යල කන්නයේ සෝයා වගාවෙන් පාඩු ලැබූ ගලෙන්බිදුණුවැව ගොවීන්ට වන්දි ගෙවීම කඩිනම් කරන්න

යල කන්නයේ සෝයා වගාවෙන් පාඩු ලැබූ ගලෙන්බිදුණුවැව ගොවීන්ට වන්දි ගෙවීම කඩිනම් කරන්න

- ගොවි ජනතාව

වර්ෂ 2013 යල කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව හා දේවහූව ගොවිජන පදවල සෝයා වගාවෙන් පාඩු ලැබූ ගොවීන්ට වන්දි ගෙවීම කඩිනම් කරන මෙන් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව නිලධාරීන්ගේ ඉල්ලා සිටිති.

2013 යල කන්නය වන විට අනුරාධපුර දිස්ත්‍රික්කය මෙරට ප්‍රධානතම සෝයා වගා කලාපය ලෙස හඳුනාගෙන තිබූ අතර එතෙක් අක්කර 5000කට පමණ සීමා වී තිබූ සෝයා වගාව අක්කර 25000 දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත. එක්තරා පෞද්ගලික සමාගමක් (Agri Ventures) මගින් ගලෙන්බිඳුනුවැව , හුරුළුවැව සහ දේවහූව ප්‍රදේශ වල ගොවීන් අතර බෙදා දී තිබූ බීජ ප්‍රභේදය සිටු වීමෙන් පසු අකලට මල් හටගෙන ඉති අඩු අස්වැන්නක් ගෙන දීම නිසා අක්කර 2500ක පමණ වගා පාලුවක් සිදුවී 1000කට ආසන්න ගොවීන් පිරිසක් ඉතාමත්ම අසීරුතාවකට පත්ව ඇත.

සමාගම අදාළ ප්‍රදේශවල ගොවීන් හට බෙදා දුන් බීජ ප්‍රමිතියකින් යුක්ත නොවූ බවද ඒ නිසා ඉතා අඩු අස්වැන්න ලබා ගැනීමට සිදු වී ඇතැයි ද පවසමින් මේ ප්‍රදේශවල ජනතාව තමනට රජයෙන් හෝ පෞද්ගලික සමාගමෙන් සිදු වූ පාඩුවට වන්දි ලබාදෙන ලෙස දිගින් දිගටම උද්ඝෝෂණය කළ අතර පසුව කෘෂිකර්ම අමාත්‍යංශය සමග එකඟතාවයකට පත් වී අදාළ පෞද්ගලික සමාගම තමන් හට සෝයා අස්වැන්න අලෙවි කළ ගොවීන් හට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට ඉදිරිපත් විය.

මෙම සංසිද්ධිය පිළිබඳ දිනමිණට අදහස් පල කළ අනුරාධපුර දිසාපති මහින්ද සෙනෙවිරත් මහතා. 'ගොවින්ට සිදු වූ වගා හානියක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමක් ස්වෙච්ඡාවෙන් මේ ආකාරයට වන්දි ගෙවීමට එකඟවීම ශ්‍රී ලංකාවේ සිදු කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වීම සුවිශේෂි කරුණක්' යැයි පෙන්වා දුන්නේය. මේ වන විට ගොවීන් හට රුපියල් 11 179 900 මුදලක් සෝයා වගා හානි වන්දි වශයෙන් සමාගම මගින් ගෙවා තිබේ. ඒ ගලෙන්බිඳුණුවැව ගොවීන් හට රුපියල් 9 078 125 හා දේවහූව ප්‍රදේශවාසීන් 2 101 575 වශයෙන්. මෙම වටයේදී ගොවීන් 758 දෙනෙකුට වන්දි වරම් ලැබී ඇත.

එහෙත් තමන්ට වන්දි නොලැබුණු බව කියමින් දිගින් දිගටම ගොවින් පිරිසක් විරෝධතාවය පල කළ නිසා යළිත් වන්දි හිමිවිය යුතු ගොවීන් පිළිබඳ සමීක්ෂණ කිහිපයක් සිදුකළා. මේ අනුව දෙවන වටයට සෝයා ගොවීන් 380 දෙනෙකුට 7 658 137ක් හා පසු අවස්ථාවකදී අනාවරණ වූ කරුණු අනුව තවත් ගොවීන් 270 දෙනෙකුට රුපියල් මිලියන 5 818 340ක් වන්දි ලෙස ලබාදෙන මෙන් අදාළ බීජ සමාගමෙන් ඉල්ලීමක් කොට තිබෙන බවත්. දිසාපතිවරයා අවධාරණය කළේය.

මෙම සිදුවීම පිළිබඳ සිදුකළ විමසීමකදී කරුණු පැහැදිලි කළ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ගාමිණී එරබදුපිටිය මහතා සමාගම විසින් දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරි සති කිහිපය තුළ දැනට වන්දි අහිමිව සිටින තවත් ගොවීන් පිරිසකට වගා හානි වන්දි ලබා දීම පිණිස සූඳානමින් සිටින බව සඳහන් කළේය.

මේ අතර ඇග්‍රී වෙන්චර්ස් (Agri Ventures) ප්‍රකාශකයෙකුට අනුව සමාගම රුපියල් මිලියන 15ක පමණ මුදලක් වන්දි වශයෙන් ගෙවීමට කටයුතු කරගෙන යන බවද ඇතැම් ගොවීන් තමන්ගෙන් බිජ ලබාගත් පසුව කොන්දේසි කඩකරමින් පිටස්තර සමාගම්වල සිට අස්වැන්න අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දුන්නේය.සිය සමාගම මගින් බීජ සැපයූ ගොවීන් හට අනුග්‍රහයක් වශයෙන් රුපියල් ලක්ෂ 40ක් වැයකොට සෝයා සඳහා දියර පොහොර ලබා දී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය. මේ අතර තම සමාගම විසින් 2013 යල කන්නයේ ගොවීන් හට සපයා දී ඇති සෝයා බීජ සඳහා රජයෙන් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් ලැබිය යුතුව ඇතැයිද ප්‍රකාශකයා හෙළි කළේය.

මෙම පසුබිම තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෝයා බෝංචි වගාව විශාල කඩාවැටීමකට ලක්වවන බවට ලකුණු පහළ වී තිබේ. දැනටමත් මෙම අර්බුධ කාරී තත්ත්වය උඩ සමාගම් දිස්ත්‍රික්කයේ සෝයා අස්වනු මිලදී ගැනීම ඇතුළු බීජ බෙදා දීමේ වඩකටයුතු වලින් ඉවත්ව සිටින බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම තත්ත්වය යටතේ සෝයා වගාවෙන් දුරස්වී සිටින ගොවීන් යළිත් ඒ සඳහා උනන්දු කරවන මෙන් ක්ෂේත්‍ර නිලධාරීන් හට උපදෙස් දී ඇතිඅතර මෙම අඩුපාඩු මැද සෝයා මිලදී ගැනීමට මැදිහත් වන අතර මැදියන්ගෙන් ගොවීන් මුදා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද විධිවිධාන යොදා තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා