ආර්ථික ලෙඩ්ඩු

ආර්ථික ලෙඩ්ඩු

ඉන්දියන් සාගරයේ මුතු ඇටය හැටියට හඳුන්වන මේ පුංචි දූපතේ රෝගීන් හා රෝගාබාධ ගැන ඇතිව තිබෙන කතිකා පුංචි නැහැ. පෙර නොඇසූ විරූ මෝස්තරයේ ලෙඩ රෝග වත්මන් සමාජය තුළ ස්ථාවර වෙමින් පවතින බව බේගලයක් නෙමෙයි. හදිසියේ පෞද්ගලික රෝහලකට කිසියම් කටයුත්තකට පැමිණි විදේශිකයෙක් සිය සහායකයාගෙන් ‘ලංකාවේ මිනිස්සු මේ තරම් ලෙඩ්ඩුද ?’ කියා විමසුව බවක් මිතුරෙක් ගෙන් දැන ගන්න ලැබුණා. ඔහු එහෙම අහලා තිබුණේ චැනල් කවුන්ටරයක් ළඟ මීමැසි පොදියක් වගේ පිරිලා ලෙඩ්ඩු දැකීමෙන් ඇතිවූ විශ්මය නිසයි.

රෝගීවීම හෝ රෝගාබාධවලට ගොදුරුවිම ‘නිරෝගීබවේ” කණපිට විත්තිය අමුතුවෙන් කිව යුතු නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය 1946 දී එහි ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාමාලාව තුළ නිරෝගීකම හෙවත් සෞඛ්‍යය ගැන මෙහෙම නිර්වචනය කළා. ‘සෞඛ්‍යය යනු හුදු රෝග තත්ත්වයක් හෝ අපහසුතාවයක් නොමැතිවීම පමණක් නොව පූර්ණ වශයෙන් කායික, මානසික හා සමාජයීය වශයෙන් හොඳ ජීවිතයක් ගත කරන්නට හැකිවීමයි’ මේ නිර්වචනය අර්ථ පූර්ණ, භාව පූර්ණ, විශ්වීය නිර්වචනයක්.

රෝගීභාවය වර්ධනය වන්නේ ඊට ගොදුරුවන්නන්ගේ මනාපයෙන් නෙමෙයි. ඊට ගොදුරුවන සාධක සියල්ලම නිෂ්පාදනය කරනු ලබන්නේ මහා සමාජය විසින්. ලාභය උපරිම කරගැනීමත්, රටේ ආදායම් බෙදීයාමේ විෂමතාවයත්, අවම ආදායම් ලබන සමාජ ස්ථරය විශාලවීමත් නිසා බහුතරයකගේ ශාරිරීක හා මානසික සෞඛ්‍යය පිරිහීම සාමාන්‍ය දෙයක් වෙමින් පවතිනව. ලාභයම ආත්මය කර ගත් ව්‍යාපාරික ප්‍රජාවගේත් බැංකු ගිණුම්වල බැර ශේෂය ඉහළ යනවා. ඒ සමගම පාලිත පොදු ජනයාගේ රෝගී ගිණුමේ බැර ශේෂය ද දිනෙන් දිනම ඉහළ යනවා.

‘මිනිසා ගැන ඔබ මේ තරම් පුදුම වෙන්නෙ ඇයි ?’ කියලා කෙනෙක් වතාවක් දලයි ලාමා තුමාගෙන් ප්‍රශ්න කළාම, එයට උන්වහන්සේ අපූරු උත්තරයක් දුන්නා. ‘මිනිසා තමන්ගේ සෞඛ්‍යය වැඩි වශයෙන් ධනය ඉපයීම සඳහාම වැය කරනවා. ඊට පස්සෙ තමන් උපයා ගත් ධනය තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කර ගැනීම සඳහා වැඩි වැඩියෙන් වියදම් කරනවා. ඔහු තමන්ගේ අනාගතය ගැන තැවෙනවා. ඒ වගේම තමුන්ගේ වර්තමානය ප්‍රීතියෙන් ගත කරන්නෙත් නැහැ. අවසාන ප්‍රතිඵලය විදියට ඔහු වර්තමානයේ ජීවත් නොවෙනව වගේම අනාගතයේ ජීවත් වෙන්නෙත් නැහැ. ඔහු කිසිම දවසක මැරෙන්නෙ නැති කෙනෙක් විදියට ජීවත් වුණත්, දවසක ඇත්ත වශයෙන්ම ජීවත් වුනේ නැති කෙනෙක් විදියට මිය පරලොව යනව.’ ඒ උත්තරේ අද ශ්‍රී ලංකා සමාජයටත් හරියටම ගැළපෙනවා.

ඒ ඔස්සේ තවදුරටත් හිතනව නම් මරණය රෝගයක් නෙමෙයි සාමාන්‍ය දෙයක්. හැබැයි අද පැතිරී යන රෝගී අවස්ථාවන් නිසා නම් මරණය බෝ වෙමින් යනව වගෙයි. කොහොම වුණත් ශ්‍රී ලංකාව තුළ නම් බෝවන සහ බෝනොවන ලෙඩ රෝගවල අඩුවක් ඇත්තේම නැහැ. හරියට භාණ්ඩ හා සේවා මිල ඉහළ යනව වගේ, ජීවන වියදම් දර්ශක ඉහළ යනව වගේ දිනෙන් දින මොහොතින් මොහොත රට පුරාම රෝගී තත්වයන් එන්න එන්නම වර්ධනය වෙනවා.

රෝග ඇතිවන හැටි

සිඟිති මුවින් මතුවන හඬා වැටීමත් සමගම පටන්ගන්න ජීවිතය තුළ රෝගාබාධවලට ගොදුරුවීම අන්තර්ග්‍රහණය වෙලා තියෙනව. නිසි කල්යල් ආවම ඒව මතුවෙනව. මිනිසාට කළ හැක්කේ එම රෝගාබාධවලට මතුවීමට ඉඩනොදී කල්පමා කිරිම පමණයි. මානවයාට බොහෝවිට ලෙඩ රෝග වැල‍ෙඳන්නේ ඔහුගේ චර්යා රටාවට අනුකූලවන විදියටයි.

ඒත් මේ විදියට හැදෙන ලෙඩ රෝගවලට නොයෙක් විදියෙ අර්ථ නිරූපණ තියෙනවා. වෛරස්, ක්‍ෂුද්‍රජීවීන් ශරීර ගතවීම හෝ වෙනයම් විෂබීජයක් නිසා හටගන්නා රෝගවලටත් යක්‍ෂ, ප්‍රේත, භූත, දේව, කර්ම දෝෂ ආරෝපණය කිරීමට තරම් කට්ටඩියන් හා නක්‍ෂත්‍රකරුවන් පසුබට වෙන්නෙ නෑ. මේකත් එක්තරා රෝගයක්. මිථ්‍යාවෙන් බැහැරව, යථාර්ථයට සමීපව ලෙඩ රෝග හට ගැනීම ප්‍රධාන කරුණු හතරක් යටතේ දක්වන්න පුළුවන්.

වර්තමානයේදී (නුදුරු අතීතයට වඩා) කායික රෝගවලින් පොදුජනයා පීඩා විඳිනව. විශේෂයෙන්ම කාර්මීකරණය නිසා, ජලය, වාතය, පස් වැනි ස්වාභාවික සම්පත් දූෂණය වීමෙන් විවිධ රෝගාබාධ හටගෙන තියෙනව. වැඩි වශයෙන්ම අඩු ආදායම් ලාභීන් අතර මෙබඳූ කායික රෝග පැතිරීයාම බහුලයි.

ඒ වගේම වර්තමානයේ තාක්‍ෂණික දියුණුව පාදක කර ගනිමින් සන්නිවේදන ක්ෂේත්‍රයේ පවත්නා තොරතුරු බෙදා හදා ගැනීමේ අතිශය සරල භාවිතාව නිසා මානසික රෝග හටගන්නා බව පර්යේෂණ මගින් පෙන්වල තියෙනව. විශේෂයෙන්ම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මඟින් කුපිත කරනු ලැබීමේ කලාව නිසා, ප්‍රචාරය කෙරෙන නවීන උපකරණ මිලදී ගැනීමට හැකියාව නැති විශාල පිරිස් සිටින්නෙ මහත් අසහනයෙන්. මානසික පීඩනය මගින් ඇති කෙරෙන තෙරපීම හා කුපිත කිරීම නිසා ඊළඟට ඒ අය යොමු වන්නේ අතිශය දරුණු ප්‍රචණ්ඩත්වයටයි. ශ්‍රී ලංකා සමාජයේ ඉහවහා ගිය ප්‍රචණ්ඩත්වයක් දකින්න ලැබෙනවා.

රූපලාවණ්‍ය ප්‍රතිකාර

ජීවන ගමනේ දී අත්හැරීමට කිසිසේත්ම ඉඩකඩක් නැති අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු තත්ත්වයක් හැටියට ස්වභාවික රෝග දක්වන්න පුළුවන්. ඒ කියන්නේ වයස්ගතවීම සමඟ ඇතිවන ශාරිරික වෙනස්වීම්. කාලයාගේ ඇවෑමෙන් ශරීර කූඩුව තුළ සිදුවන වෙනස්වීම් සියල්ලම මීට උදාහරණයි. මේ සඳහා ප්‍රතිකාර වශයෙන් නිපදවාගත් ශිල්ප ක්‍රමත් තියෙනව. උදාහරණ වශයෙන් කියනව නම් නර කෙස්වලට වර්ණ භාවිතය, ඇස් නොපෙනීමට ඇස් කණ්ණාඩි, කාච, ශල්‍යකර්ම වගේ දේවල් භාවිතය, කන් නොඇසීමේ ලෙඩේට බාහිර ශ්‍රවණ උපකරණ භාවිතය, දත් හැලීමේ ලෙඩේට කෘත්‍රිම දත් දැමීම හෝ දත් බද්ධ කිරීම, වාරු නැතිවීමට විවිධ උපකරණ භාවිතය වගේ ශිල්ප ක්‍රම තියෙනව. මේ සියලුම ශිල්ප ක්‍රම අද නිෂ්පාදකයාට සිය බැංකු ගිණුම් තර කර ගැනීමටත් අවස්ථාවක් වෙලා තියෙන බවත් පැහැදිලියි.

ඉහත සඳහන් කාරණා තුනෙන් බැහැරව පුද්ගලයෙකුට අනපේක්‍ෂිත ලෙස සිදුවිය හැකි අනතුරු ආගන්තුක රෝග ලෙස ගැනෙනවා. කැඩුම්, බිඳූම්, සැපුම්, බඹරු දෙබරු, සර්ප දෂ්ට සහ රිය අනතුරුවලින් සිදුවන භග්නවීම් වැනි විවිධ වර්ගයේ පීඩාවන් නිසා ආගන්තුක රෝග උදාවෙනවා. මේවා බෝවන රෝග ගණයට අයිති වෙන්නේ නැහැ.

බෝ නොවේ ඒත් වංසගතයක්

පිළිකා, වකුගඩු , හෘද, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, චර්ම යනාදී රෝග බෝනොවන රෝග ලෙස සලකනවා.

පිළිකා- අමෙරිකාවේ ෂර්වුඩ් රෝලන්ඩ් හා මැරියෝ මොලීනා කියන විද්වත් පර්යේෂකයන් දෙදෙනාගේ පර්යේෂණයන්ට අනුව ‘ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වැඩි වී ලොව පුරා පැතිරීයාම නිසා, එහි ප්‍රථිඵලයක් වශයෙන් පිළිකා හා සම මතුපිට රෝග හටගැනීම සීග්‍රයෙන් ඉහළ යන බව” පෙන්වා දෙනව. ඒ වගේම තාප දූෂණය, වායු දූෂණය, ජල දූෂණය, ශබ්ද දූෂණය වගේ කාර්මික නිෂ්පාදනයේ අතුරුඵල නිසා පිළිකා වගේ රෝග ආශිර්වාද ලබා තියෙනවා.

වකුගඩු රෝග - ජනගහනය වැඩිවීමත් වගේම අධිපරිභෝජන රටාවටත් පිළිතුරු වශයෙන් මිනිසා විසින්ම ආහාර නිෂ්පාදනය සඳහා නවතම තාක්‍ෂණික ක්‍රමවේධ හොයා ගන්නව. එහි ඍජු ප්‍රතිඵලයක් විදියට නිෂ්පාදනය කර ගන්නා ලද කෘත්‍රිම රසායන ද්‍රව්‍ය, බීජවර්ග, පොහොර වර්ග, වල් නාශක, කෘමි නාශක, දිලීර නාශක, කෘෂි රසායන ද්‍රව්‍ය ගම්දනව්, පසල් දනව් පුරා ඉතාම ශීඝ්‍රයෙන් අලෙවි වෙනව.

1970 දශකයේ අග භාගයේ පටන් ශීඝ්‍රයෙන් භාවිතාවට ගැනණු කෘත්‍රිම රසායන මිශ්‍රණ මගින් ගෙන දුන්නේ දීර්ඝ කාලීනව කලඑළි බහින විනාශයන් රාශියක්ම විතරයි. එහි ඛේදජනක උරුමය තමයි වේදනාකාරී වසංගතයක් වෙමින් ශ්‍රී ලංකාව පුරා පැතිරීයන වකුගඩු රෝගය. 1980 සම්මත වූ පලිබෝධනාශක පාලන පනත යටතේ පලිබෝධනාශක නියාමනය කරපු හැටි තමයි මේ.

හෘද රෝග - ‘ස්වාභාවික සම්පත් භාවිතය මගින් තමන්ගේ පැවැත්ම හා ලාභාංශය උපරිම කර ගන්නා බලවතුන් විසින් අනාගත පරම්පරාව ඒ සඳහා බිලිදෙන බව” රෝම සමුළුව මගින් ප්‍රකාශයට පත්කරන ලද ‘වර්ධනයේ සීමා” නම් කෘතියේ දී සඳහන් කරනව. එමෙන්ම ප්‍රකට සමාජ පර්යේෂකයෙක් වන ‘අනිල් අගාර්වාල්” පැහැදිලිවම සඳහන් කරන්නේ ‘රසායනික පළිබෝධනාශක තුන්වැනි ලෝකයේ අලුත්ම රෝගය යි”කියලයි.

‘තියුණු තරගකාරිත්වය, තදබල ආශාව, නුවුවමනා හදිස්සිය, අවිවේකී බව, ආතතිය ආදිය නිසා හෘද රෝග වැල‍ෙඳන ප්‍රමාණය හා ඉන් මිය යන ප්‍රමාණය ද අධික වන බව” කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ හෘදරෝග විශේෂඥයන් දෙදෙනෙකු වන Friedman සහ Resenman ද පෙන්වා දෙනවා. ඒක හැල්මේ දුවන වත්මන් ශ්‍රී ලංකාවටත් පොදුයි.

දියවැඩියාව - ශ්‍රී ලංකා සමාජය තුළ ඉතිරී, පැතිරී, විසිරී ඇති තවත් වසංගත රෝගයක් තමයි දියවැඩියාව. දියවැඩියාව කියන්නේ ශරීරයේ ඇති ලේවල තිබිය යුතු ග්ලූකෝස් මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමටයි. ඒක මෙහෙමත් කියන්න පුළුවන්. ශරීරයට අවශ්‍ය ‘ ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීමෙනුත්, ශරීරගත’ ඉන්සියුලින් “ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙනුත් කියන ක්‍රම දෙකෙන්ම ඇතිවන රෝගී තත්ත්වයක්. අතීතයේ ඉඳල හිටල වැඩිහිටියෙකුට පමණක් වැළඳූනු මේ රෝගය දැන් දැන් කුඩා ළමුන්ටත් වැළෙඳන බව මාධ්‍ය තුළින් වාර්තා වෙනව.

දීර්ඝ කාලයක් තිස්සේ සියලුම භෞතික හා මානව සාධක නොතකා නොසලකා හැරීම මොනම විදියකවත් දියුණුවක් හෝ ප්‍රගතියක් නෙමෙයි. සොබාදහමේ එක සංයුතියක් ඇතුලේ සම්මිශ්‍රණය වී තිබිය යුතු හුඟක් දේවල් සමබර විදියට වැඩී යාම සොබාදහම පිළිගත් විධිමත් රටාවයි. කිසියම් ශෛල වර්ගයක් විද්‍යාගාරයකදී ඉවත් කිරීමෙන් හදා ගන්න බීජවලින් පැළ වැඩීම වේගවත් වේවි. අස්වනුත් වැඩි වේවි. ඒත් ගුණාත්මක බව අහිමි වීමෙන්. සොබා දහමේ සමබරබවත් නැතිවේවි, බෝවන රෝග වලින් මෙන්ම බෝනොවන රෝගවලින් ද මිය යන සංඛ්‍යාව පිළිබඳ 2012 මහ බැංකු වාර්ෂික වාර්තාවේ කෙරෙන සඳහන අවධානයට යොමු විය යුත්තක්.

සංවර්ධන විරෝධී දේශපාලනය

නීරෝගී මිනිසුන් ඉන්නෙ ස්වීඩනයෙලු. හොඳම සෞඛ්‍ය සේවාව තියෙන්නෙ කියුබාවෙලු. කියුබාවේ සමස්ත ජනගහනයෙන් 33 දෙනෙකුට එක් වෛද්‍යවරයෙක් ගණනේ ඉන්නවා තමන්ට අයත් මිනිසුන් සංඛ්‍යාව නිරෝගීව තබා ගැනිම. ඒ මිනිස්සු නිරෝගීව හිටියම තමයි වැඩ කරන්නෙ. ඒ අය වැඩ කළාම තමයි දළ ජාතික නිෂ්පාදනය ඉහළ යන්නෙ. සතුට රජකරන තිරසාර සංවර්ධනයට උරුමකම් කියන්න හාකියාවක් ලැබෙනවා. ආර්ථික සංවර්ධනයේ අවසාන ස්ථරය වන ‘තිරසාර සංවර්ධනය’ කියන්නේ සතුට උතුරා යන, තෘප්තිය පැලපදියම් වුණ මානව සම්පතක් සිටින සමාජ වටපිටාවකටයි.

නමුත් අපි ජීවත් වන ලංකාවේ තත්ත්වය මීට ගොඩාක් වෙනස්. රටේ ජනගහනයෙන් පුද්ගලයන් 1187 කට එක් වෛද්‍යවරයෙක් හා පුද්ගලයන් 683 කට එක් හෙදියක් බැගිනුයි ඉන්නේ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හෙවත් විශ්‍රාමිකයන් ප්‍රමාණය ඉහළයාමත්, ජනගහනය වයස්ගතවීමත්, ඒ අතරතුර වැඩ කළ හැකි බාල, තරුණ, මහලු හැම පිරිසකම ලිංග භේදයක් නැතිවම බෝවන රෝග හා බෝනොවන වසංගත රෝගවලට ගොදුරුවීමට සතුටුදායක තත්වයක් නෙවෙයි.

මෙවැනි මූලික ලක්‍ෂණ නිසා දුගී බවේ විෂම චක්‍රයක් නිර්මාණය වන බවට ප්‍රකට ආර්ථික විද්‍යාඥ රෙග්නා නර්ක්ස් පැහැදිලිව පෙන්වා දී දීල තියෙනවා. ඒක සිද්ධවෙන්නෙ මෙහෙමයි.

ලෙඩ රෝග හැදුණම වැඩ කරන්න බැරිවෙනවා. වැඩ කරන්න බැරි වුනාම නිෂ්පාදනයක් ඇති වෙන්නේ නෑ. නිෂ්පාදනය නැති වුනාම ආදායම නෑ. ආදායම නැතිවුණාම (ආහාරපාන) පෝෂණය හිඟ වෙනවා. පෝෂණය නැති වුවිට ලෙඩ රෝග හැදෙන්න බලපානවා. මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ චක්‍රාකාරවයි. මේ සියල්ලටම මූලික හේතුව දේශපාලන අවභාවිතය යි.

ආසියානු රංගනය (Asian Drama) කියන පර්යේෂණ කෘතිය සම්පාදනය කරන සමාජ පර්යේෂක ගුනාර් මිර්ඩාල් මේ වගේ වාතාවරණයන් ගැන සඳහන් කරන්නේ ‘සංවර්ධන විරෝධී දේශපාලනය’ කියලයි. වැඩ කරන මිනිසා ලෙඩ කරමින්, පරිසරය වනසා සිය බලය, ධනය හා ලාභාංශය වැඩිකරගන්නා දේශපාලන රටාවට සංවර්ධන විරෝධී දේශපාලනයයි. සමාජය පුරා ලෙඩ රෝග පතුරුවමින් සමාජයේ යහපැවැත්ම බිඳවැටීමටත් මූලික හේතුව දේශපාලන අවභාවිතය බව මෙහි යම් තැනක සඳහන් කළේ මේ සුපැහැදිලි සත්‍යය නිසාමයි. දේශපාලන අවභාවිතය හෙවත් දූෂිත දේශපාලනය සකලවිධ සමාජ බිඳ වැටීම්වලට ප්‍රධානම සාධකයයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා