බොලීවියා සංචාරය නිමවා ජනපති යළි මවුබිමට

බොලීවියා සංචාරය නිමවා ජනපති යළි මවුබිමට

ඉහළම විදෙස් සම්මානයකින් බොලීවියාවේදී පිදුම් ලද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සාර්ථක සංචාරය නිමවා ඊයේ (17) යළි මෙරටට පැමිණියේය.  බොලීවියාවේ සැන්ටා කෘස්හිදී පැවැති ජී 77 කණ්ඩායමේ ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙමස 13 වැනි දින බොලීවියාව බලා පිටත්ව ගිය අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු බොලීවියාවේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සටහන් විය.

ජී 77 නමින් ප්‍රචලිත 77 කණ්ඩායම සහ චීනය නිල නාමයෙන් හැඳින්වෙන සංවිධානය එක්සත් ජාතීන්ගේ සාමාජික සංවර්ධනය වෙමින් පවතින රටවල සන්ධානයක් වන අතර ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයෙකි. 1965 ජූනි මස 15 වැනිදා පිහිටුවා ගන්නා ලද 77 කණ්ඩායම මෙම වසරේ සිය ස්වර්ණ ජයන්තිය සමරන අතර වර්තමාන සභාපතීත්වය දරන්නේ බොලීවියාවයි.

ශ්‍රී ලංකාව සහ බොලීවියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා1963 වසරේ අප්‍රේල් මස 01 වැනිදා ආරම්භ කෙරී ඇති අතර දෙරට අතර දිගුකාලීන මිතුදම් තර කර ගැනීමට ජනාධිපතිවරයාගේ බොලීවියා සංචාරය බෙහෙවින් ඉවහල් විය. එරට ලොස් ටජිබොස් හෝටලයේදී රාජපක්ෂ ජනාධිපතිතුමා හමු වූ නැම්බියානු අගමැති හගේ ගෙයින්ගොබ් මහතා සිය ජනාධිපති හිෆිකෙපුන්යේ පොහම්බා මහතාගේ සුබපැතුම් පළ කර සිටි අතර ශ්‍රී ලංකාවත් නැම්බියාවත් අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි.

බොලීවියාවේ සැන්ටා කෲස් එක්ස්පෝ කෲස් අපනයන කේන්ද්‍රයේදී පැවැති 77 කණ්ඩායමේ සහ චීනයේ 50 වැනි සාංවත්සරික සමරු රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුව මෙමස 14 සහ 15 දිනවල පැවැති අතර ජනාධිපතිවරයා 15 වැනිදා සමුළුව ඇමතුවේය. බොලීවියාවේ ජනාධිපති මන්දිරයේදී එරට ජනාධිපති ඊවෝ මොරලෙස් අයිමා මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර ජනාධිපතිතුමා වෙනුවෙන් වර්ණවත් හා උණුසුම් හමුදා ගෞරවාචාර ද පිරිනැමිණි.

සමුළුව පැවැති එක්ස්පෝ කෲස් අපනයන කේන්ද්‍රයේදී රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයාට අවස්ථාව උදා විය. ගැබෝන් අගමැති ඩැනියෙල් ඔනා ඔන්ඩෝ, උරුගුවේ ජනාධිපති හොසේ මුජිකා සහ ඉක්වටෝරියල් ගිනි ජනාධිපති ටියඩෝරෝ ඔබියැංග් නියුමා ම්බසාගෝ මහත්වරුන් හමුවේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ යථාර්තය පැහැදිලි කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කියුබානු ජනාධිපති රාවුල් ක්‍රස්තෝ මහතා අතර ද හමුවක් පැවැති අතර කියුබාවේ හිටපු නායක ෆිදෙල් ක්‍රස්තෝ මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත මෙහිදී පිරිනැමිණි. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ සිනමා සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීහූ මෙම සංචාරයට එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා