාපාර වේ.

මේ එකිනෙක දේශපාලන පක්ෂ ගනු ලබන තීන්දුවට අනුව ජනතාවට ඔවුන් පිළිබඳ තීරණයක් ගත හැකි ව තිබේ. කිසියම් පක්ෂයකට පිල්ලේගේ යෝජනා ප්‍රතික්ෂේප කරන්නට පුළුවන. ඒවා පිළිගන්නටත් පුළුවන. ඡන්ද විමැසීමට නො පැමිණ සිටින්නටත් පුළුවන. ඡන්දය ප්‍රතික්ෂේප කරන්නටත් පුළුවන. කුමක් වුව මෙහි ඇත්තේ ප්‍රධාන කරුණු දෙකකි. එනම්; ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිගන්නවාද නැති ද යන්න ය. වෙනත් වචනයකින් කිවහොත් ශ්‍රී ලංකාව තම ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නවාට කැමැතිද?ඊට අකැමැතිද යන්න ය. මෙබඳ අභියෝගාත්මක අවස්ථාවකදී පාර්ලිමේන්තුව වර්ජනය කිරීම තවත් ද්‍රෝහීකමක් සේ සැලැකිය හැකිය.

හෙට දවස වනවිට ජනතාවට තීරණයක් ගත හැකි ය. රටට ආදරය කරන්නේ කවුද? ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද යන්න ජනතාවට තීන්දු කළ හැකිය. මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම දේශපාලන ඥානය මෙහෙයවා ගත් තීරණයක් ලෙස සැලැකිය හැකිය. එක්සත් ජාතික පක්ෂය මේ පරීක්ෂණයට එකඟ ය. ඒ පිළිබඳ තර්කයක් නැත. ඒ සඳහා ඉදිරිපත් කරන මෝඩ තර්ක බුද්ධිමත් ජනතාව පිළිගන්නේ නැත. ජනතාව මුලාවේ දමන තර්ක ගණනක් එජාපයට තිබේ. එයින් එකක් ලෙස පිල්ලේට පන්දම ඇල්ලීම දැක්විය හැකිය.

නවී පිල්ලේ මේ පරීක්ෂණය යෝජනා කරන්නේ තවත් හේතු සාධක ගණනාවක් සමඟය. එය තේරුම් ගැනීම සඳහා නවීපිල්ලේගේ ඉතිහාසයද විමර්ශනය කළ යුතුය. නවී පිල්ලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් විමර්ශන ආරම්භ කළ කිසිදු අවස්ථාවක් සාර්ථක ලෙස නිමාවට පත් වී නැත. මේ ස්ත්‍රී චරිතය දකුණු අප්‍රිකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිට යම් අරගලයක් කර තිබේ. එය ද අසාර්ථක ය. මහත්මා ගාන්ධි දකුණු අප්‍රිකාවේදී කළ විප්ලවය යම් තරමකට සාර්ථක වුව නවී පිල්ලේ වැනි අය කරන අරගල එදා සාර්ථක වූයේ නැත. අද සාර්ථක වන්නේ ද නැත. ඊට මූලික හේතුව නවී පිල්ලේ වැනි අයට ගැඹුරු දේශපාලන දර්ශනයක් නොවීමය.

අනෙක් අතට නවී පිල්ලේ වැනි අය ලෝකයේ පිළිගැනීමට හා ගෞරවයට ලක් නොවීම ය. නවී පිල්ලේ කවුද? මහත්මා ගාන්ධි කවුද? මේ සන්දර්භය යටතේ අප තේරුම් ගත යුතු යථාර්ථයක් තිබේ. එනම්; ශ්‍රී ලංකාව වට කොට ඊට පහරදීම සඳහා ද එය ප්‍රතික්ෂේප කිරීම සඳහා ද ලෝකයේ බලවේගයක් ඇති බව ය. එය සාකල්‍යයෙන් ම ඇතිකරන ලද්දේ දෙමළ ඩයස්පෝරාව විසින් ය. දෙමළ ඩයස්පෝරාව ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් කිරීමට මාන බලන බලවේගයකි. එහි ශ්‍රී ලාංකේය බලවේග අපේ රටේ ක්‍රියාත්මක ය. නිදහසක් හා ස්වාධීනත්වයක් අපේක්ෂා කරන්නේ නම් එම බලවේග පරාජය කළ යුතු ය.

අද තත්ත්වය අනුව සිදුවන්නේ කුමක්දැ’යි අප දන්නේ නැත. එහෙත් එක දෙයක් කිව හැකි ය. නවී පිල්ලේට ශ්‍රී ලංකාවට කඩා වැටීමට ඇති ඉඩ කඩ කිසිසේත් ම පාර්ලිමේන්තුවේ දී අනුමත වන්නේ නැති බව ය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා