සාමාන්‍ය පෙළින් ගණිතය අසමත් සිසුන්ට එම විෂය සමත්වීමට වසර දෙකක කාලයක්

සාමාන්‍ය පෙළින් ගණිතය අසමත් සිසුන්ට එම විෂය සමත්වීමට වසර දෙකක කාලයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත්ව ඇතත් ගණිතය විෂය අසමත් සිසුන්ට එකී විෂය සමත්වීම සඳහා වසර දෙකක කාලසීමාවක් ලබා දීමට රජය තීරණය කරයි. මේ සඳහා මෙතෙක් දී තිබූ කාලසීමාව වන්නේ වසරකි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත්වන අනිවාර්ය අධ්‍යාපන වයසේ සිටින සිසු-සිසුවියන් පාසලෙන් නෙරපා හැරීම වළක්වා ඔවුන් තව දුරටත් පාසල් පද්ධතියෙහි රඳවා ගැනීමේ අරමුණින් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙකී ‍ඵෙතිහාසික යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවැසීය.

එම මාධ්‍ය හමුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (17) පැවැත්විණි.ගණිතය විෂය අසමත් සිසුන් තවදුරටත් රඳවා ගැනීම ගැනීම සඳහා ඔවුන්ට වැඩි පහසුකම් සැලසීම අවශ්‍ය බැවින් ඔවුන් සඳහා අ.පො.ස. උසස් පෙළ කලා විෂය ධාරාවට අමතරව තාක්ෂණ විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය හැදෑරීමට අවස්ථාව ලබා දීමටත්, ගණිතය අසමත් සිසුන් විසිදෙනකුට වැඩි සංඛ්‍යාවක් සිටින විට ඔවුන් සඳහා අතිරේක පන්තියක් ලබාදීමටත්, එසේ නොමැතිවිට පෝෂක පාසල් වැඩපිළිවෙළ යටතේ අවශ්‍ය පහසුකම් සළසා දීමටත් අධ්‍යාපන අමැතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් යෝජනා කැර තිබූ බවද, ඒ සඳහා අනුමැතිය ලැබුණු බවද ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා