පිල්ලේ වාර්තා සැකසුවේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුවයි

පිල්ලේ වාර්තා සැකසුවේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුවයි

- ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිය පරීක්ෂණ කණ්ඩායම් පත්කිරීමටත් පෙර මෙන්ම මෙරටට පැමිණීමටත් පෙර තම පෞද්ගලික න්‍යාය පත්‍රයේ සිට ශ්‍රී ලංකාවට එරෙහි පදනම් විරහිත වාර්තාව සකසා ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එනිසා නවනීදන් පිල්ලේ මහත්මියගේ එම වාර්තා මුළුමනින්ම ඒකපාර්ශ්වීය පදනම් විරහිත වාර්තා වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මහනුවර පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති විශේෂ ප්‍ර‍වෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බැව් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවම ඒකපාර්ශ්වීය, පදනම් විරහිත බවත්, ඒ නිසා ඒ මත පදනම්ව ඔවුන් ගන්නා අනෙකුත් ක්‍රියාමාර්ග ද පදනම් විරහිත ඒකපාර්ශ්වීය බවත් අමාත්‍යවරයා කීය. පාර්ලිමේන්තුවට මේ වන විට ඉදිරිපත් කැර ඇති යෝජනාවේදී විපක්ෂයට ඔවුන්ගේ විසඳුම හා ස්ථාවරය රටට පෙන්විය හැකි බව ද ඇමැතිවරයා කීය.

නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකරන අවස්ථාවන්හිදී මෙරට විපක්ෂය සිදුකළේ තැන් තැන්වල සිට ප්‍රකාශ නිකුත් කරමින්, ආණ්ඩුවට දොස් පැවරීම බවත්, එහෙත් අද ඔවුන් තම අදහස් ප්‍රකාශ කරමින් ඔවුන්ට විසඳුම් යෝජනා හා ස්ථාවරය ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසී ඇති බවත් රඹුක්වැල්ල මහතා කීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා