ප්‍රචණ්ඩකාරී ඇතැම් සංවිධානවලට ආදර්ශයක් ගන්න සැබෑ බොදු සේනාව දකින්නට බදුල්ලට පැමිණෙන්න

ප්‍රචණ්ඩකාරී ඇතැම් සංවිධානවලට ආදර්ශයක් ගන්න සැබෑ බොදු සේනාව දකින්නට බදුල්ලට පැමිණෙන්න

- ඇමැති ඩිලාන් පෙරේරා

කිසිවෙකුට හානි කරන හිංසා කරන නින්දා කරන පරුෂ වචනයෙන් බැන වදින ප්‍රචණ්ඩකාරීව හැසිරෙන ඇතැම් සංවිධාන වලට හොඳම ආදර්ශය බදුල්ල දිස්ත්‍රික්කය බවත් සැබෑ බොදු සේනාව දකින්නට බදුල්ලට පැමිණෙන්නැ' යි විපක්ෂය ඇතුළු සියලුම සේවා සංවිධානවලට තමා ආරාධනය කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාක්ෂිකයන් බලගැන්වීමේ වැඩ සටහනේ හාලිඇල මැතිවරණ කොට්ඨාසයේ පැවැති ජන රැළියකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඩිලාන් පෙරේරාඇමැතිවරයා මෙසේද පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් අපි හාලිඇල මැතිවරණ කොට්ඨාසයේ පසුගිය කාලය තුළ වැඩ කළේ එක අම්මගෙ දරුවෝ වගේ. ජාති කුල ආගම් සියලු බේද බින්න පැත්තකට දමා නිල්ල නිලන යායකට ජනතාව ඒකරාශි කිරීමට අපි කටයුතු කළා.

එදා අපේ ආසනය ලියාපදිංචි වී තිබුණේ එජාපයේ ආසනයක් හැටියටයි. වියලුව ඇරුණම බොහෝ මැතිවරණ කොට්ඨාස එදා එජාපය ජය ගත්තා. ඒත් රටට ආදරය කරන ගමට ආදරය කරන කොන්ද පණ ඇති නායකයෙක් යටතේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බදුල්ලේ නිල් කොඩිය ඔසවා හමාරයි.

ඒ ශක්තිය අපට ලැබුණේ මා ගැන පක්ෂය ගැන විශේෂයෙන්ම අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳ බදුල්ලේ ජනතාව තැබූ විශ්වාසය නිසයි. ඒ ජනතා විශ්වාසය අපි අද වන විට දෙගුණ තෙගුණ කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ මධ්‍යම ආණ්ඩුව පළාත් සභාව වගේම පළාත් පාලන ආයතන වල ශක්තියෙන් අති දැවැන්ත සංවර්ධනයක් බදුල්ල දිස්ත්‍රික්කයට ඉටු කිරීමට අපට හැකි වුණා.

එදා සියයට හැටක් පමණ වු විදුලිය ලබාදීමේ ප්‍රතිශතය අද වන විට සියයට අනූ හයක් දක්වා ඉහළට ගෙනැවිත් තිබෙනවා. මහාමාර්ග කොන්ක්‍රීට් මාර්ග සහ අනෙකුත් සියලුම මාර්ගවල වැඩ කටයුතු අද වන විට ක්‍රියාත්මක වන්නේ අවසන් අදියරේයි.

අද රජ මාවත ඉදිකරමින් පැරණි රජමාවත මහනුවර දක්වා ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.වැඩියෙන් ගම දිහා බලලා වැඩ කරපු එකම ආණ්ඩුව සංධාන ආණ්ඩුවයි. ගැමිදිරිය දිවිනැඟුම ගම නැඟුම මග නැඟුම වැනි දූරදර්ශි ව්‍යාපෘතීන් ඔස්සේ ගම හරහා රට නගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අද විපක්ෂයට අත් වෙලා තිබෙන ඉරණම වගේ නාම මාත්‍රික පක්ෂයක් නොවෙයි. රට වෙනුවෙන් සියලු අභියෝගයන්ට මුහුණදුන් ජනතා ව්‍යාපාරයක්. එය ජිවිතය හා බද්ධවෙලා.

රටට ණය නැති රටම ආදරය කරන නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටුකොටගත් සංධාන ආණ්ඩුව ගැන ජනතාව තබා ඇති විශ්වාසය අබ මල් රේණුවකින් පළුදු නොකරන්නට අපි කටයුතු කර තිබෙනවා.

ජාති කුල ආගම් බේදයෙන් තොරව අපි එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ඒකරාශි වෙනකොට බදුල්ලේ ජනතාවට හා ඔවුනගේ දරුවන්ට ජාති බේදයෙන් තොරව පොත්පත් පාසල් උපකරණ සිල්රෙදි ආදී දේ පිරිනමන වැඩසටහනක් ඩිලාන් පෙරේරා සහයෝගීතා පදනම යටතේ සකස් කර තිබෙනවා.

පන්සලට පල්ලියට වගේම කෝවිලටත් අපි ඒවා පිරිනමනවා. සැබෑ බෞද්ධ දර්ශනයෙන් කියැවෙන්නේ එයම බවද ඇමැතිවරයා පැවසීය.

ඛණිජ තෙල් සංවර්ධන ඇමැතිඅනුර ප්‍රියදර්ශන යාපා මහතා අදහස් දක්වමින්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගයේ ඒ යුගය අපට උදාකර දුන් එඩිතර නායකයෙක්ගේ ආශිර්වාදය යටතේ ගමින් ගමට අපි ගමන් කරද්දී බුරුතු පිටින් ජනතාව ඒකාරාශි වීම අප විපක්ෂයට දරාගන්න බැරි දෙයක් වෙලා. අපේ ආසන බල ගැන්වීමේ සම්මේලනයට සහභාගි වන ජනකායක් විපක්ෂයට ඒකරාශි කර ගන්නා දිස්ත්‍රික් සමුළුවකදීවත් නොහැකි තත්ත්වයකට අද පත්වෙලා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා