මතුගම – නෑබොඩ ශ්‍රී විජයරාම මහා විහාරස්ථානය

මතුගම – නෑබොඩ ශ්‍රී විජයරාම මහා විහාරස්ථානය

අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය අද 29 වැනිදා

කළුතර දිස්ත්‍රික්කයට අයත් දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෑබොඩ නගරාසන්නයේ පිහිටි ශ්‍රී විජයාරාම මහා විහාරස්ථානය වසර 140ක පමණ ඉතිහාසයක් ඇති පෞරාණික සිද්ධස්ථානයකි.

නෑබොඩ නගරයේ සිට ශ්‍රී ගුණපාලතිස්ස මාවතේ සැතපුම් කාලක් පමණ ගමන් කරන විට කඳු වලින් වට වූ රමණීය වෙල්යායක් හා රබර් වත්තකට මැදිව විජයාරාම මහා විහාරස්ථානය පිහිටා තිබේ.

ගමේ ප්‍රභූන් හා පරිත්‍යාග ශීලීන්ගේ ඉඩම් කොටස් පූජා කිරීමෙන් පසු කුඩා ආවාසයකින් විහාරස්ථානයේ ආරම්භය සිදු වී ඇති බව සඳහන් වේ.

අපවත් වී වදාළ හිඳුරන්ගල ශ්‍රී දස්සනසාර ගුණපාලතිස්ස මාහිමිපාණන් වහන්සේගේ ඇප කැප වීමෙන් හා පුරෝගාමීත්වයෙන් ශ්‍රී විජයාරාමය ආරම්භ වී තිබේ.

උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු ප්‍රධාන ශිෂ්‍ය රත්නය වූ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ලෙස වැඩ සිටි වළකඩ විමලසාර නාහිමියෝ විහාරස්ථානයේ අධිපතිධූරය උසුලමින් එහි දියුණුවට ක්‍රියා කළහ.

විමලසාර නාහිමියන්ගේ අපවත් වීමත් සමඟ 1968 දී ගවරගිරියේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධුරයට පත්ව ගම්වාසින්ගේ ආධාර ඇතිව විහාරස්ථානයේ සංවර්ධනයට අපමණ සේවාවක් සිදු කළහ.

සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේද මෙසේ කටයුතු කරගෙන යමින් සිටියදී හදිසියේ ගිලන් වූහ. අනතුරුව බලාපොරොත්තු නොවූ පරිදි 2005 වසරේදී උන්වහන්සේ අපවත් වී වදාළ සේක.

මේ අතරතුර සිද්ධාර්ථ හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ නෑබොඩ සිරි සුමණ හිමියෝ විහාරස්ථානයේ අධිපතිත්වයට පත්වූහ.

තරුණ භික්ෂූන් වහන්සේ නමක් වන සිරි සුමණ හිමියෝ ගමේ වැඩක් කිරීමට ශක්තිය හා ආසාවක් ඇති තරුණ හා වැඩිහිටි පිරිස් සම්බන්ධ කරගෙන විහාරස්ථානය දියුණු කිරීමට මූලිකත්වය ගත්හ. ගතවූ වසර කිහිපය තුළදී ඒ සඳහා උන්වහන්සේට ගමේ දායකයින් විවිධ අන්දමේ ආධාර උපකාර කළහ.

බෝධීන් වහන්සේ ප්‍රතිසංස්කරණය කොට එහි පෙති පිළිම වහන්සේ නමක් තැන්පත් කොට ජනතාවට වැඳුම් පිඳුම් කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන නෑබොඩ, කජුගස්වත්තේ ශ්‍රීමති මංගලිකා මෙනවිය කටයුතු කළාය.

ඇයගේ මෑණියන් ඇතුළු අනෙකුත් දූ දරුවන් විසින් විහාරස්ථානයේ නාම පුවරු ඇතුළත්ව විහාරස්ථාන පරිශ්‍රයේ විදුලි ආලෝක පද්ධතියක් පිහිටුවන ලදී.

ශ්‍රී විජයාරාම දහම් පාසැල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400කගෙන් හා ගුරුවර ගුරුවරියන් 25 දෙනෙකුගෙන් සමන්විතව දොඩම්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දීප්තිමත් දහම් පාසැලක් බවට පත්ව තිබේ.

විහාරාධිපති නෑබඩ සිරි සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි ඊට නායකත්වය දෙමින් විජයාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරනු ලබන්නේ සූර්ය ලංකා සම්මානයෙන් පිදුම් ලද රංජිත් ප්‍රේමලාල් මහතාය.

විහාරස්ථානය ක්‍රමයෙන් දියුණුව කරා පා නගද්දී ඊට අත්‍යාවශ්‍යව තිබූ වාහල්කඩක් ඉදි කර දීමට නෑබොඩ ශ්‍රී ජය එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති කේ. ඒ. ජයන්ත පෙරේරා මහතා හා එම මහත්මිය ඉදිරිපත් වූහ. ඒ අනුව සිය ධන පරිත්‍යාගයෙන් ඉදි වූ වාහල්කඩ 2012 ජූනි 04 වැනි දින සඟසතු කර පූජා කරන ලදී.

නෑබොඩ, පහළ නෑබොඩ සම්පත් වෙළඳ ව්‍යාපාර හිමි කේ. සුනිල් මහතා හා එම මහත්මිය පන්සලට අඩුවක්ව පවතින චෛත්‍යරාජයාණන් වහන්සේ තම ධනයෙන් ඉදිකරදීමට ඉදිරිපත් විය.

ඒ පිළිබඳව බලවත් සතුටට පත් උන්වහන්සේ මේ බව දායක සභාවට දැනුම් දී ඉදි කිරීම් කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලදී. ඒ අනුව 2011 මැයි මස 19 වැනි දින නව චෛත්‍ය සඳහා මුල් ගල් තැබිණ.

2010 දෙසැම්බර් 26 දා හදිසි අනතුරකින් පරලෝ සැපත් වූ නෑබොඩ, පහළ නෑබෙඩ විසූ ඩබ්ලිව්. ඒ. උපුල් (කිරී) නැමති තම ආදරණීය පුතණුවන් සිහිකර ඔහුට පින් අනුමෝදන් කිරීම සඳහා ව්‍යාපාරික කේ. සුනිල් මහතා හා එම මහත්මිය විසින් නව චෛත්‍යරාජයාණන් ඉදිකරවන ලදී. ඒ සඳහා රුපියල් ලක්ෂ විසි පහකට අධික මුදලක් ඔවුන් විසින් වැය කරන ලදී. එම චෛත්‍ය වටා දර්ශනීය මල් ආසන 04ක්ද ඉදිකර ඇත.

ඊට දායකත්වය දක්වන ලද්දේ කේ.ඒ. කමල් නන්දසිරි මහතා හා එම මහත්මිය, කේ.ඩී. විමලාවතී මහත්මිය, නීල් වසන්ත සිල්වා හා එම මහත්මිය මහිලානි මහත්මිය හා ආරියපාල මහතා යන පිංවතුන් විසිනි. ධර්මශාලා ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු රන්නගල පදිංචි ව්‍යාපාරික නිමල් දයානන්ද මහතා විසින්ද ඝන්ඨාර කුළුණේ ප්‍රතිසංස්කරණ කටයුතු ගල්කඩුව ප්‍රදේශවාසීන් විසින්ද සිදුකරන ලදී.

ඉපැරණි විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලද්දේ නෑබඩ, හොරණ පාරේ පදිංචි ඇඩ්වින් වලකඩවත්ත මහතා ඇතුළු පිරිස විසිනි.

නෑබොඩ වෙළද ව්‍යාපාරික ලලිත් සමන්ත තේනුවර මහතාගේ ධන පරිත්‍යාගයෙන් මළසුන්ගෙය ඉදි කෙරිණ.

වැඩ නිමවූ නව චෛත්‍යයේ කොත හා මල් ආසන විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 27 වන දින ආරම්භ වූ අතර එය 30 වැනිදා නිමාවට පත් වේ. චෛත්‍යයේ පළඳවන කොත් වහන්සේ ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා ගම වටා ප්‍රදර්ශනය කෙරිණ.

මේ නිමිත්තෙන් වූ තිස්පෑතුනේ පිරිත් දේශනාව 28 වැනිදා ආරම්භ කෙරුණ අතර එය 30 වැනිදා පෙරවරුවේ නිමාවට පත් වේ.

අභිනව චෛත්‍යයේ කොත් පැළඳවීම අද (29 දින) පෙරවරුවේ සිදුකෙරෙන අතර කොත නිරාවරණයද අද පෙරවරුවේ ශුභ මොහොතින් සිදු කෙරේ. නෙළුම් මල් පූජාවක් පවත්වා ඊට උපහාර කෙරෙනු ඇත.

අනතුරුව අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහ නිකායේ මහානායක එගොඩමුල්ලේ අමරමෝලි මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දහම් හමුවකි.

වත්මන් විහාරාධිපති හිමියන් හා ගම්වාසීන්ගේ බලවත් එකඟත්වයෙන් නෑබොඩ ශ්‍රී විජයරාම මහා විහාරස්ථානයේ ප්‍රධාන දායක ධුරයට පත්කර සිටින පහළ නෑබොඩ සම්පත් ව්‍යාපාරයේ අධිපති සත්ගුණවත් ;ක්. සුනිල් මහාතට ඒ පිළිබඳව උපහාර තිළිනය පිළිගැන්වීම ද මහානාහිමියන් විසින් එහිදී සිදුකරනු ලැබේ.

බෝම්බුවල, ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන විහාරාධිපති කළුතර පළාතේ ප්‍රදාන සංඝනායක හල්වතුරේ අස්සජී, වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරාධිපති මදුරාවල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පෝරුවදණ්ඩේ සුමන, තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙන් විහාරාධිපති තෙබුවන ඤාණින්ද යන ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයද, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මියද, දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කීර්ති පෙරේරා, තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගුණතිලක යන මහත්වරු ඇතුළු ගිහි පින්වතුන්ද මේ දහම් හමුවට ආරාධිතව සිටිති.

හෙට 30 වැනිදා උදෑසන මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන සාංඝීක දානයෙන් මෙම මහෝත්සවය නිමාවට පත්වේ.

නෑබොඩ ශ්‍රී විජයාරාම මහා විහාරාධිපති නෑබොඩ සිරිසුමන හිමියන් සමග කල සාකච්ඡාවක් ඇසුරිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා