අලුත් සපත්තු

අලුත් සපත්තු

අකිල අහිංසක කීකරු දරුවෙක්. එයා ඉගෙන ගන්නෙ පහ වසරේ. පන්තියේ වැඩට හුඟක් දක්ෂයි. හරිම සුරතල් පෙනුමක් එයාට තිබෙන්නේ. මේ සුරතල් පෙනුම නිසාත් කරුණාවන්තකම නිසාත් පුංචි අකිලට කවුරුත් ආදරෙයි.

ඒත් අකිල ආබාධිත දරුවෙක්. කිහිලිකරුවක උදව්වෙනුයි එයා ඇවිදින්නේ. එහෙම වුණා කියලා එයා පසුබසින දරුවෙක් නම් නෙවෙයි. අම්මට තාත්තට ගෙදර වැඩටත් උදව් වෙනවා. නැති බැරි දුප්පත් අසරණ කෙනෙක් දැක්කම උදව් කරන්නත් අකිල හරිම ආසයි. අකිලගේ අම්මයි තාත්තයි එයාගේ මේ හොඳ වැඩවලට නිතරම උදව් කළා.

දවසක් අකිල අම්මත් එක්ක නගරයට යන්න පිටත්වුණා. බස් එකෙන් බැහැලා පාර දිගේ ඇවිදගෙන යද්දි අකිලගේ වයසෙම පිරිමි ළමයෙක් එයාගේ තාත්තත් එක්ක අකිලලාට ඉදිරියෙන් ඇවිද ගෙන යනවා අකිල දැක්කා. ලස්සන ඇඳුමක් ඇඳලා වටිනා සපත්තු දෙකක් දාලා ඒ ළමයා ඇවිදගෙන යන්නෙ තාත්තගෙ අතේ එල්ලිලා. එයා තාත්ත එක්ක කතා කරන දේවල් අකිලලාට ඇහෙනවා.

“තාත්තේ, මට තව කාර් එකක් ඕනෙ. සුරාජ්ට තියෙනවාට වඩා ලොකු එකක්.”

“පුතේ අසිත, හිතුවක්කාර වෙන්න එපා. ඔයාට කාර් ගොඩක් ගෙදර තියෙනවනේ.”

“බෑ.... බෑ.... මට තව එකක් ඕනෙ.”

ඔය අතරේ සපත්තු කඩ පේළියක් පහුවෙනවා.

“අනේ, අනේ, අන්න අර ජාතියේ සපත්තු දෙකක් නම් මට ඕනෙමයි.”

අසිත කෑ ගහන්න ගත්තා.

“පුතා ලස්සන සපත්තු දෙකක්නෙ දාගෙන ඉන්නේ. ගෙදර තව සපත්තු ගොඩක් තියෙනවනේ.”

තාත්තා අසිතට එහෙම කිව්වත් එයා නෙමෙයි කීකරු වුණේ.

“ඒ සපත්තු දෙක මට ඕනෙමයි.” ඉහි... ඉහි....”

අසිත අඬන්න පටන් ගත්තා. ඊළඟට එතැනම බිම වාඩිවුණා. සපත්තු දෙක නැතුව එයා එතැනින් යන පාටක් නැහැ.

පුංචි අකිලට අසිතගේ හැසිරීම දැකලා හොඳටම හිනහා ගියා. අසිත ගැන දුකත් හිතුණා.

“ඔයාට ඕන අලුත් සපත්තු දෙකක් ද?”

අකිල, අසිතට ළංවෙලා ඇහුවා. අසිත ඇඬීම නවතලා අකිලගේ හිසේ සිට දෙපතුළට යනකම් ‍ෙහාඳින් බැලුවා. තමන්ගෙ වයසේම ඉන්න මේ යාළුවගේ එක කකුලක් නැති බව එයා දැක්කා.

“ඔව්... මට ඕනෙ අන්න අර ජාතියෙ අලුත් සපත්තු දෙකක්.”

අසිත කිව්වා. එයාගෙ ඇස්වල තවමත් කඳුළු.

“අපේ ගෙදර තියෙනවා අලුත් සපත්තු ජෝඩුවක්. හැබැයි මට ඒකෙන් දාන්න පුළුවන් එකයිනෙ. ඔයා දැම්මොත් දෙකම දාන්න පුළුවන්. මම ඔයාට ඒක ගෙනැත් දෙන්නද?”

අකිල අසිතගෙන් කරුණාවන්තව එහෙම ඇහුවා.

ඔන්න ඒ පාරනම් බිම වාඩිවෙලා හිටපු අසිතට හොඳටම ලජ්ජා හිතුණා. මට කකුල් දෙකක් තියෙනවා. මෙයාට තියෙන්නෙ එක කකුලයි. දාන්නෙ එක සපත්තුවයි. ඒත් මට එයාගෙ සපත්තු දෙක දෙන්න හදනවා. එයා කොච්චර හොඳද? අසිතට එහෙම කල්පනා වුණා.

තමන් නරක ළමයෙක්, මුරණ්ඩු ළමයෙක් ව‍ෙග් හැසිරිලා තියෙන බව එයාට එතකොටයි තේරුම් ගියේ.

අසිත හෙමිහිට නැඟිට්ටා. අකිලගේ අතකිනුත් අල්ල ගත්තා. නගරයට යනකම් එයා අලුත් යාළුවා එක්ක කතා කරමින් ඇවිදගෙන ගියා.

පුංචි පුතාලා කාරණා තේරුම් කරන හැටි, තේරුම් ගන්න හැටි ගැන අකිලගේ අම්මත්, අසිතගේ තාත්තත් හරිම සතුටට පත්වුණා. මේ වගෙ පුංචි දරුවෝ මල් වගේ සුවඳයි. එයාල හිතන්න ඇත්තෙ එහෙමයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා