සංවර්ධන ක්‍රියාවලිය ආපස්සට හැරවීමට ඇතැම් බටහිර රාජ්‍යයන් කුමන්ත්‍රණය කරනවා

සංවර්ධන ක්‍රියාවලිය ආපස්සට හැරවීමට ඇතැම් බටහිර රාජ්‍යයන් කුමන්ත්‍රණය කරනවා

- ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි

යුද්ධය අවසන් කර රට තුළ මහා සංවර්ධන සංග්‍රාමයක් සිදුවන මොහොතක, එම ක්‍රියාවලිය ආපස්සට හැරවිමට ඇතැම් බටහිර රාජ්‍යයන් කුමන්ත්‍රණය කරමින් සිටින බව , විදුලිබල හා බලශක්ති ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළාය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක 'රට රකින නිල් පවුර සුරකිමු මව්බිම' සම්මන්ත්‍රණ මාලාව යටතේ කැබිතිගොල්ලෑවෙන් ආරම්භ කෙරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ කලා වැව බලමණ්ඩල නියෝජිත සම්මේලනයට සහභාගි වෙමින් ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මේ බව පැවසුවාය.

ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කිරීමේ මහජන බලවේගය ශක්තිමත් කිරීමට රටේ සියලු කාන්තාවන් පෙරමුණ ගතයුතු බවද, රට තුළ යුද්ධය අවසන් වී ගොඩනැගෙමින් පවතින සංවර්ධන ක්‍රියාවලිය ඇතැම් බටහිර රාජ්‍යයන්ට දරාගැනීමට නොහැකි බවද පෙන්වාදුන් ඇමැතිවරිය, ඔවුන්ගේ අරමුණ යළි දිවයින තුළ ත්‍රස්තවාදය වැපිරවීම බවද කීය.

රටකට වැදගත් වන්නේ රටේ නායකයාගේ දර්ශනය හා ප්‍රතිපත්තිය බවද මහින්ද රාජපක්ෂ යනු දැක්මක් සහිත නායකයෙක් බවද වන්නිආරච්ච මහත්මිය කීවාය. මහපොළොව මත පයගසා සිටින නායකයෙකු ලෙස ඔහු ත්‍රස්තවාදයට එරෙහිව ගත් සෘජු තීරණය කොටි හිතවාදී බටහිර බලවේග වලට දරා ගැනීමට නොහැකි වී තිබේ. අෙමරිකාව, එංගලන්තය වැනි රාජ්‍යය, ශ්‍රී ලංකාවේ නායකත්වය වෙනස් කර කොන්ද පණ නැති නායකයෙකු බලයට ගෙන ඒමට වෙර දරන්නේ කොටි උවමනාව සපුරාලීමට බවද ඇමැතිවරිය පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

“කැබිතිගොල්ලෑව ජනතාව එදා යුද්ධයෙන් විඳි පීඩාව අපිට දැනුනා. .කැබිතිගොල්ලෑවට එදා මිනිස්සු එන්න බය වුණා. තිස්ස කරලියද්ද ඇමතිතුමා මට මතකයි පාර්ලිමේන්තුවේදි මේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව ගැන දිගින් දිගටම කතා කළා. . මේවා තිබුණේ මායිම් ගම්මාන විදිහට. ජන ජීවිතය මුළුමනින්ම අභියෝගයට ලක්වෙලා . රෑ නින්දට ගියේ මර බියෙන්. දරුවෝ පාසල් ආවේ කොයිවෙලාවේ හෝ කොටි පහරදෙයි කියන චකිතයෙන්. සමහරුන්ට මේක පෙනුනේ නැහැ. ඒත් මහපොළොව මත පය ගසා සිටින නායකයෙකු ලෙස, මේ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ජනාධිපතිතුමා සැබෑවටම දැක්කා. එවැනි නායකයෙකු පළවාහැරීමට බටහිර කුමන්ත්‍රණ සිදුවෙනවා. ඒ කුමන්ත්‍රණ පරාජය කළ යුතුයි.

අපට අනාගතය පිළිබඳ අපේක්ෂාවක් තිබුණේ නැහැ. යුද්ධය කැබිතිගොල්ලෑවෙන්, වව්නියාවෙන්, වැලිකන්දෙන් නතර වුණේ නැහැ. කොළඹටත් දැණුනා. කොටි ත්‍රස්තවාදීන් ගුවනින් කොළඹට ප්‍රහාර එල්ල කළා . සමස්ත ආර්ථික මර්මස්ථාන විනාශ කළා. එදා බටහිර රටවල් මේවා දැක දැක හිටියා. ඒ ගැන වගක් කතා කළේ නැහැ. අද මානව හිමිකම් ගැන මහා විදිහට කතා කරන රටවල් මේ රටේ සැබෑ යුද්ධය දැක්කේ නැහැ. ඒ අය දැක්කේ දෙමළ ඩයස්පෝරාවේ මවාපෑම් පමණයි.

ජනාධිපතිතුමා එක්ක ඒකාත්මික වුණේ , බද්ධ වුණේ, එතුමාට ඡන්දෙ දුන්නේ, ආදරේ කළේ, එතුමාගේ වැඩපිළිවෙල කරට ගත්තේ මේ රටේ කාන්තාවෝ. රැස්වීම්වලට ආවේ, කැන්වසින් ගියේ අපේ කාන්තාවො. ඒ නිසාම තමයි අපේ ජනාධිපතිතුමා කිව්වේ, කාත්නාව ඉදිරියට ගන්න පුළුවන් සෑම දෙයක්ම කරන්න කියලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණ බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා සැම දිස්ත්‍රික්යකටම වෙන්කරන ප්‍රතිපාදන වලින් 60%ක් චක්‍ර ලේඛණයකින්ම වෙන්කළා , කාන්තාවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කරන්න. මොන නායකයාද කාන්තාවන්ගේ ජීවිත නැගිට්ටන්න මෙහෙම හිතුවේ. අපට වැදගත් වන්නේ රටේ නායකයාගේ දර්ශනය. රටේ නායකයාගේ ප්‍රතිපත්තිය. යුද්දෙ ඉවර කරන්න පුළුවන් වෙයි කියලා කව්රුත් විශ්වාස කළේ නැහැ. ලංකාව වගේම මුළු ලෝකෙම එක මතයකට ආවා. යුද්දෙ අවසන් කරන්නනම්, කොටි ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕන කියලා. ඒ වෙලාවේ අපි යුද්දෙ භයංකාරත්වය වින්දා. ඇමැති තිස්ස කරලියද්ද, පළාත්සභා මන්ත්‍රීවරියන් වන කල්‍යාණි කරලියැද්ද, මල්ෂා කුමාරණතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ලේකම්, අශෝකා ලංකාතිලක යන මහත්ම මහත්මීහු ඇතුළු පන්දහසකට අධික විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා