සොඳුරු යුවතියන්ට අඳුර ගෙන එන ගැබ්ගෙල පිළිකාව

සොඳුරු යුවතියන්ට අඳුර ගෙන එන ගැබ්ගෙල පිළිකාව

සනත් ලැනරෝල් - ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

සුන්දරත්වය ගැන වෙහෙසෙනවා වගේ ම තමන්ට වැලඳිය හැකි රෝග පිළිබඳත් කාන්තාවක් ලෙස ඔබ අවදියෙන් සිටිය යුතුයි. එයට හේතුව ජීවිතය ඔබ සතු දෙයක් සේ ම එය රැකගැනීමේ පූර්ණ වගකීම ද ඔබ සතු වන නිසයි.

ලෝකයේ වෙසෙන කාන්තාවන් අතර දෙවැනියට බහුලත ම රෝගය ලෙස සැලකෙන්නේ ගැබ්ගෙල පිළිකාවයි. වසරකට ලොව පුරා මිලියනයකටත් අධික සංඛ්‍යාවක් මේ රෝගයට ගොදුරු වේ. දියුණු වෙමින් පවතින රටවල කාන්තාවන් අතර බහුලත ම පිළිකාව වන්නේ ද මෙයයි. ගැබ්ගෙල පිළිකා අතරින් 80% ක් පමණ ,ගැබ්ගෙල ඇතුළත බිත්තියේත්, 20% ක් පමණ එහි පිටත බිත්තියේත් ඇතිවන බව මේ වන විට සොයාගෙන ඇත.

ගැබ්ගෙල පිළිකාව යනු මූලික අවස්ථාවේ හඳුනාගත හැකි පිළිකාවකි. එය ඇතිවන්නේ වෛරසයක් ආසාදනය හේතුවෙනි. හියුමන් පැපිලෝමා (Human Papilloma Viruses (HPV’S) නමැති වෛරස් කාණ්ඩයට අයත් වෛරසයේ උප වර්ග 16 හා 18 ගැබ්ගෙල සිදුවන ආසාදනය වීම හේතු කරගෙන මේ පිළිකාව වැළ‍ඳේ. මෙය හෙමින් වැඩෙන රෝගයකි. එය මාරාන්තික වීමට වසර 10 ක් පමණ ගතවිය හැකි ය.

රෝග ලක්ෂණ

* ඔසප් චක්‍රයේ වෙනස්කම් (අක්‍රමවත් බව)

* මාසික ශුද්ධවීම් දෙකක් අතර සිදුවන අතරමැදි රුධිර වහනය

* ලිංගික එක්වීමෙන් පසු සිදුවන රුධිර වහනය

* ලේ මිශ්‍රිත යෝනි ශ්‍රාව (සමහර විට දුර්ගන්ධයක් සහිතව හෝ රහිතව සිදුවන යෝනි ශ්‍රාව)

* ගැබ්ගෙල පරීක්ෂාවේදී තුවාල හෝ ගැබ්ගෙල ආසාදන දිස්වීම.

* අවසාන කාලයේදී රෝගියා කෙට්ටු වී, රක්තහීනතාවයට ගොදුරු වී මරණයට පත්විය හැකි ය.

රෝගය ඇතිවීමට හේතු

පෙර සඳහන් වෛරසය ආසාදිත පිරිමියකු සමග සංසර්ගයේ යෙදීම මේ රෝගය ඇතිවීමට ප්‍රධානතම හේතුවයි.

රෝගය හඳුනාගත හැකි ක්‍රම

වයස අවු. 35 ඉක්මවූ කාන්තාවන්ට මේ පිළිකාව ‍වැලඳිය හැකිය. දීප ව්‍යාප්තව ,ගම් මට්ටමින් කෙරෙන සුවනාරී සායන ශ්‍රී ලංකාව පුරාම ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මඟින් ක්‍රියාත්මක කෙරේ. ප්‍රධාන මහ රෝහල්වලින් ද මෙය පරීක්ෂා කර ගත හැකි ය. මේ සායනවල සහභාගී පැප් (Pap) පරීක්ෂාව කර ගැනීම මඟින්, පූර්ව පිළිකා අවධියේදී ම මෙයට ප්‍රතිකාර ගැනීමට පුළුවන. රෝගී තත්ත්ව කලින් හඳුනාගැනීමෙන් සංකූලතා වළක්වා ගැනීමට ද හැකියාව ලැබේ.

ප්‍රතිකාර

* බෙහෙත් වර්ග

* විකිරණ ප්‍රතිකාර

* ශල්‍යකර්ම මේ සඳහා යොදාගත හැකි ප්‍රතිකාර ක්‍රම වේ.

එන්නත්

මේ වන විට ගැබ්ගෙල පිළිකා ඇතිවීම වැලැක්වීම සඳහා සාර්ථක එන්නතක් සොයාගෙන තිබේ. වයස අවු. 9 -13 ගැහැනු දරුවන් සඳහා මෙය එන්නත් කිරීම මඟින්, අනාගතයේ ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානමෙන් මුදා ගැනීමට හැකි ය.

ගැබ්ගෙල පිළිකාව වැළඳුණ අය හට මේ එන්නත ලබාදීම මඟින්, රෝගයේ බරපතළ අවධානම් තත්ත්වයෙන් ඔවුන් මුදා ගැනීමට ඉඩකඩ ලැබේ.

ඉහත රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් සැලකිලිමත් වන්න. වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා