ජානිපෙ හදිසි ප්‍රතිසංස්කරණ යෝජනාවලට ශ්‍රීලනිපය ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළා

ජානිපෙ හදිසි ප්‍රතිසංස්කරණ යෝජනාවලට
ශ්‍රීලනිපය ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළා

ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක

ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිතුමන් වෙත පිළිගැන් වූ හදිසි ප්‍රතිසංස්කරණ යෝජනාවලියට දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

එසේම කරුණු 12කින් සමන්විත මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායකත්වය සාධනීය අදහස් පළ කිරීමක් කළ බවත් යෝජනාවලිය පදනම්කර ගත් ක්‍රීයාකාරී සැලැස්මක් සැකසීමට දෙපාර්ශ්වයම තීරණය කළ බවත් මොහොමඩ් මුසම්මිල් මහතා වැඩි දුරටත් කීය.

එසේම එකී ක්‍රියාකාරී සැලැස්ම සැකසීමෙන් අනතුරුව යෝජනාවලිය පිළිබඳව නුදුරේදී ම ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡා කරන බවත්, කෙසේ වෙතත් යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගේ සෘජු ප්‍රතිචාරය බලාපොරොත්තු වන බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

පැය තුනකට අධික කාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම, නිමල් සිරිපාලද සිල්වා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරු සහභාගී වුහ.

ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක, අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය පියසිරි විජේනායක, මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් යන දේශපාලන මණ්ඩල සභිකවරු එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා