භාවනාව සහ සත්‍යාවබෝධය බුදු දහම යනු කුමක් ද?

භාවනාව සහ සත්‍යාවබෝධය බුදු දහම යනු කුමක් ද?

මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළ විය.

දාහරණ වශයෙන් පවුලේ කෙනකු මියගිය විට ඔවුන් මිය යාම නුසුදුසුයයි තමා සමඟින් ම ඔබ වාදයෙහි යෙදේ. එසේ නැති නම්, තම රැකියාව අහිමි වූ විට, එය නො සිදුවිය යුත්තකැයි සිතීමෙහි ඔබ නො නවත්වා ම නිරත ව සිටී.

එසේ නැති ව යම්කිසි අන්දමේ වැරැද්දක් සිදු වී ඇති නම් එහි අසාධාරණත්වය පිළිබඳ උද්වේගයන්ට ඔබ වල්මත් කිරීමට ඉඩ දී බලා සිටී. කිසිවකු ඔබට බල නො කළ ද, ඉතිරි මුළු ජීවිත කාලය තුළ දී ම තමා ම ඉදි කර ගත් කුරුසියක විහින් ඇණ ගසා ගැනීමට ඔබට හැකියාවක් ඇත. ඒ වෙනුවට පිළිගෙන, කමා කොට, කමා කරන ආකාරය ඉගෙන ගන්න. අත්මිදීම එම ඉගෙනීමෙහි ගැබ් වී ඇත. අත්මිදීමෙන් ඔබ ඉටු කරන්නේ අතීතයේ බැඳීම්වලින් මිදුණු අනාගතයකට සුවපහසු ලෙස ඔබ වෙත ළඟා වීමට ඉඩ සලසා දීමයි.

මා හා කිට්ටු සම්බන්ධකමක් පවත්වන, බෞද්ධ හැදියාවක් ඇති, පර්ත් නගරයේ වසන කාම්බෝජියානු ජනතාව පිළිබඳ ව යම් යම් කරුණු මා මෑතක දී සමහර පුද්ගලයන් හට පවසා ඇත. බෞද්ධ සංස්කෘතියක් ඇති ඔවුහු, සැම විටම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා භික්‍ෂුවකගේ උදව් උපකාර පතන්නෝ ය. එය ශතවර්ෂ ගණනාවක් තුළ සිටම පැවත එන සම්ප්‍රදායකි. එම ජනතාවගේ ආගමික කේන්ද්‍රස්ථානය, එක්රැස්වීමේ මූලස්ථානය හා ගුරුහරුකම් ලබා ගන්නා අයගේ වාසස්ථානය ආරණ්‍යයයි. උපදේශකවරු එහි වසන භික්ෂූන් වහන්සේලා වෙති. විවාහක පුරුෂයින්, ඔවුන්ගේ බිරිඳනුන් සමඟ වාද - විවාද ඇති කර ගත් විට ඔවුන් පැමිණෙන්නේ ආරණ්‍යයටය.

තරුණ භික්‍ෂුවක ලෙස මා තායිලන්තයේ වාසය කරද්දී, දිනක් එක් මිනිසකු පැමිණ “දින කිහිපයකට මට ආරණ්‍යයෙහි නතර වීමට හැකි දැ”යි මගෙන් ප්‍රශ්න කළේය. ඔහුට භාවනා කිරීමට අවශ්‍ය ව ඇතැයි සිතු මම “ඔබ භාවනා කරන්න ද යන්නේ?” කියා නිකමට ඇසුවෙමි. “අනේ නැහැ. මගේ බිරිඳ සමඟ පොඩි අමනාපයක් ඇති කර ගත් නිසා මම ආරණ්‍යයට ආවා” යයි ඔහු පිළිතුරු දුන්නේය. ඔහු නතර විය. දින තුනහතරකට පමණ පසු, මා වෙත පැමිණි ඔහු “මට දැන් හොඳ වගේ හැඟෙනවා, ගෙදර යන්න ද?”යි මගෙන් අවසර ඉල්ලීය.

එය මොන තරම් ප්‍රඥාන්විත ද? තැබෑරුමකට ගොස් සිහි මඳ වන තෙක් බීමත් ව, තමාගේ සිතේ පැසවන කනස්සල්ල, ද්වේෂය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා, තමා සිතන පරිදි මෙතෙක් කල් ඇය තමාට කර ඇති “නොහොබිනාකම්” සිය සගයින් සමඟ ඇද බානවා වෙනුවට ඔහු කළේ, ඔහුගේ බිරිඳ ගැන කිසිවක් නො දොඩා, කරුණාව සහ සාමය පමණක් දැක්වූ භික්ෂූන් සමූහයක් සමඟ වාසය කිරීමය. සාමකාමී, සුදුසු පරිසරයක හිඳ තමා කළ, නොකළ දෑ සිහිපත් කිරීමෙන්, ටික දිනකින් ඔහුට සහනයක් ලැබිණ. “සමහර විට, ආරණය කියන්නේ උපදේශ ලබා ගත හැකි ස්ථානයක්, ආරක්‍ෂක ස්ථානයක්, ප්‍රශ්නවලින් අත්මිදීමට පුද්ගලයින් පැමිණෙන ස්ථානයක්” යයි පැවසීම නිවැරදිය.

අතීතයෙහි තැවෙමින් සිටිනවාට වඩා, විශේෂයෙන් ම සිදු වූ යමක් පිළිබඳ ව ද්වේෂයෙන් පසු වනවාට වඩා, එය නරක ද? අපි කනස්සල්ල තව දුරටත් තහවුරු කරන්නෙමු නම්, ඇත්ත වශයෙන් සිදු වන්නේ කුමක් දැයි වටහා ගනිමු ද? එසේ නැති නම්, ද්වේෂයෙන් විකෘත වූ ඇස් කණ්ණාඩියක් තුළින් අනුන්ගේ වැරදි දෙස බලමින්, ඔවුන් විසින් කරන ලද “නොහොබිනා” දේ පිළිබඳ ව පමණක් සිත් යොමු කරගෙන සිටිය දී, ප්‍රශ්නයෙහි සැබෑ ස්වරූපය කවදා හෙළිදරව් කර ගත හැකි ද?

මගේ අවධානයට යොමු වූ එක් කරුණක් නම්, මෙම කාම්බෝජ ජන කොට්ඨාසයට අයත් සෑම දෙනකු ම “පොල්පොට්” ඒකාධිපති පාලනය යටතේ වසර ගණනාවක් ම දුක් විඳ ඇති බවය. අඹ ගෙඩියක් සොරකම් කිරීමේ වරදට තම බිරිඳ තමා ඉදිරිපිට දීම “පොල්පොට්” සගයකු විසින් මරා දමනු දුටු කාම්බෝජියානු මිනිසකු මම හඳුනමි. කුස ගින්න නිසා අඹ ගසකින් ගෙඩියක් ඇය නෙළා ගත්තාය. මෙය දුටු එම සගයා, කිසිම වගවිභායක් නොමැති ව, ඇයගේ පුරුෂයා ඉදිරිපිට දී ම ඇයට වෙඩි තබා මරා දැමුවේය.

ඔහු මෙම සිද්ධිය මට විස්තර කරද්දී, මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. වෛරයෙන් තැවීමක්, කනස්සලු ස්වභාවයක් හෝ වෙනෙකක් තබා දොම්නසක සේයාවක් වත් ඔහු වෙතින් දැක ගැනීමට නොහැකි වීම මා විශ්මයට පත් කළේය. ඔහු දිස් වූයේ සිදු වූ දේ සාමකාමී ව පිළිගන්නා නිවුණු සිතැත්තකු ලෙසය. එය එලෙසින් සිදු නො විය යුතු වුවත් එය එසේ සිදු විය.

අතීතයෙන් අත්මිදීමෙන් අපට වර්තමානයෙහි රස විඳිය හැකි අතර අනාගතයට ද නිදහස ලබා දිය හැකිය. අප හැම විට ම අතීතය කර ගසා ගෙන සිටින්නේ ඇයි? අතීතයට ඇති ඇලීම, යම්කිසි මතයක් හෝ න්‍යාය ධර්මයක් හෝ නො ව චෛතසික ස්වභාවයෙකි, මානසික ගතියෙකි. “අනේ මගේ ඇති ඇලීමක් නැහැ” යනුවෙන් හෝ “මා කොතෙක් දුරට නො ඇලෙනවා ද කියනවා නම් නොඇලීම කෙරෙහි වත් මගේ ඇලීමක් නැත” යනුවෙන් පුරසාරම් දෙඩුවත්, ඒවා ලස්සනට ගළපා කීවත්, ඒ සියල්ලක් ම බොරු බේගල්ය.

ඔබේ නිදහසට ඉඩ අහුරන, වධවේදනා ගෙන දීමට මුල් වන, ඔබේ හදවතට ඉතා සමීප වූ දෑ ඔබට අත්හැරීමට නොහැකි නම්, ඔබ ඇලී ඇති බව ඔබ හොඳාකාරව ම දනී. තමාගේ දෙකකුල් වටා තමා විසින් ම දමා ගන්නා ලද යදම් ලෙසට ඇලීම හඳුන්වා දිය හැකිය. වෙනෙකකු පැමිණ ඔබ බැඳ නො දැම්මේය. ගැලවීමට අවශ්‍ය යතුර ඔබ වෙත ඇතත්, ඔබ එය පාවිච්චි නො කරයි. මෙසේ අප සිර වී සිටින්නේ ඇයි? අනාගතය පිළිබඳ සෑම උද්වේගයක් ම, කනස්සල්ලක් ම අත්හැර දැමීමට බැරි මන් ද? ඊළඟ මොහොතේ සිදු වන්නට යන දේ ගැන ඔබ කනස්සල්ලෙන් පසු වන්නේ ද? එසේ හැසිරීමට හේතුව කුමක් ද?

විභාගයක්, පරීක්‍ෂණයක්, දොස්තර ළඟට යෑම හෝ දන්ත වෛද්‍යවරයකු වෙතට යෑම හෝ ගැන ඔබ බිය වූ වාර කොපමණ ද? දතක් ගැලවීම ගැන ලෙඩකු වීමට තරම් සිතින් බිය උපදවා ගෙන, දන්ත වෛද්‍යවරයා වෙත යෑමට සූදානම් ව සිටිය දී, එදින ඔහු හමු වීමට ඉඩකඩ නොමැති බව දන්ත වෛද්‍යවරයා දන්වා සිටී; එතැනට යාමට වත් උවමනා කරන්නේ නැත! එසේ නම් බිය වූයේ ඇයි?

සිදුවේයැයි ඔබ සිතා සිටින අයුරින් ඒවා කිසි විටෙක සිදු නො වේ. අනාගතය කෙතරම් අස්ථිර ද කියනවා නම් ඒ ගැන කනස්සල්ලෙන් පසු වීම තරම් නිශ්ඵල ක්‍රියාවක් නැති බව තවමත් ඉගෙන ගෙන නැද්ද? ඊළඟට සිදු වන්නට යන්නේ කුමක් දැයි අපි කිසිසේත් නො දනිමු. අතීතය සහ අනාගතය අත්හැර දැමූ විට අපි භාවනාවේ ගැඹුරට යන මඟට පිවිසියෝ නො වන්නෙමු ද? සැනසිලිමත් වන්නේ, නිදහස් වන්නේ, ලද දෙයින් සතුටු වන්නේ කෙසේ ද කියා ඉගෙන ගැනීම ඇත්ත වශයෙන් ම මෙය නො වන්නේ ද?

සත්‍යාවබෝධය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි මෙවන් දෑ ඇඟවුම් කර සිටී. බොහොමයක් ම අපේ ඇලීම් රඳා පවතින්නේ අපේ ම අනුවණකම, අමු මෝඩකම මත බැව් අවබෝධ කර ගැනීම එහි අර්ථයයි. භාවනාව ගැඹුරට දියුණු කරන්නට කරන්නට, අපි වැඩි වැඩියෙන් අත්හැරී ම ද කරන්නෙමු. බොහෝ සෙයින් අත්හරින විට අප ලබා ගන්නා පී‍්‍රතිය හා සාමය ද ඒ හා සමාන ව බලවත් වේ. බුදු මඟ මුළුමනින් ම අනුක්‍රමයෙන් දියුණු කර ගන්නක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙයිනි. වරකට එක පියවරක් බැගින් කෙනකු ඉදිරියට ගෙන යන සෑම පියවරක් පාසා ම දිනුමක් ලබා ගන්නා මඟකි මේ. එමඟ ඉතා පියකරු වන්නේ එම නිසාය. මේ මඟෙහි ඉදිරියට යන්නට යන්නට හිමි වන්නා වූ ත්‍යාගයන්ගේ අගය ද, ඒවායේ පි‍්‍රයංකරත්වය ද වැඩි දියුණු වේ. තබන්නා වූ මුල් පියවරේ දී ම වුව ද ඔබට ත්‍යාගයක් හිමි වේ.

මුල් වතාවට භාවනාවෙහි යෙදුනු අවස්ථාව තවමත් මා මතකයෙහි රැඳී පවතී. එය සිදු වූ කාමරය ද මතකය. ඒ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කිනිස් විද්‍යාපීඨයේ, වර්ඩ්ස්වර්ත් කාමරයයි. ඉන් පෙර කිසි දිනෙක මා භාවනා කර නොමැති නිසා මිත්‍රයින් කිහිප දෙනකුත් සමඟ හිඳ සිටියේ මිනිත්තු පහක හෝ දහයක හෝ සුළු කාලයක් පමණකි. මිනිත්තු කිහිපයක් වුවත් “එය මොන තරම් සැපතක් ද” කියා මට සිතුනි. විඳි සුවය අදත් මතකය. මා තුළ අනුනාදය වෙමින් පැවතුණු යම් කිසිවක් කියා සිටියේ ඉතා චමත්කාරජනක තැනකට යොමු කෙරෙන මාර්ගය එය බවයි.

කෝපි සහ බීර බොමින් මිතුරන් සමඟ නොයෙකුත් මාදිලියේ දර්ශනයන් පිළිබඳ ව කොතෙකුත් සාකච්ඡා පවත්වා ඇතත්, එම සෑම “සාකච්ඡාවක් ම” වාගේ කෙළවර වූයේ වාදවිවාදවලිනි. කිසි දිනෙක ඒවායින් මම සතුටට පත් නො වීමි. ඉතා සමීප ව ඇසුරු කිරීමට ලැබුණු, විශ්වවිද්‍යාලයේ සිටි සුප්‍රසිද්ධ මහාචාය්‍ය¡වරුන් තුළ ද සතුටක් නො දුටුවෙමි. අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ව, එවන් දිවියක් ගෙන යාමට අදහස් නොකිරීමට එය එක් හේතුවක් විය.

තමන් හදාරා අති විෂය ක්‍ෂේත්‍රය, තුළ ඔවුන් ඉතා දීප්තිමත් ව බැබළුනත්, අනෙක් අතින් ඔවුහු සාමාන්‍ය පුද්ගලයින් මෙන් ම අනුවණයහ. අන් අය මෙන් ඔවුන් අතරද වාදවිවාද, කනස්සල්ල, අසහනය යනාදිය නොමද ව පවතී. එය මාගේ සිතට තදින් කා වැදිණි. එවන් සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක සිටින තීක්‍ෂණ බුද්ධිමතුන් සතුටින් පසු නොවන්නේ ඇයි? සතුටක් ලබා නො දෙන්නේ නම් දක්‍ෂයකු වීමෙහි ඇති හරය කුමක් ද? මා අදහස් කරන්නේ සැබෑ පී‍්‍රතියයි, සැබෑ සාමයයි. සැබවින් ම සෑහීමකට පත් වීමයි.

සැබෑ සාමය හා සන්තුෂ්ටිය

මා මුලින් ම දුටු සැබැවින් ම සෑහීමකට පත්, සන්තුෂ්ටිමත්, සැනසුණු පුද්ගලයා තායිලන්තයේ මා ගුරුවර අජාන් චා මාහිමිපාණෝ ය. කිසියම් අපූර්වත්වයකින් හෙබි උන්වහන්සේ සතු දේ මම දුටු වෙමි. එවිට මා මට ම කියා ගත්තේ “මටත් එය අවශ්‍යයි, මට එම දැනුම අවශ්‍යයි, එම සාමය අවශ්‍යයි” යනුවෙනි. ලොව වටා සෑම දෙසකින් ම පුද්ගලයෝ උන්වහන්සේ හමුවට පැමිණියහ. ඒ සෑම කෙනෙක් ම උන්වහන්සේ භික්‍ෂුවක වූ පළියට උන්වහන්සේට යටහත් පහත් බවක්, නියාලු බවක් පෙන්වා උන්වහන්සේ වර්ණනා කිරීමෙහි නො යෙදුනහ. සමහරෙක් උන්වහන්සේ සමඟ වාද කිරීමටත්, තවත් සමහරෙක් උන්වහන්සේගේ මොනයම් හෝ අතපසු වීමක් සොයා ගැනීමටත්, සමහර විට බැණ බැඳීමටත් සමත් වූහ.

උන්වහන්සේගේ ගෝල අජාන් සුමේධෝ මහතෙරුන් සමඟ මුල් වරට එංගලන්තයට ගිය විට සිදු වූ සිද්ධියක් මට මතකය. උන්වහන්සේ හැමිස්ටඩ් පෙදෙසෙහි පිණ්ඩපාතයෙහි යමින් සිටිය දී, (ඒ දැනට අවුරුදු 20කට පමණ උඩ දී ය) එක් අශීලාචාර තරුණයෙක්, සිනහ උපදවන ඇඳුමක් ඇඳගත් මේ ආසියාතිකයා වෙත පැමිණ ඔහුගේ මුහුණට එල්ල කළ පහර, නාසයෙහි නො වැදී ගියේ යන්තමිනි. නො වදින්නට පහර, එල්ල කරන බවක් අජාන් චා හිමිපාණෝ දැන නො සිටියහ. ඉන් පසු ඔහු පයින් ගැසුවේ, එය ද යන්තමින් නො වැදී යන්නටය.

මතු සම්බන්ධයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා