ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පාවාදීම එයයි

පාර්ලිමේන්තු නියෝජිතයන් ජාත්‍යන්තර පරීක්ෂණයට එරෙහි නොවුණොත්

ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පාවාදීම එයයි

ඇමැති විමල් පාර්ලිමේන්තුවේ දී කියයි

* යුද්ධය අවසන් කිරීමෙන් සමස්ත ජනතාවම රැකුණා
* සාමයේ ප්‍රතිලාභ පක්ෂ විපක්ෂ සියලු දෙනා විඳිනවා
* පරීක්ෂණවල අරමුණ ජනපති යුද අධිකරණයකට ගෙන යාමද?

යුද්ධය අවසන් සතියේ සිදුවූ දේ සොයන්න ජාත්‍යන්තර පරීක්ෂණ තියන්න උත්සාහ දරන මේ මොහොතේ ඊට එරෙහිව කටයුතු කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස කටයුතු නොකරන්නේ නම් ඉතිහාසයේ සිදුකරන දැවැන්තම දේශපාලන පාවාදීම එය බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී කීය.

යුද්ධය අවසන් කිරීම නිසා ආරක්ෂා වූයේ එක පවුලක් නොව මේ රටේ සමස්ත ජනතාව බව කී විමල් වීරවංශ මහතා යුද්ධය අවසන් කිරීමෙන් පසුව උදාවූ සාමයේ ප්‍රතිලාභ යුද්ධයට පක්ෂ හා විපක්ෂ වූ සියලු දෙනාම අද භුක්ති විඳින බවද කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනකු ඉදිරිපත් කර තිබූ ‍යෝජනාව පිළිබඳ විවාදයේදී මේ බව ප්‍රකාශ කළ වීරවංශ මහතා මේ අවස්ථාවේදී අප සතුව පවතින ජාතික වගකීමෙන් පැන යන්න පුළුවන් දැයි ප්‍රශ්න කළේය.

මානව හිමිකම් චෝදනා එල්ල කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ උත්සාහ කරන්නේ යුද්ධයේ අවසන් සතිය තුළදී සිදු වූ දේවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට සහ සේනාධිනායකයා ප්‍රමුඛ වීරෝදාර රණවිරුවන් අධිකරණය වෙත ගෙන යාමට බව සඳහන් කළ ඇමැතිවරයා ජාත්‍යන්තරය එන්නේ රතුපස්වල ගැන සොයන්න නොවන බවත් ඔවුන් ගේ අරමුණ යුද්ධයේ අවසන් සතියේ යුද අපරාධ වූවාදැයි සොයා බැලීමට බවත් යුද්ධ කළ යුතුය යන මතය සමාජ ගත කළ අපට මේ අවස්ථාවේදී සමාජ වගකීමෙන් කර අරින්නට බැරි බව අවධාරණය කළේය.

වාද භේද ඉදිරියට දමා ගෙන යුද අපරාධ සොයන්න අත පෙවීම් කරන්නට ඉඩ දිය හැකි දැයි ප්‍රශ්න කළ විමල් වීරවංශ මහතා යුද්ධය අවසන් කිරීමේ වේදනාවෙන් පෙළෙන අය පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරන බවද කීය.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා