දින 90ක් රහස් පොලිස් භාරයේ රඳවා විමර්ශන කිරීමට පොලිසියට අවසර

තමිල් අජිත් කුමාර තායිලන්ත ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ ද ?

දින 90ක් රහස් පොලිස් භාරයේ රඳවා විමර්ශන කිරීමට පොලිසියට අවසර

දකුණේ පාතාල නායක තමිල් අජිත් කුමාර යන අය තායිලන්ත ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන්නේ ද ? යන්න සම්බන්ධ කරුණු අනාවරණය කරගැනීම සඳහා ඔහු තවත් දින 90ක කාලයක් රහස් පොලිසිය භාරයේ රඳවා තබා විමර්ශන කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ (17) රහස් පොලිසියට අවසර දුන්නේය. 

සැකකරු අවස්ථා ගණනාවක දී තායිලන්තයේ සංචාරය කර ඇති බවත් මෙම විමර්ශන සිදු වන කාලය තුළ දී ඔහු සැඟව මාස 4ක කාලයක් තායිලන්තයේ සිටි බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේය.

තවද මෙම පසුබිම තුළ සැකකරුට තායිලන්තයේ ඇති සබඳතා කවරේද ? එම රටේ ක්‍රියාත්මක ත්‍රස්තවාදි සංවිධානයක ක්‍රියාකාරීන් සමඟ ඔහුගේ සබඳතා තිබේද ? යන්න හා සැඟව සිටි කා‍ලයේ වියහියදම් සපයන ලද්දේ ත්‍රස්තවාදින්ද ? යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා සැකකරු තවදුරටත් පොලිසිය භාරයේ රඳවා තබා ගැනීමට අවසර ලබා දෙන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

කඹුරුගමුව තරුණයකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කොට මළ සිරුර කුරුඳුවත්ත ඉඩ‍මේ ටයර් හා දර යොදා ගනිමින් පිළිස්සීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද දකු‍ණේ පාතාල නායක තමිල් අජිත් කුමාර යන අය පොලිසියේ රඳවා ප්‍රශ්න කෙරේ. රාමවික්‍රම ගමආරච්චිගේ ගීත් නුවන් යන අය 2013/04/13 වැනි දින දෙවිනුවර ,සමඟි මාවතේ ශිලවති යන අයගේ නිවසේ සූදු සෙල්ලම් කරමින් සිටියදී පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට කඹුරුගමුව පදිංචි ඌවගේ දොන් චමිලා නෙළුම් කුමාරි යන අය 2013/05/02 වැනිදින රහස් පොලිසිට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු පොලිසියේ රඳවා පරික්ෂණ ආරම්භ කොට තිබේ.

දකුණේ පාතාල නායකයකු වන නාරාංතොටහේවගේ තමිල් අජිත් කුමාර නමැත්තා තවත් පුද්ගලයන් පස්දෙනකු විසින් නුවන් යන අයව පැහැරගෙන ගොස් තමිල්ට අයත් "හෝටලය " යන නිවසේ දී වෙඩි තබා ඝාතනය කොට මළ සිරුර රැගෙන ගොස් තමිල්ගේ කුරුඳුවත්ත ඉඩමේ දී ටයර් හා දර යොදා ගනිමින් පිළිස්සීමෙන් පසූ ඉතිරි කොටස් අසල පිහිටි රසසන්දෙනිය කළපුවට දමා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් පසූ ව්‍යාජව සකස් කර ගත් ජාතික හැඳුනුම්පතකට සකස් කරගත් ව්‍යාජ විදේශ ගුවන් බලපත්‍රයක් මඟින් සැකකාර තමිල් නමැත්තා තායිලන්ත වෙත ගොස් ඇත. ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන සහිත විවෘත වරෙන්තුවක් ද නිකුත් කොට තිබු අතර සැකකරු බැංකොක් නුවර සිට මෙරටට පැමිණිමේ දී කටුනායක ගුවන්තොටුපළේ දී ඉකුත් 8 වැනි දින රහස් පොලිසිය විසින් අත්අඩංගුව‍ට ගෙන තිබිණ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත පොලිසියේ රඳවා ප්‍රශ්න කළ සැකකරු තවත් මිනිමැරුම් කිහිපයකටම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු බව පවසන පොලිසිය නුවන් යන අය ඝාතනය සඳහා යොදා ගත් ගිනි අවිය සොයා ගැනීමට පරික්ෂණ පවත්වන බව පැවසීය. කෙටි කාලයකින් දේපළ උපයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති සැකකරු ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වු අයිස් මංජු නමැත්තා සමඟ ද සම්බන්ධතා පැවැත්වු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා