ශක්තිමත්ම පොදු අපේකයා ඉන්නේ අපටයි

ශක්තිමත්ම පොදු අපේකයා ඉන්නේ අපටයි

එස්.බී. නාවින්න
පාරිභෝගික සුබසාධන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති

රටේත්, ජනතාවගේත් සුබසෙත සැලැසීමේ දැවැන්තම සංවර්ධන කටයුතු සිදු වුණේ වසර 2005න් පසුව යැයි පාරිභෝගික සුබසාධන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති එස්.බී. නාවින්න මහතා ප්‍රකාශ කරයි. රටතුළ සිදුවන සමාජ ආර්ථික සංවර්ධනය, මේ වනවිට මතුව ඇති දේශපාලන ප්‍රවණතා, අනාගත සැලසුම් පිළිබඳව ‘දිනමිණ’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා එසේ කියා සිටියේය. මේ එම සාකච්ඡාවේ හඬයි.

* 2005න් පසු ඇරඹී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය ගැන පළමුෙවන් කතා කරමු.

ජනාධිපතිතුමා 2005 දී මේ රට භාර ගන්න විට රටේ තුනෙන් දෙකක් මහ මුහුද කොටින්ට යටත්වයි තිබුණේ. තුනෙන් එකක් භූමිය ඔවුන් පාලනය කළා. හැමදාම බිම්බෝම්බ, මරාගෙන මැරෙන ප්‍රහාර, එල්ල වුණා. ජීවිත දේපොළ විනාශ වුණා. ඒ තත්ත්වයෙන් රට මුදා ගත්තේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. ඒවගේම රටේ සංවර්ධනය, සුබසාධනය, ජාතික ආරක්ෂාව එක සේ සහතික කළේ එතුමායි. ඒදාට වඩා සෑම අතින්ම දියුණු සමාජ, ආර්ථික තත්ත්වයක් ඇති කළා.

* රටේ බස්නාහිරට, කොළඹ දිසාවට සීමා වූ සංවර්ධනය ඈත පිටිසර ගමට ගෙන ආවේ වත්මන් රජය බවයි කියන්නේ?

ඔව්! එය සම්පූර්ණයෙන්ම සත්‍යයක්. එහි කිසිදු තර්ක කිරිමක් කරන්න දෙයක් නැහැ. ඒක ඇත්ත.

* මොනවද ඒ යටතේ වයඹ පළාතට, කුරුණෑගල දිස්ත්‍රික්කයට ලැබුණේ?

ඇත්තටම අද වනවිට අපේ දිස්ත්‍රික්කයේ දැවැන්ත සංවර්ධනයක් සිදු වී තිබෙනවා. අපිට ලැබුණු විශාලතම ත්‍යාගය හැටියට දකින්නේ දැදුරුඔය වාරි ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම කුරුණෑගල අපිට විශාල සහනයක්, ශක්තියක්. දැදුරුඔය වාරි ව්‍යාපෘතිය තුළින් අපේ දිස්ත්‍රික්කය සංවර්ධනයේත් යෝධ පිම්මක් පනිනවා. රුපියල් ලක්ෂ 62000ක් තරම් අති විශාල මුදලක් රජය මීට වැය කළා. ලංකා ඉතිහාසයේ දැවැන්තම මුදලක් වැය කළා. අපේම රටේ වාරි ඉංජිනේරුවරු අතින් නිමවන මේ ව්‍යාපෘතිය බහුකාර්ය අරමුණු සපල කර ගන්නා එකක්.

* මේ වාරි ව්‍යාපෘතියේ ආරම්භයයි. වර්තමාන තත්ත්වය හා හෙට දවස ගැන ඔබේ අදහස?

මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ ජනාධිපතුමා බලයට පත්වුණු විටයි. ආණමඩුවේ අක්කර 5000ක ජලාශයක් ඉදි කරනවා. මේ කටයුතුවලින් 95%ක් දැනට නිමයි. තව මාස තුනකින් මේ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කරනවා. මේ යටතේ අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට වගාවට අවශ්‍ය ජලය ලැබෙනවා. ඒ විතරක් නොවෙයි. ජනතාවට පිරිසුදු පානීය ජල පහසුකම ලැබෙනවා. වී වගාවට අමතරව අතිරේක බෝග වගාවට ඉඩ ලැබෙනවා. ඒ අස්වැන්න අලෙවිකර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් අපි ලබාදෙමින් ඉන්නේ.

* දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතියේ නවීකරණ කටයුතු සිදුවන්නේ කුමනාකාරයෙන්ද?

ඉතාම විධිමත් හා සැලසුම් සහගත ආකාරයට අපේ දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය නවීකරණය කෙරෙනවා. කොළඹට, ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට යන්න එන්න පුළුවන් මධ්‍යස්ථානයක් ලෙස අපේ දිස්ත්‍රික්කය නම් කරන්න පුළුවන්. දිස්ත්‍රික්කය හරහා ගමන් ගන්නා ප්‍රධාන මාර්ග සියල්ල මේ වනවිට කාපට් කර නවීකරණය කර තිබෙනවා. පළාත් සභාවට අයත් පළාත්බද මාර්ග පද්ධතිය පවා දැන් කාපට් කොට නවීකරණය කරනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාශය පළාත් සභාවට මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. මේ කටයුතු සෑම එකක්ම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයට ලක් වෙනවා. ඒ කටයුතු ෙව්ගවත් වීමට මෙය විශාල ශක්තියක්.

* දිස්ත්‍රික්කයේ විදුලිබලය, අධ්‍යාපනය වැනි අංශවල ප්‍රගතිය ගැන කතා කළොත්?

එදා 2005 දී අපට විදුලිබලය තිබුණේ 40%යි. අදවන විට අපේ දිස්ත්‍රික්කයේ 98%ටම විදුලිබලය තිබෙනවා. මේ අංශ‍ෙයත් විශාල දියුණුවක් සිදුවී තිබෙනවා. ඒවාගේම විදුලිබලය ලැබීම නිසා ආර්ථික හා සාමාජීයීය සංවර්ධනයට ලැබෙන දායකත්වය ඉහළ ගොස් තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අංශයේ ප්‍රගතිය ප්‍රශංසනීයයි. අපේ දරුදැරියෝ සෑම විභාගයකින්ම ඉතා උසස් ලෙස සමත් වෙනවා. මේ දේ ඉටු වුණේ අහඹු ලෙස නොවෙයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත අධ්‍යාපන අංශ නවෝදයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් දියුණුකළා. ගුරුවරු, විෂයබාහිර ක්‍රියාකාරකම්වලට උපකරණ, උපදේශකවරු ඇති තරම් ලබා දුන්නා. ඒ අනුවයි මේ දියුණුව සිදු වුණේ. ඇත්තටම කියන්න සන්තෝෂයි, නව විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගය ලියන්නට අපේ වාරියපොල මැතිවරණ කොට්ඨාසයේ පාසල් 10ක් දියුණු කරන්න තීන්දු කළා. සියලු විද්‍යාගාර පහසුකම් සහිත මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හයක් ලැබිලා තියෙනවා. තුනක් විවෘත කළා. අනෙක් ඒවා ඉක්මනින් සිසු අයිතියට පත් කරනවා.

* කුරුණෑගල දිසාවේ විශේෂයෙන් වාරියපොල මැතිවරණ කොට්ඨාසයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් නැද්ද?

අපිඉතාම වගකීමෙන් මේ ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්නේ. දැදුරුඔය ව්‍යාපෘතියෙන් පවුල් 20,000කට දවසේ පැය 24 පුරාම පිරිසුදු පානීය ජලය ලබාදීමට ක්‍රියා කරනවා.

* වාරියපොල මැතිවරණ කොට්ඨාසයේ ගම්මානවල දියුණුවට දැයට කිරුළෙන් සිදුවූ සේවය කවරාකාරද?

දැයට කිරුළ වයඹට සංවර්ධනය ගෙන ආ දැවැන්තම අවස්ථාවක්. මේ යටතේ අපේ දිස්ත්‍රික්කයේ සෑම ගමක්ම, නගරයක්ම, දියුණු වුණා. අපේ මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 92ක් තිබෙනවා. මේ සෑම වසමකටම රුපියල් ලක්ෂ 25, 30ක් වශයෙන් සංවර්ධන කටයුතු සඳහා මුදල් ලැබුණා. අපිට අපේ ආසනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේම නගර සංවර්ධනයට රුපියල් ලක්ෂ 3800ක් ලැබුණා.

* රැකියා විරහිත උපාධිධාරීන්ට රජය රැකියා ලබා දුන්නා. මේ දිස්ත්‍රික්කයේ පිරිස්වලට ඉන් ප්‍රතිලාභ අත්වුණාද?

ඒ වැඩපිළිවෙළ යටතේ උපරිමයෙන්ම ප්‍රතිලාභ ලැබූ දිස්ත්‍රික්කයක් තමයි මේ. වසර 2013 වෙනකම් උපාධි ලැබූ සැමට මින් රැකියා අවස්ථා හිමිවුණා.

* වයඹ පළාතේ වන අලි, මිනිස් ගැටුම වර්ධනය වී තිබෙනවා. ඊට විසඳුම් ලබාදීමට ක්‍රියා කරනවාද?

ඔව්. දැයට කිරුළ යටතේ අපේ දිස්ත්‍රික්කය ම ආවරණය වන පරිදි, අලි මිනිස් ගැටුම වැඩි ප්‍රදේශවල ආරක්ෂාවට අලි වැටක් ඉදිකළා. අපි මේ ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලබා දෙනවා.

* වර්තමානයේ රටේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට විපක්ෂය පොදු අපේක්ෂකයෙක් සොයමින් ඉන්නේ? ඒ ගැන ඔබේ අදහස?

විපක්ෂය අපේක්ෂකයා සොය සොයා රටේ ලෝකේ රවුම් ගහනවා. අපිට නම් ප්‍රශ්නයක් නැහැ. අපිට තමයි දැවැන්තම, ශක්තිමත්ම පොදු අපේක්ෂකයා ඉන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි ජනාධි- පතිතුමායි.

* ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජය ගන්නට ආණ්ඩුව සූදානම් වෙලාද ඉන්නේ?

ඇයි නැත්තේ? අපි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ශක්තිමත් ආණ්ඩුවක් ලෙස අද රට පාලනය කරන්නේ. ජනතාවට වැඩිම සහන ලබාදී තිබෙන්නේ අපියි. අපි ජනතාව අතරට ගොස් මැතිවරණ පවත්වන්න බය නැහැ. අපිට මේ රටේ ජනතාව ගැන පුදුමාකාර විශ්වාසයක් තිබෙන්නේ. ජනතාව අපි සමඟයි ඉන්නේ. විපක්ෂයට වාගේ අ‍ෙප්ක්ෂකයෝ සොය සොයායන්න අපිට වුවමනා නැහැ. අපි ඕනෑම මැතිවරණයක් ජයගන්න සූදානම් සහගතවයි කටයුතු කරන්නේ. නමුත් අපි ඡන්ද බලාගෙන ජනතා සේවය කරන්නේ නැහැ. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට රැකීමයි අපේ අරමුණ. ජනතාව කිසි විටෙක පාවාදී බලය ලබා ගැනීම අපේ පිළිවෙත නොවෙයි.

* පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට නව ක්‍රියාමර්ගයක්, ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් ද ඉන්නේ?

ඔව්. අපි දැනටමත් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමේ ජාතික ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නේ. මේ ගැන බොහෝ කරුණු කාරණා දන්නා ආචාර්ය, මහාචාර්යවරු වගේම රටේ ජනතාවගේ අදහස්, යෝජනා ලබාගෙන වැඩපිළිවෙළ අපි සම්පාදනය කරනවා. ඒ වැඩපිළිවෙළ කෙටුම්පත් කරලා, ඇමැති මණ්ඩලයේ අනුමැතියට දානවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී ඒ ගැන කතිකා කරනවා. ඉන්-පසුව ක්‍රියාකාරී වැඩපිළිවෙළක් බවට එය පත්කරනවා.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා