අලුත්ගම සිද්ධිය වැනි සිදුවීම් යළි ඇති නොවීමට වග බලා ගනිමු

අලුත්ගම සිද්ධිය වැනි සිදුවීම් යළි ඇති නොවීමට වග බලා ගනිමු

ශ්‍රීලනිපය නිවේදනයක් නිකුත් කරමින් කියයි

අලුත්ගම දී උද්ගත වූ තත්ත්වය කිසිසේත් සිදු නොවිය යුතු සිදුවීමක් වන අතර මෙවැනි සිදුවීම් යළි ඇතිවීම මුළුමනින්ම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගියදා අලුත්ගම දී සිදුවු අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ පක්ෂයේ බැරෑරුම් අවධානය යොමු වී තිබේ. ප්‍රථම කොටම මේ අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගිය දෙදෙනාගේ පවුල්වල ඥාති හිතමිත්‍රාදීන්ට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු. එසේම, සිදුවීමෙන් අනතුරුවලට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කර සිටිමු.

මෙය කිසිසේත් නොසිදුවිය යුතුව තිබූ සිදුවීමක් වන අතර මෙවැනි ‍සිදුවීම් යළි ඇතිවීම මුළුමනින්ම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජන කොටස් සහ බෞද්ධ , හින්දු , කතෝලික, ඉස්ලාම් ආගම් අදහන ප්‍රජාවන් වැඩිදෙනා සමගියෙන් සහජීවනයෙන් වෙසෙන මේ රටේ මැද මාවතේ පක්ෂයක් ලෙස අප පක්ෂය බිහිවූයේ එම මහා සහජීවනය පදනමක් කර ගනිමිනි.

එම සහජීවනය බිඳ දැමීමට කිසිදු අන්තවාදී බලවේගයකට ඉඩ නොතබන බව අප සහතික කර සිටිමු. ජාති ආගම් අනන්‍යතාවන් වලට අප එරෙහි නොවෙමු. එහෙත් ඒ සියල්ල අභිභවා සිටින පොදු මනුෂ්‍යත්වයේ පදනම මුලින්ම ආරක්ෂා කර ගත යුතුය. මනුෂ්‍යත්වය බිඳ දමමින් ජාතික, ආගමික අනන්‍යතාවන් පමණක් රැකගැනීම වැදගත් යැයි කිසිවෙක් වටහා ගන්නේ නම් එය සමාජ ඛේදවාචකයකි. විශේෂයෙන් ජාතික අනන්‍යතාවක් ගොඩනැගීම වෙනුවෙන් බොහෝ වන්දි ගෙවූ රටක පුරවැසියන් ලෙස ශ්‍රී ලාංකික අප අතිශයින් සංවේදීව අපගේ සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කොට ගත යුතුය.

1983 කළු ජූලිය වැනි අවාසනාවන්ත සිදුවීම් නිසා මුවහත් වී අප සමාජයම අගාධයකට ඇද දැමූ ත්‍රස්තවාදයෙන් අප රට මුදා ගෙන නැවතත් සාමයේ සහජීවනයේ සංහිඳියාවේ මඟට රට අවතීරණ කර මේ රට සොඳුරු රටක් බවට පත්කරලීමේ මහා සමාජ දේශපාලන වැඩපිළිවෙළක් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වෙමින් තිබේ. එවැනි අවස්ථාවක අප රටත් රට කරවන රජයත් දේශීයවත් ජාත්‍යන්තරවත් අපකීර්තියට පත් කරමින් මේ රට නැවතත් සමාජ දේශපාලන ව්‍යාකූලත්වයට ඇද දැමීමේ දුෂ්ඨ අරමුණින් කටයුතු කරන පිරිස් මේ සිදුවීම් පිටුපස සිටින බවට අප දැඩි ලෙස සැක කරමු. ඒ බව මහජනතාවට නිවේදනය කර සිටිමු.

ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාවේ විශ්වාසනීය මිතුරෙකු වූ අප පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිරූපය බිඳ දැමීමේ වුවමනාවෙන් එම පිරිස් කටයුතු කරනා බව ද අප සැක කරමු. කවර මට්ටමේ හෝ අන්තවාදී‍න්ගේ පෙළඹවීම් බස් වලින් නොමඟ නොයන ලෙස අපි සියලුම ජන කොටස්වලට අයත් පුරවැසි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. අප ඉතා මහන්සියෙන් ගොඩනගා ගත් ඓතිහාසික සංහිඳියාව බිඳ වැටෙන්නට නොදී ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමයි. රාජ්‍ය බලය හොබවන පක්ෂයක් වශයෙන් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කිරීමට අප පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කර සිටිමු.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා