කොරියා රැකියා ඉල්ලා උද්ඝෝෂණ උපවාස එපා

කොරියා රැකියා ඉල්ලා උද්ඝෝෂණ උපවාස එපා

විදේශ සේවා නියුක්ති කාර්යාංශය

කොරියානු රැකියා ලබාදෙන ලෙස උද්ඝෝෂණ හෝ උපවාස කිරීමෙන් එරටින් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා අහිමිවීමේ තත්ත්වයක් නිර්මාණය විය හැකි බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනතුරු අඟවයි.

ඇතැම් පුද්ගලයින් දකුණු කොරියානු රැකියා ලබාගැනීම සඳහා ඉකුත් දිනවල උද්ඝෝෂණ සිදුකළ බව පෙන්වා දෙන එම කාර්යාංශය අදාළ රැකියා සඳහා තෝරාගැනීමේ සම්පූර්ණ අයිතිය දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සතු බව ද ඒ හේතුවෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමේ හැකියාවක් නැතැයි ද ප්‍රකාශ කරයි.

විවිධ පුද්ගලයින්ගේ උසිගැන්වීම් හා මෙහෙයවීම් මත දකුණු කොරියාවේ රැකියා ලබාගැනීම සඳහා උද්ඝෝෂණ කිරීම මේ දිනවල සිදුවන අතර මෙලෙස උද්ඝෝෂණ හෝ උපවාස කිරීම සඳහා පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් දකුණු කොරියානු බලධාරීන් සොයා බලන බව ද යම් හෙයකින් ඔවුන්ගේ නම් දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අදාළ වෙබ් අඩවිවලින් ඉවත් වීමට ඉඩ ඇති බව ද කියා සිටී.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ එසේ ඉවත්වන අය සම්බන්ධයෙන් කාර්යාංශයට කිසිවක් කළ නොහැකි බවත්, දකුණු කොරියාවේ රැකියා වැඩපිළිවෙළ සඳහා තෝරාගැනීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවට බවත්ය. ඒ හේතුවෙන් කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා සම්බන්ධ නොවන ලෙස කොරියානු රැකියා අපේක්ෂකයින්ගෙන් ශ්‍රී ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා