මවට පහර දී අපාදුක් විඳින මිත්තකවින්ද

මවට පහර දී අපාදුක් විඳින මිත්තකවින්ද

කසුප් බුදුරදුන් දවස සිල්රැකීම දන්දීම ආදි පින්කම්හි නිරතව සැදැහැවත් උපාසක – උපාසිකා යුවළක් විසූහ. මේ යුවළට මිත්තකවින්ද නම් පුත්‍රයෙක් සිටියේය. දෙමාපියන් සතු ශ්‍රද්ධාදි ගුණධර්ම වලින් බින්දු මාත්‍රයකුදු ඔහු තුළ නොවීය. කුසල් කිරීමේ ආනිසංස ද අකුසල් කිරීමෙන් විඳීන්නට සිදුවෙන නපුරු විපාකද කොතරම් පැහැදිලි කර දුන්නත් මිත්තකවින්ද සුමගට යොමු කිරීමට දෙමාපියෝ අසමත් වූහ. ඔහු නිරන්තරයෙන් පවිටු මිතුරන්ට එක්වී පාපක්‍රියාවල නිරත විය. කල්යාමේදී ඔහුගේ පියා මිය ගියේය. ඉන්පසු මිත්තකවින්ද ගේ පාපක්‍රියා තව තවත් වැඩිවීමට පටන් ගත්තේය.

එක් පුරපසළොස්වක් පොහෝ දිනක විහාරස්ථානයට ගොස් බණ අසා පැමිණියහොත් මසුරන් දහසක් දෙන බව මිත්තකවින්ද ගේ මෑණියෝ ඔහුට කීහ. මසුරන් දහස ලබා ගැනීමේ ආශාවෙන් ඊට එකඟ වූ මිත්තකවින්ද, දවල් කාලයේ අතන-මෙතන ඇවිදිමින් ගතකොට රාත්‍රී විහාරස්ථානයට ගොස් පැත්තකට වී නිදාගෙන පසුදා උදේ ගෙදර පැමිණියේය. තම පුතා හාමුදුරුනමක් ද කැඳවාගෙන එති’යි සිතූ මව කැඳ සහ අවුලුපත් සූදානම් කර බලා සිටියාය.

‘’පුතා, ඇයි හාමුදුරුනමක් වැඩමවාගෙන නාවේ ?’’

‘’මසුරන් දහසක් දෙනවා කියාපු නිසා බණ අහන්න ගියා මිසක්, හාමුදුරුවන් එක්ක එන්න ගියායැ’’

‘’කමක් නෑ, බණ අහන්න ගිය එකවත් මදෑ.... දැන් මේ කැවිලි කාලා කැඳ බොන්න.’’

‘’මට ඕනෙ, දෙනවා කියාපු මසුරන් දාහ. ඒක දෙනකන් මං ඔය කිසිදෙයක් කන්නෙ නෑ’’

මිත්තකවින්ද මසුරන් දහස දෙනතුරු ආහාර-පාන ප්‍රතික්ෂේප කළ හෙයින්, මෑණියන් විසින් ඒ මුදල දී පොරොන්දුව ඉටුකරන ලදී. එය අතට ගැනීමෙන් පසු හේ කැවිලි කා කැඳ බිව්වේය.

මිත්තකවින්ද මසුරන් දහස රැගෙන වෙළඳාමට ගොස් එක්ලක්ෂ විසිදහසක් උපදවා ගත්තේය. ඉන්පසු වෙළඳාම සඳහා පිටරට යන බව ඔහු මවට කීවේය. මව ඉතා සෙනෙහසින් ඔහු වැළඳ ගෙන, තමා සතුව අසූකෙළක ධනය තිබෙන බව පවසා මුහුදු ගමනේ අනතුරුදායක බවද පෙන්නා දී විදේශ ගතවීමේ අදහස අත්හරින මෙන් ඉල්ලා සිටියාය. මව විසින් බලවත් ආදරයෙන් කී කරුණු කෙරෙහි කිසි සැලකිල්ලක් නොදැක් වූ ඒ අසත්පුරුෂයා ඇගේ කම්මුලට පහරක් ගසා පහර කෑමෙන් සිහිසුන්ව ඇය වැටී ඉන්දදී නිවසින් පිටත්ව ගියේය.

ඔහු ඇතුළු පිරිස ගමන්ගත් නැව් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී තද කුණාටුවකට අසුචී එක දෙසකටවත් පැදවිය නොහැකිව කරකැවෙන්න පටන් ගත්තේය. පවුකළ අයකු නැවට ගොඩ වී ඇතැයි සිතූ නැවුපති ඒ පවුකාරයා හඳුනා ගැනීම සඳහා කුසපත් ඇදීමට තීරණය කළේය. ඒ ක්‍රියාවෙන් මිත්තකවින්ද පවුකළ තැනැත්තා වශයෙන් හඳුනාගෙන නැවෙන් බැහර කරන ලදී. මුහුදට හෙලනු ලැබූ හේ පුවරුකඩක් ආධාර කරගෙන පීනමින් සිටියදී දියේ ගිලී මිය ගියේය. ඔහු තුළ පැවති අධික තෘෂ්ණාව නිසා විමාන ප්‍රේතයෙක්ව උපන්නේය. කිසියම් කාලයකින් අඩක් සැපද, අඩක් දුක්ද විඳීමින් ඒ විමාන ප්‍රේතයෝනියේ නියමිත කාලය ගතකොට, එතැනින් චුතව මවට පහරදීමේ අකුසලය විඳිනුවස් නරකයෙහි උපන්නේය. අනන්ත පරිමාණ කාලයක් පැසෙමින් ඒ දුක් විඳීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා