සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජාතීන් රටේ ඉදිරි ගමනට දායක විය යුතුයි

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව
සියලු ජාතීන් රටේ ඉදිරි ගමනට දායක විය යුතුයි

ආගමික නායකයෝ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලති

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ආගමික හා වාර්ගික සහජීවනයෙන් යුතුව මේ රටේ ඉදිරි ගමනට සියලු ජාතීන් එකාකාරව සහභාගි විය යුතු බව බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කිතුනු ආගමික නායකයන් සහ ජාතික සමඟිය සඳහා වන අන්තර් ආගමික සන්ධානය සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.මේ රට සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට උරුම රටක් වන බවත් සර්ව ආගමික නායකයෝ ප්‍රකාශ කරති.

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සර්ව ආගමික නායකයෝ මේ බව ඊයේ (17) පැවැසූහ. අලුත්ගම - බේරුවල ඇති වූ සිද්ධිය පදනම් කර ගනිමින් මේ රටේ පවතින සාමය කඩ කිරීමට කිසිවෙකුත් කටයුතු නොකළ යුතු බවත් එසේ කටයුතු කිරීම සමස්තයක් ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට සිදු කරන බලවත් අසාධාරණයක් බවත් සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්ගමහා පණ්ඩිත කුඹුරුගමුවේ වජිර හිමියෝ මෙහිදී ප්‍රකාශ කළහ.

තිස් අවුරුදු යුද්ධයකින් පසුව මේ රටේ සාමය, සමඟිය ස්ථාපිත වූවා පමණි සුළු සිද්ධීන් මුල් කරගෙන විවිධ පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට මෙවැනි ප්‍රචණ්ඩකාරි සිද්ධීන් සිදු කිරීමට පෙළඹෙන බව ද උන්වහන්සේ අවධාරණය කළහ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සර්ව ආගමික නායකන්ගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවත් මෙවැනි සිද්ධීන් ඉදිරි කාලයේදී ඇති වීමට ඉඩ නොතැබීමට රජය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගත යුතු බවත් උන්වහන්සේ කීහ.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ගෙනැවිත් තිබෙන යෝජනාවන් යුක්ති සහගත කිරීමට මෙවැනි සිද්ධීන් ඉවහල් වන බවත් ඒ බව තේරුම් ගෙන සියලු ශ්‍රී ලාංකිකයන් එක්ව මේ රට අරාජික වීමට ඉඩ නොදීමට වග බලා ගත යුතු බවත් උන්වහන්සේ පැවැසූහ.

මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන භේදභින්නකාරි රටක් ලෙස ලෝකයට ඒත්තු ගැන්වීමට මෙවැනි ප්‍රචණ්ඩකාරි සිද්ධින් හේතු වන්නේ යැයි ද ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල අරමුණු ඉටු කර ගැනීමට අප ඉඩ ලබා නොදිය යුතු යැයි ද වජිර හිමියෝ ප්‍රකාශ කළහ. ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කරන බවට දෝංකාරයක් පවතින බවත්‍ මෙවැනි සිද්ධීන් මුල් කර ගෙන රජය අස්ථාවර කර දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීමට ඇතැමුන් කටයුතු කරන බවත් උන්වහන්සේ පැවැසූහ.

ජාතීන් අතර පවතින සමඟිය, එකමුතුභාවය තවදුරටත් වර්ධනය කිරීමට මීට වඩා අවදියෙන් සියලු ශ්‍රී ලාංකිකයන් කටයුතු කළ යුතු යැයි ද උන්වහන්සේ අවධාරණය කළහ. මේ අවස්ථාවට ධම්මරංසි පදනමේ සභාපති පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන්, ජාතික සමඟිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති සරත් හෙට්ටිආරච්චි පියතුමා, ජාත්‍යන්තර හින්දු සංගමයේ ප්‍රධාන ලේකම් බාබුෂර්මා කුරුක්කල්තුමා, ජාතික සමඟිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති අල්හාජ් හසන් මවුලානාතුමා යනාදීන් සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා