යතුරුපැදිකරුට වෙඩි තැබීමේ සිද්ධියේ කොස්තාපල්ට ඇප

යතුරුපැදිකරුට වෙඩි තැබීමේ සිද්ධියේ කොස්තාපල්ට ඇප

පස්යාල හන්දියේදී 11 දා රාත්‍රි යතුරු පැදිකරුවකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට එක් දිනයක් රිමාන්ඩ්භාරයේ රඳවා සිටි සැකකාර කොස්තාපල්වරයා රු. විසිපන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය (17දා) නියෝග කළාය.

මෙසේ ඇප මත මුදා හැරුණේ නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල් (54411) වෙලගෙදර නමැත්තායි. මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් (17දා) පස්වරුවේ අත්තනගල්ල දිසා අධිකරණයේ ශාලා අංක 2 හි පැවති සාක්කි විභාගය අවසානයේදීය.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මීරිගම කිතුල්වල සුභාෂ් ඉන්දික ජයසිංහ නමැති එක්දරු පියෙකි. මෙහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් හය දෙනෙකු සාක්කි දුන්හ. සාක්කි විමසීම ආරම්භවීමට ප්‍රථම පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇමතූ අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය, මෙවැනි සිද්ධීන් වාර්තා කිරීමේදී වචන භාවිතය කල්පනාකාරීව කළ යුතු බවද, මහජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තිබුණද ඔවුනට සත්‍ය වාර්තා කිරීම මාධ්‍යවේදීන් වන ඔබගේ වගකීම බවද, පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව හැඟිම් කුපිත වන අයුරින් වාර්තා නොකළ යුතු බවද පැවසුවාය.

කැලණිය සහකාර පොලිස් අධිකාරි කිංස්ලි ගුණසේකර මහතා සාක්කි මෙහෙයවිය. නීතිඥ එස්. අබයගුණවර්ධන මහතා සැකකාර කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටියේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා