බේරුවල සන්සුන්

බේරුවල සන්සුන්

* මම ඊයේ පැය 24 පුරා බේරුවල ඇවිද්දා

* සුළු පිරිසක‍ගේ අමනකම් මේ සිද්ධියට හේතු වුණා

* ප්‍රදේශවාසීන් සියලුදෙනා මේ ගැන දුක්වෙනවා

* වගකිව යුතු සැවොම නීතිය ඉදිරියට ගේනවා

අගමැති මැතිසබේ දී රනිල්ට පිළිතුරු දෙයි

මේ වන විට බේරුවල ප්‍රදේශයේ වාතාවරණය සාමකාමී තත්ත්වයට පත්ව ඇති බව අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවැසීය. තමන් 16 වැනි දින මේ ප්‍රදේශය පුරා සංචාරය කරමින් ජනතාව මුණ ගැසී සාකච්ඡා කළ බවත් සිංහල හා මුස්ලිම් පොදු ජනතාව ඉතාම මිත්‍රශීලිව කතා කළ බව කී අගමැතිවරයා සියලු දෙනාම මේ සිද්ධිය පිළිබඳ කණාගාටුව පළ කළ බවත් කීය.

ස්ථාවර නියෝග 23-2 යටතේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එසේ කීය. අගමැතිවරයා ඉතා සුළු පිරිසකගේ අමනෝඥ සිද්ධියක් නිසා මේ තත්ත්වය ඇති වී ඇතැයි වැටහෙන බව ද කීය. කළුතර දිස්ත්‍රික් ලේකම් හා කළුතර පොලිස් අධිකාරිවරයා ප්‍රදේශයේ තත්ත්වය ගැන වාර්තා කර ඇති බව කී අගමැතිවරයා තත්ත්වය පිළිබඳ මෙසේ තොරතුරු අනාවරණය කළේය.

2014-06-12 වන පොසොන් පොහොය දින ධර්ම දේශනයක් සඳහා වැඩම කරවන ලද අයගම සමිත ස්වාමීන් වහන්සේ ගමන් කළ වාහනයේ රියදුරු සමඟ ඇති වූ බිහින් බස් වීමක් දුරදිග ගොස් මුස්ලිම් අයකු විසින් උන්වහන්සේට පහරදීමක් මුල්කරගෙන මෙය සිදු වී ඇත. පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. රෝහල් ගත කළ සමිත ස්වාමීන්වහන්සේ රෝහලින් බැහැර කළ 15 වන දින උන්වහන්සේ පිළීගැනීමට ස්වාමීන් වහන්සේලා ඉල්ලා සිටි උත්සවයකට ඉඩ ලබා දෙන ලදි.

මේ උත්සවය අවසානයේ මේ හිමියන් උන්වහන්සේ වැඩසිටින ධර්ගා නගරය කුරුදුවත්තේ විජයාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට තිබෙන මාර්ගය ධර්ගා නගරයේ ප්‍රධාන මුල්සිලිම් පල්ලිය ඉදිරියෙන් වැටී ඇති බැවින් මේ ගමන පිළබඳ අදාළ පල්ලියේ පූජකවරුන්ද දැනුවත් කර අවහිරතාවයකින් තොරව මේ කාර්යය ඉටුකිරීමට අදාළ පාර්ශ්වයන් එකඟ වීය. එසේ වූව ස්වාමීණ් වහන්සේලා රැගත් වාහන මේ මාර්ගයේ ගමන් කිරීමේදී යම් කිසි පිරිසක් විසින් මේ වාහන වලට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මේ තත්ත්වය පැන නැඟි ඇත.

මේ සිද්ධියෙන් ප්‍රදේශයේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සිංහල හා මුස්ලිම් ජනතාවගේ දේපල වලට හානි සිදු වී ඇති අතර ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරීන් 6 දෙනෙකුද මාවරලේ සුධම්ම හිමි නැමැති භික්ෂුණ් වහන්සේ නමක්ද සිංහල සහ මුස්ලිම් දෙපාර්ශවයේම 44 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත. මේ සිද්ධිය සිදු වූ විගසම අලුත්ගම බේරුවල ප්‍රදේශවල මහජන දේපල හා ජීවිත ආරක්ෂා කිරීමට පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවන ලදි.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් ගත හැකි සියලු ක්‍රියා මාර්ගයන් අනුගමනය කළ අතර ප්‍රධාන සිද්ධීන් පිළිබඳ රහස් පොලසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත. දැනට කෙරීගෙන යන මේ කටයුතු අවසන් වූ වහාම නීතය හා සාමය කඩකිරීම සඳහා වගකිව යුතු සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරනු ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා