ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බොලීවියාව සූදානම්

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බොලීවියාව සූදානම්

බොලීවියා ජනපති සහතික වෙයි

ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව බොලීවියා ජනාධිපති ඊවෝ මොරලෙස් අයිමා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහතික වෙයි. ජී 77 ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වීමට මේ දිනවල බොලීවියාවේ සංචාරයක නිරත ජනාධිපති රාජපක්ෂ මහතා සහ බොලීවියා ජනාධිපතිවරයා අතර එරට ජනාධිපති මන්දිරයේදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරිණි.

තමාගේ බොලීවියානු චාරිකාව දකුණු අමේරිකානු රාජ්‍යයන් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල හා ආර්ථික, වෙළෙඳ සබඳතාවල නව ආරම්භයක් බව කී රාජපක්‍ෂ මහතා නව ජාතීන් සමග මිත්‍රත්වය ඇතිකර ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, කර්මාන්ත, ආනයන හා අපනයන ක්ෂේත්‍රවල තොරතුරු විමසූ මොරලෙස් මහතා ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව පැවසීය.

බොලීවියාවේ ඇඟළුම් කර්මාන්තය දියුණු කිරීම සඳහා උදව් කළ හැකි දැයි ජනාධිපති රාජපක්‍ෂ මහතාගෙන් විමසා සිටි මොරලෙස් මහතා ඇඟළුම් කර්මාන්තය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂඥ දැනුමක් සහිත කණ්ඩායමක් එවන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ සඳහා ජනාධිපති රාජපක්‍ෂ මහතා කැමැත්ත පළ කළේය. ශ්‍රී ලංකාවෙන් බොලීවියාවට කුරුඳු ආනයනය කර ගැනීමේ ඉඩකඩ පිළිබඳව විමසූ බොලීවියානු ජනාධිපතිතුමා ජල විදුලි උත්පාදන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා ගැනීමට ද තම රට කැමැත්තෙන් සිටින බව කීය.

ශ්‍රී ලංකාවේ චාරිකාවක් සඳහා එන්නැයි රාජපක්‍ෂ ජනාධිපතිතුමා මෙහිදී කළ ආරාධනය බොලීවියානු ජනාධිපතිතුමා විසින් පිළිගන්නා ලදී.ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව අත්කර ගත් ප්‍රගතිය පිළිබඳව විස්තර කළ රාජපක්‍ෂ ජනාධිපතිතුමා එම ප්‍රගතිය නොසළකා මානව හිමිකම් ආයුධයක් කොටගෙන බාහිර බලපෑම් සිදුවන බව සඳහන් කළේය. මෙවැනි ප්‍රශ්න තම රටේ අතීතයේත් වර්තමානයේත් තිබෙන බව බොලීවියා ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේය.

ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් බොලීවියා මාලිගය අභියස වර්ණවත් හා උණුසුම් හමුදා ගෞරවාචාර පිරිනමනු ලැබූ අතර එම අවස්ථාවට ජනාධිපති මොරලෙස් මහතා ද එක් විය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ සිනමා සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා