මොනවද මේ භාණ්ඩාගාර බැඳුම්කර

මොනවද මේ භාණ්ඩාගාර බැඳුම්කර

ප්‍රාග්ධනය එය පවත්නා පරිද්දෙන් අප්‍රසන්න නොවන්නේය. එය අප්‍රසන්න වන්නේ සාවද්‍ය ලෙස භාවිතා කිරීමෙනි. කුමනාකාරයක ප්‍රාග්ධනයක් වුව හැමවිටම අවශ්‍ය දෙයකි.

- මහත්මා ගාන්ධි

සෑම සත්වයෙකුටම දෙපයින් සෘජුව නැඟී සිටින්නට ශක්තිමත් කොඳු ඇට පෙළක් අවශ්‍ය වන්නා සේ ම රටකට සෘජුව නැඟී සිටින්නට ‍ශක්තිමත් ආර්ථිකයක් පැවතිය යුතුය. ශක්තිමත් ආර්ථිකයක් සඳහා මූල්‍ය වෙළෙඳපළ තුළ සිදුවන ගනුදෙනු අතර භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bond) අතිශය වැදගත් මූල්‍ය ගනුදෙනුවකි.

සාමාන්‍යයෙන් වසර දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් සඳහා ණය මුදලක් රජයට ලබාගැනීමට අවශ්‍ය වූ විට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ. මේවා වෙන්දේසි ක්‍රමයට ප්‍රාථමික වෙළඳුන් හරහා නිකුත් කොට ද්විතියික වෙළෙඳපොළේ වෙළෙඳාම් කෙරේ.

මෙමඟින් ආර්ථිකයේ පොලී අනුපාතිකය හසුරුවමින් මුදල් සැපයුම පාලනය කළ හැකිය. එය ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීමට පිටිවහලකි.

භාණ්ඩාගාර බැඳුම්කර විවිධ කාලසීමාවන්ගෙන් කල් පිරෙයි. ඒවා වසර 2, 3, 4........, 30 ආදී වශයෙන් විවිධ කාලසීමාවන්ගෙන් කල් පිරෙන විට ඒවා මිලදී ගත් ගැනුම්කරුවන්ට වට්ටම් සහිතව, කල් පිරීමේදී පරිණත මුදල් (මුහුණත වටිනාකම) ගෙවනු ලබයි.

රාජ්‍යයන් මඟින් නිකුත් කරන නිසා භාණ්ඩාගාර බැඳුම්කර අවදානමින් තොර විශ්වාසනීය ආයෝජනයකි. මූල්‍ය වෙළෙඳපළ තුළ තිබෙන අනෙකුත් බොහෝ ආයෝජනවලට සාපේක්ෂව සලකා බලන විට ඉහළ පොලී අනුපාතිකයක් ලබාගත හැකිය. පොලී මුදල් අර්ධ වාර්ෂිකව ගැනුම්කරුවන්ට ලබාගත හැකිවීම ද මෙහි ඇති වාසියකි.

භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළෙඳපළේ අලෙවි කළ හැකි බැවින් කෙටි කාලයකින් මුදල් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. මැදි කාලීනව හෝ දිගු කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජනයක් කළ හැකිය. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් හවුල් ආයෝජනයක් ලෙස බැඳුම්කර මිලදී ගත හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද ප්‍රධාන කළමනාකරුවකු හරහා ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින්ට ද භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයන්ට ප්‍රවේශවීමේ අවස්ථාව ඇත. වර්තමානයේ විදේශ රටවල පවතින අඩු පොලී අනුපාතිකවලට වඩා ඉහළ පොලී අනුපාතිකයක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් ලැබේ. ඇතැම් විදේශ බැංකු ඉහළ ගාස්තු අයකරයි. එම ගාස්තු ඉන් ලැබෙන පොලී අනුපාතිකයටත් වඩා වැඩිය. බොහෝ විට විදේශයන්හි මුදල් තබාගැනීමෙන් ඒවාට නිසි ආරක්ෂිත බවක් නොලැබෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් එවැනි අවදානමක් නොලැබෙනු ඇත.

මීට අමතරව බදු සහන, අන්තර්ජාලය මඟින් ආයෝජන පරීක්ෂා කිරීමේ හැකියාව, හවුල් ආයෝජන සිදුකළ හැකිවීම, කල්පිරීමේදී මුළු මුදලම යළි විදේශයන්ට යැවිය හැකිවීම සහ ආයෝජකයන් වෙත වාචිකව ඔවුන්ගේ ගනුදෙනු සහ තැන්පතු සහතික කරමින් වාර්තා නිකුත් කරනු ලබන Lanka Secure හි ස්වයංක්‍රීය මධ්‍ය තැන්පතු පද්ධතිය (CDS) සේවය ලබා ගැනීම ආදී වාසි රාශියක් ගැනුම්කරුවන්ට හිමිවේ.

රටක සංවර්ධන මාවතේ සේවා අංශය පුළුල්ම අංශය බවට පත්වීම කැපී පෙනෙන විශේෂිත ලක්ෂණයකි. ඒ සඳහා මුල්‍ය වෙළඳපොළ තුළ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජන තවදුරටත් පුළුල්වීම අවශ්‍යව ඇත. ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම දේශීය සංවර්ධනය අපේක්ෂා කරන කාහටත් දායක විය හැකි මහඟු අවස්ථාවකි.

සංජේ මිගාර

ආර්ථික විද්‍යා විශේෂ (ගෞරව) - කැලණිය

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා