ද.ආසියා මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකාවෙන් බංග්ලා‍දේශයට

ද.ආසියා මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකාවෙන් බංග්ලා‍දේශයට

ශ්‍රී ලංකාවේදී ලබන වසරේ පැවැත්වීමට නියමිතයව තිබු දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලි‍යේ සත්කාරකත්වය බංග්ලාදේශයට පිරිනැමෙයි. සත්කාරකත්වය බාරගත නොහැකි යැයි පවසමින් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ එම යෝජනාවට බංග්ලාදේශය යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තා වේ.

කොළඹ යුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයේ ඇති අඩුපාඩු සැලකිල්ලට ගෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කිරීම මෙයට හේතුවී ඇත.

එහෙත් මේ වසර අවසානයට පෙර සුගතදාස ධාවන පථයේ ප්‍රතිසංස්කරණ නිමා වුවහොත් ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට වැඩි හැකියාවක් ඇතැයි අප කළ විමසුමකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය.

පළමුවරට පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2007දී කොළඹදී සංවිධානය වු අතර දෙවැන්න ඉන්දියාවේ රංචිහිදී පසුගිය නොවැම්බරයේ පැවැත්වුණි. කොළඹදී පැවැති පළමු අදියරේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 18ක් දිනා ගත්හ. දෙවැනි අදියරේදී ශ්‍රී ලංකාවට රන් 10ක්, රිදී 10ක් හා ලෝකඩ 14ක් හිමිවිය. මේ අදියර දෙකේදීම ඉන්දියාව රන් පදක්කම් 20ක් ඉක්මවා පළමු තැනට පත්විය.

මෙතෙක් පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි දෙකම ඉතා සාර්ථක වු බවත් එය නැගී එන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යහපත් අත්දැකීමක් බවත් දකුණු ආසියා මලල ක්‍රීඩා බලධාරීන්ගේ විශ්වාසයවී තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා චීන තායිපේ හී නිමාව දුටු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී සිදුවිය.

චීන තායිපේහි නිමාව දුටු ආසියාන කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ලැබු ප්‍රතිඵලය සැහීමකට පත්වන්නක් බව මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය. එම ශූරතාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් කපුන් කුෂාන්ත ලෝකඩ පදක්කම දිනා ගත්තද පදක්කම අහිමිවිය. ඔහුට හිමි පදක්කම ප්‍රදානය කොට පැයක් ගතවෙද්දී නැවැත එම පදක්කම සංවිධායකයන් ආපසු ඉල්ලා ගෙන තිබේ. එයට හේතුව සිවුවැනි ස්ථානයේ සිටි ක්‍රීඩකයා ඉදිරිපත් කළ විරෝධතාවක් සැලකිල්ලට ගෙනය.

කුපුන් කුෂාන්ත ධාවනයේ යෙදී සිටියදී ධාවන පථයෙන් එළියට ගිය බව විරෝධතාවයේ දැක්වු හෙයින් රූපවාහිනී පුනරූපන නරඹා පදක්කම නැවැත ලබාගැනීමට ක්‍රියා කොට ඇත. "අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වුණේ ඉසව් සුළු ප්‍රමාණයකටයි. එයින් පදක්කම් 3ක් දිනා ගැනීමට හැකිවීම හොඳ ප්‍රතිඵලයක්. මීටර් 200 තරගයේදී හිමාෂ ඒෂාන් හොඳ කාලයක් වාර්තා කළා. මේ තරගයේදී හඳුනාගත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතයට යමක් කළ යුතුයි" ප්‍රනාන්දු මහතා පැවැසීය.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 ඉසව්වේදී හිමාෂ ඒෂාන් රිදී පදක්කමක්, මීටර් 400 කඩුලු ඉසව්වේදී කෞෂල්‍යා මධුෂානි රිදී පදක්කමක් හා තුම්පිම්ම කාන්තා ඉසව්වේදී විදුෂා ලක්ෂානි ලෝකඩ පදක්කමක් දිනා ගත්හ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා