මාගම්පුර වරායට දොඹකර දෙකක් පර්යන්ත දොඹකරයක් අලුතෙන්

මාගම්පුර වරායට දොඹකර දෙකක් පර්යන්ත දොඹකරයක් අලුතෙන්

හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර වරායේ බහාලුම් ආනයනය සහ ප්‍රතිඅපනයන (RO-RO Operations) කටයුතු සඳහා අත්‍යවශ්‍ය ග්‍රැන්ටි දොඹකර දෙකක් සහ පර්යන්ත දොඹකරයක් ඊයේ(17)චීනයේ සිට මෙරටට ආනයනය කළ බව වරාය මහාමාර්ග හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

චීනයේ MV-ZHENHUA නෞකාවෙන් මෙම දොඹකර මාගම්පුර ජාත්‍යන්තර වරායට ආනයනය කළ බවත් දොඹකර සවිකරීමේ කටයුතු ඊයේ සිට ඇරඹි බවත් ඇමතිවරයා සදහන් කළේය. ඒ අනුව ඉතිහාසයයේ ප්‍රථම වරට බහාලුම් ආනයනය සහ ප්‍රතිඅපනයනය (RO-RO Operations) වැඩපිළිවෙළ මාගම්පුරින් අරඹන බවත් ඒ මහතා පැහැදිළි කළේය.

එක් දොඹකරයකට ටොන් 50ක ධාරිතාවක් එසවීමේ හැකියාව ඇතැයිද කී ඇමතිවරයා එසේම එයට මීටර් 50ක්ඉහළට මෙහෙයුම් කිරීමේ හැකියාව ඇතිද පැවසීය. මීටර් 175 දිගින් යුත් O E L Colombo නැමැති ප්‍රථම බහාලුම් රැගත් නෞකාව ඉරිදා( 22) දින ඩුබායි සිට මෙරටට ළඟාවන බවත් එම නෞකාවට අවශ්‍ය ඉන්ධන ලබා දීමේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවත් හෙතෙම සදහන් කළේය.

එසේම මේ මස 22 දින ඉන්ධන ගබඩා සංකීර්ණය සහ ‍තෙල් පර්යන්තය ද ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරෙන බව ඇමැතිවරයා අනාවරණය කළේය. මෙඟින්ඉතා කෙටි කලකදි කළාපයේ ආකර්ෂණීය වරාය ලෙසට මාගම්පුර ජාත්‍යන්තර වරාය පත්ව ඇතැයිත් ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම මහතා ප්‍රකාශ කළේය.

මෙමගින් වාහන ආනයනය සහ ප්‍රතිඅපනයන, ඉන්ධන මෙහෙයුම් ආරම්භය හා බහාලුම් ආනයනය සහ ප්‍රතිඅපනයන යන තුන් ආකාරයට මෙහෙයුම් සිදු කිරීමට හැකි වීම ජනතාවට ලැබූණු සුවිශේෂි අවස්ථාවක් බව ඒ මහතා කීය. ඉතා කෙටි කලකදි ශීඝ්‍ර ලෙස දියුණු වන රුහුණු ජාත්‍යන්තර වරාය ශ්‍රි ලංකාව නාවික ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය පත් වෙමින් තිබෙන බව ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම මහතා අනාවරණය කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා