බේරුවල සිද්ධියෙන් පීඩාවට පත් වූ සියලුදෙනාට කනගාටුව පළ කරනවා

බේරුවල සිද්ධියෙන් පීඩාවට පත් වූ සියලුදෙනාට කනගාටුව පළ කරනවා

සර්ව ආගමික නායකයෝ කියති

අලුත්ගම - බේරුවල සිද්ධියේ දී මරණයට පත් වූ සහ පීඩාවට පත් වූ සියලුදෙනා වෙනුවෙන් සර්ව ආගමික නායකයන්ගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කිතුනු ආගමික නායකයෝ පවසති. සුළු සිද්ධියක් මුල් කර ගෙන ඇති වී තිබෙන මේ ප්‍රචණ්ඩකාරි තත්ත්වය නිසා අහිංසක මිනිසුන් පිරිසක් පීඩාවට පත් වූ බවත් ජාතිවාදි, ආගම්වාදි ක්‍රියාකාරකම් හේතුවෙන් අහිංසක මිනිසුන් බහුතරයක් පීඩාවට පත් වන බවත් ඔවුහු අවධාරණය කරති.

අලුත්ගම ඇති වූ සිද්ධිය හා ශ්‍රී ලාංකේය ජන සමාජයේ ආගමික සමලගිය ශක්තිමත් කිරීම පිළිබඳ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු මේ බව ඊයේ (17) ප්‍රකාශ කළහ.

 සර්ව ආගමික නායකයන් අදහස් දක්වමින්.
ඡායාරූපය-වාසිත සුදේශ්

මෙහි දී අදහස් දැක් වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි - මේ සිද්ධිය ඉතාම කනගාටුදායකයි. අපේම අහිංසක සහෝදර ජනතාවකගේ ජීවිතවලට මෙන්ම දේපළවලට මෙහිදී හානි වූවා. තවත් පිරිසක් රෝහල්ගත කර සිටිනවා. මේ හැම අයකු වෙනුවෙන්ම අපේ සංවේගය ප්‍රකාශ ක‍රනවා.

මෙරට සියලු ‍ජනතාව අතර සමගිය ගොඩනඟා රට සමෘද්ධිය කරා ගෙන යාමට අප කටයුතු කළ යුතුයි. අවුරුදු තිස් ගණනක් පුරා පසුගිය කාලයේ මේ වගේ ආගම්වාදි, ජාතිවාදි ක්‍රියාකාරකම් නිසා රටේ ජනතාව දුක් වින්ඳා. මේ වගේ සුළු සිද්ධීන් මුල් කරගෙන ඇති වන ගැටුම් නිසා මේ රටේ ජනතාවගේ ලේ, කඳුළු ගැලූ හැටි අපට පුරුදුයි. ඒ කාලේ අපි කොච්චර දුක් වින්ඳා ද. ඒ දුක දන්නා අපි නැවතත් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙමු.

සර්ව ආගමික නායකයන් ලෙස අප ජනතාවට ආයාචනා කරනවා සාමය උදා කර ගෙන රටේ සහජීවනය ස්ථාපිත කිරීමට පෙළ ගැසෙමු කියා. කරුණාව, මෛත්‍රිය උපදවාගෙන මේ ගැටුම්කාරී තත්ත්වයන් සමථයකට පත් කළ යුතුයි. වෛරයෙන්‍ වෛරය නොසන්සිඳේ කියා බුදු වදනක් පවතියි. ඒ නිසා කිසියම් අයකුගේ නොමනා ක්‍රියාකාරිත්වයක් නිසා සිදු වූ මේ ගැටුම්කාරී තත්ත්වය තව දුරටත් ඉදිරියට ගෙන නොගොස් පසුගිය සිද්ධීන් අමතක කර සාමය, සමගිය ස්ථාපිත කිරීමට අප සිතට ගත යුතුයි.

මේ සිද්ධියේ දී තරාතිරම නොබලා වැරැදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. නීතියෙන් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. මෙවැනි සිදුවීම් ඉදිරියේ දී සිදු නොවීමට රජයත්, ආරක්ෂක අංශත් වගබලා ගත යුතුයි. මේ රටේ අලුත් සංස්කෘතියක් බිහි වෙමින් පවතිනවා. කුමක් හෝ කරුණක් අරඹයා උද්ඝෝෂණ සිදු කර තම අයිතිවාසිකම් ලබා ගැනීමේ උද්ඝෝෂණ සංස්කෘතියක් වර්තමානය වන විට මෙරට බිහිවෙමින් පවතිනවා. මේ සිද්ධිය මෙතරම් දුරදිග යාමට පෙර පොලීසියට පැමිණිලි කළ අවස්ථාවේ, ඒ සඳහා පොලීසිය අඳාළ ක්‍රියාමාර්ග ගත්තේ නම්‍ මෙවැනි ව්‍යසනයක් ඇති වන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් ජාතීන් අතර සතුට, සමඟිය, සාමය වර්ධනය කර ගැනීමට අප කටයුතු කළ යුතුයි.

ධම්මරශ්මි පදනමේ සභාපති ගලගම ධම්මරංසි හිමි - ජාතීන් හා ආගම් අතර පවතින බැඳීම, විශ්වාසය කඩ කිරීමට විවිධාකාර අන්තවාදී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඕනෑම සමාජයක් අන්තවාදය ප්‍රති‍ක්ෂේප කළ යුතුයි. අන්තවාදය හා ත්‍රස්තවාදය යනු නිවුන් සහෝදරයන් වාගේ. මෙලෙස කටයුතු කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතුයි. ගැටලුවක් පැමිණි විට ඒ දෙස අවබෝධයෙන් බැලිය යුතුයි. ගැටලුවක් දෙස අනවබෝධයෙන් බැලූ විට මෙවැනි අර්බුදකාරි තත්ත්වයන් නිර්මාණය වෙනවා. අන්තවාදි පසුබිමක ජීවත්වන පුද්ගලයන්ට එරෙහිව පියවර ගත යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීක්ෂණ බුද්ධියෙන් කටයුතු කිරීම නිසා තිස් වසරක් පුරා පැවැති යුද්ධය අවසන් කිරීමට හැකි වුණා. සිංහල - ද්‍රවිඩ ගැටලුව විසඳෙන විට මේ රටේ අනන්‍යතාව රැක ගැනීමට ලෝකයේ මුස්ලිම් ප්‍රජාව අපට උදව් කළා. ඒ අවස්ථාව නැති කිරීමට ජාත්‍යන්තරයට අවශ්‍ය වී තිබෙනවා. ඒ අවස්ථාව තමා මේ උදා වෙලා තිබෙන්නේ. මේ රටේ සියලුම ජාතීන් මේ ගැන අවබෝධ කර ගෙන රටේ සහජීවනය ඇති කිරීමට පියවර ගත යුතුයි. සිංහල, මුස්ලිම් සහෝදරයන් අතර විශ්වාසය ඇති කර ගත යුතුයි.

මේ රටේ හැමතැනම මුස්ලිම් සහෝදරයන් ජීවත් වෙනවා. බහුතර සිංහල ජනතාවගේ ඡන්දයෙන් මුස්ලිම්වරු දේශපාලනයට පැමිණ නායකයන් බවට පත් වෙනවා. ‍මුස්ලිම් ප්‍රජාවක් මෙරට ජීවත් වන අතර ඔවුන්ට සහාය වීම සඳහා ලෝකයේ මුස්ලිම් ප්‍රජාව මේ රටට උදව් උපකාර කරනවා. මේ මිත්‍රශීලිභාවය කඩ කිරීමට ලෝකයේ වෙනත් ජාතීන් උත්සාහ ගන්නවා. ඒ අයට උදව් උපකාර කරන අයට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතුයි.

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති සරත් හෙට්ටිආරච්චි පියතුමා - අලුත්ගම - බේරුවල ඇති වූ මේ සිද්ධිය හරිම කනගාටුදායකයි. කවුරු කළත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. නීතියේ ආධිපත්‍ය මෙරට ශක්තිමත් කිරීමට රජය කටයුතු කළ යුතුයි. වර්තමානයේ නවීන තාක්ෂණය අපට තිබෙනවා. මේ නවීන තාක්ෂණය භාවිතා කරමින් මේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් සොයා ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. 83 කළු ජූලියේ පැල්ලම මකා දැමීමට අපට කාලයක් ගත වුණා.

ඒ පැල්ලම ඉවත් වන විට විශාල යුද්ධයකට මුහුණ දීමට සිදු වුණා. වර්තමානයේ දී උද්ඝෝෂණ පවත්වමින් අයිතීන් ලබා ගැනීමට හැමෝම උත්සාහ කරනවා. මේ රටේ උද්ඝෝෂණ පැවැත්වීමෙන් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින බවයි. රජය අපකීර්තියට පත් කිරීම සඳහා මෙවැනි සිද්ධීන් සිදුවීම අප වැළැක්විය යුතුයි. කට කතාවලට නොරැවටී සාමය ඇති කිරීමට සියලු ශ්‍රී ලාංකිකයන් කටයුතු කළ යුතුයි.

ජාත්‍යන්තර හින්දු සංගමයේ ප්‍රධාන ලේකම් බාබුෂර්මා කුරුක්කල්තුමා - ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව මෙරටට ලැබුණ සාමය ආරක්ෂා කර ගැනීමට අප උත්සාහ ගත යුතුයි. ලැබී තිබෙන සාමය දිගටම ආරක්ෂා කර ගෙන පවත්වාගෙන යාම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමක්. මේ කුඩා සිද්ධිය ලොකුවට ජාත්‍යන්තරයට ගෙන යාමට ඇතැමුන් උත්සාහ කරනවා. අපේ රජය අපකීර්තියට පත් කිරීම එහි අරමුණ වී තිබෙනවා. ඒ සඳහා අප ඉඩ නොදිය යුතුයි. මුස්ලිම් ප්‍රජාවට කරදර ඇති වුවහොත් රජය සමඟ සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබාදෙන බව හකීම් ඇමැතිතුමා කීවා. ඒ වාගේ නායකයකු එසේ කීම ගැන අප සතුටු විය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම මේ රටේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්. අපට තිබෙන ප්‍රශ්න ජාත්‍යන්තරයට ‍ගෙන නොගොස් ඒවා අපිම විසඳා ගන්න පියවර ගත යුතුයි.

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති අල්හාජ් හසන් මවුලානාතුමා - අලුත්ගම බේරුවල ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සර්ව ආගමික නායකයන්ගේ අප්‍රසාදය මෙහිදී පළ කරනවා. මේ රට අස්ථාවර කිරීමේ බටහිර බලවේගවලට නොරැවටී අප බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. මෙරටට සාමය ලැබීම තමා අපගේ ප්‍රාර්ථනාව. සාකච්ඡා මාර්ගයෙන් අප ගැටලු විසඳා ගත යුතුයි. ගැටලුවක් තිබේ නම් පන්සලේ හාමුදුරුවන්, පල්ලියේ කිතුනු පියතුමා, මුස්ලිම් පූජකවරුන්, හින්දු ආගමික නායකයන්, පොලීසියට කියා විසඳා ගත යුතුයි. පෙළපාළි, උද්ඝෝෂණ නොපවත්වා සාමය රැක ගැනීමට අප පියවර ගත යුතුයි. ඇඳිරි නීතිය කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කළ යුතුයි. අවසාන වශයෙන් රටේ සාමය ස්ථාපිත කිරීමට අප ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කළ යුතුයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා