අයං වස්සාන කාලෝ

අයං වස්සාන කාලෝ

සම්මා සම්බුදුවරු දුර්ලභව ලෝකය තුළ පහළවන උතුම් පුද්ගලයෝ ය. උන්වහන්සේලා සත්ත්වයන් වෙත පතළ මහා කරුණාව ඇත්තෝය. එහෙයින් ඔවුන් වෙත හෙළන දෘෂ්ටිය සානුකම්පිතය. කිසිදු දුෂ්කරතාවයකට පත් නොවන සේ ඔවුහු හික්මවති. මෙය සනාථ වන වැදගත් අවස්ථාවක් සේ වස් විසීම විස්තර කළ හැකිය. ඉදිරියට එළඹෙන කාල සීමාව වස් සමාදන් වන කාලවකවානුව හෙයින් වස් කාලය පිළිබඳවත් එහි චාරිත්‍ර සහ පැවැත්ම පිළිබඳවත් යම් විස්තරයක් කිරීම මෙම ලිපිය කියවන අයගේ ධර්ම ඥානය පිණිස හේතු වන හෙයින් ඒ පිළිබඳව විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි. පෙර වස් විසීම සහ පසු වස් වැසීම යනුවෙන් මෙය කොටස් දෙකකට බෙදේ.

ඇසළ පුර පොහොය දිනය පොහොය කොට අව පෑලවිය දිනයෙහි සෑම භික්ෂුවක විසින්ම වස් සමාදන් විය යුතුය. එසේ පෙර වස් විසීමට නොහැකි වූ අපහසු වූ භික්ෂූන් නිකිණි පොහෝ දිනයෙහි පසුවස් විසීම සිදු කළ යුතු බව බුද්ධ නියමයයි. උපසම්පන්න භික්ෂූන් විසින් දායක ආරාධනාව ඇතුව හෝ නැතුව වස් විසීම කළ යුතු වේ. එහෙත් බොහෝ විට සිදුවන්නේ දායක ආරාධනාව ඇතුවම වස් විසීමය. එහිදී දායක පක්‍ෂය භික්ෂූන්ට, චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලානප්‍රත්‍ය යන සිවු පසයෙන් උපස්ථාන කරන බවට පොරොන්දු වේ. මෙය ධර්මයේ ගිහි සාමීචි පටිපදාවයි.

බුදුරදුන් භික්ෂූන් වහන්සේලාගේ සැප විහරණය ගැන කොතෙක් දුරට සැලකිල්ලට ගෙන ඇත්ද යන්න වැටහෙන්නේ වස් විසිය හැකි ස්ථාන පිළිබඳව සඳහන් කරන තැනදීය. සිව්පසය මනා කොට ලැබෙන සුදුසු උපස්ථායකයන් සිටින මහා සංඝයා සමගි සම්පන්නව වෙසෙන තම බඹසරට හානි නොපැමිණෙන ස්ථාන මෙන්ම ගැල් සාත්තුවක හෝ නැවක වුවද වස් එළඹිය හැකි බව දේශනාවේ සඳහන් වේ.

භික්ෂූන්ට වස් නොඑළඹෙන ස්ථාන ද පවතී. ගස් සිදුරු වල ගස් සෙවණෙහි එළිමහනෙහි, සුදුසු සෙනසුනක් නොමැති කුඩ යට, සොහොනෙහි, සිවුපාවුන්ගෙන් කරදර විය හැකි තැන් සර්පයන්ගෙන්, සොරුන්ගෙන්, ජලයෙන්, ගින්නෙන්, විපත් පැමිණිය හැකි ආත්මාරක්‍ෂාවක් නොමැති ස්ථාන මෙන්ම විශාල හැලිවල වස් නොවිසිය යුතු බව ද දැක්වෙයි. එදිනට පිළිගන්වන වැසි සළුව පූජා කිරීම විශාඛා සිටු දේවිය විසින් ලබා ගත් වර දානයක ප්‍රතිඵලයක් ලෙස ලැබෙන්නකි. මෙය ඉල්වා ගැනීමට හැකිය.

වස් විසීම සඳහා පෙර සූදානමක් ලෙස භික්ෂූන් වහන්සේලා පොහොය විනය කර්ම කරති. බුදුරදුන් භික්ෂූන් සමඟ පොහොය සිදුකළ ද පසු කළ පුරාණයේ පොහොය සිදු කිරීම සඳහා රැස්වූ විටක පිරිසෙහි අපිරිසිදු බව සලකා භික්ෂූන්ටම එම කාර්ය පැවරූහ. එතැන් සිට භික්ෂූන් වහන්සේලා බුදුරදුන් නොමැතිව පොහොය විනය කර්ම කළහ.

වස් නොවසා භික්ෂුවකට සිටිය නොහැකිය. ජබ්බගගිය භික්ෂූන් වස් නොවසා තැන් තැන්වල ඇවිදීම නිසා මෙම නියමය බුදුරදුන් කර ඇත. වස් විසූ ස්ථානයෙන් බැහැර යාම ද ආවාට ගියාට සිදු කළ නොහැකිය. වර්තමාන භික්ෂූන් ඇතැම් විට මෙසේ වස් විසූ ස්ථානයෙන් බැහැර යාම සිදු කළද සත්තාහකරනයෙන් යා හැක්කේ සැදැහැවත් දායෙකුගේ ධර්ම දේශනා ආදියට යාම සඳහා පමණි. එහෙත් මෙය වෙනස් වූ අවස්ථා ද ඇත.

ගිලන් භික්ෂුවක් සඳහා භික්ෂුවකට අවවාද දීම පිණිස අබ්බාන ආදී සංඝ කර්මයන් සඳහා මවුපියන් සොහොයුරු සොහොයුරියන් දකින පිණිස ආදී අවස්ථාවන්හිද සත්තාහකරණයෙන් බැහැර වීමට අවසර ඇත. එහෙත් සත් දිනක් ඉක්මවීමට ප්‍රථම වස් විසූ ස්ථානයට එම භික්ෂුව පැමිණිය යුතුය. වස් බිඳීමෙන් සිදුවන ඇවතින් නිදහස් වීමට ද භික්ෂුවට හැකියාවක් ඇත. එය වගවලසුන්ගෙන් කරදර වේ නම් නා පොළොං ආදී සර්ප උවදුරු වේ නම් යක්‍ෂ උවදුරු ඇත්නම්, ගිනි ආදියෙන් ගම දා ගියේ නම්, ජල ගැලීම් ආදිය වේ නම්, භික්ෂුවට ඉන් බැහැර විය හැකි බවත්, ඇවැත සිදු නොවන බවත් දක්වා ඇත.

වස් විසූ ආරාමය වෙනස් කිරීමට ද ඉඩ ප්‍රස්ථා භික්ෂුවට සලසා ඇත. ගම දෙකඩ වූ විටක පිණ්ඩපාතය නොලැබෙන විටක පථ්‍ය බෙහෙත් නොලබන කල සුදුසු කැපකරුවකු නොලැබූ විටක තම ශීලයට අන්තරායක් පැමිණෙන විටක සංඝ භේදයට තුඩු දෙන කරුණු සිදුවීමට යන කල ගමෙන් බැහැර විය හැකි බවත්, එවිට වස් කැඩීමෙන් සිදුවන ඇවැත සිදු නොවන බවත් දක්වා ඇත.

වස් එළඹෙන භික්ෂුවට පිළිපැදිය යුතු වතාවත් සමුදායක් පවතී. ඇතැම් භික්ෂූන් වස් වසා වැඩ සිටියද කිසිදු වතාවක් විහාරය තුළ සිදු නොකරයි. වස් නොපුරන විට ශීලය කෙසේ සම්පූර්ණ වේද යන්න නිතර සිහිපත් කළ යුතු බුද්ධ වචනයකි. විහාරය අතු පතු ගා පිරිසුදු කොට පානීය පරිභෝජනීය පැන් සපයා තබා චෛත්‍ය වන්දනා ආදිය සිදු කළ යුතු බව විනය පොතෙහි දක්වා ඇත. අනුන් හෙළා දකින කතා ආදියෙන් තොරව රළු විනීත ප්‍රතිපදාව හා ශීල විසුද්ධ ආදී සප්ත විසුද්ධියෙන් දස කථාවන්ගෙන් බැහැර කායානුපස්සනා ආදිය බුද්ධානුස්සති ආදිය මෙනෙහි කරමින් වාසය කළ යුතු වේ.

සිල්වත් වූ යම් භික්ෂුවක් ගමක් හෝ නියම් ගමක් ඇසුරු කරමින් වාසය කළේද එහි මිනිස්සු ආකාර තුනකින් බොහෝ පින්කම් කර ගනිති යනුවෙන් වදාළ බුද්ධ වචනය අනුව වස් කාලය තුළ තම ගමෙහි ලැගුම් ගන්නා භික්ෂුව ඇසුරින් බොහෝ පිං දහම් කර ගැනීමට උපාසක උපාසිකාවෝ පුරුදු වූහ. භික්ෂූන් වහන්සේලා අප්‍රමාදව තම ශ්‍රවණ කෘත්‍ය සම්පූර්ණ කර ගැනීමට ගන්නා වූ වෙහෙසට දායක දායිකාවෝ සිවුපසය සකසා දෙමින් උදව් වූහ. එමෙන්ම දන් දී බණ අසා, සිල් රැක දන් පින් පුරා, සවර්ග මාර්ගය එළි කර ගත්හ.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව බුදු සසුන පිහිටුවීමේදී ද දඹදිව භික්ෂූන් අතර පැවති මේ සිරිත් සියල්ලම ඒ අයුරින්ම මෙරටට පුරුදු පුහුණු කරවන ලදී. එහෙත් ලංකාවේ මෙයට නව සංස්කෘතිකාංග පසුකාලීනව එකතු වීමෙන් අසිරිමත් වූ උත්කෘෂ්ඨ පිංකම් මාලාවක ඇරඹුම වස් විසීම තුළින් අර්ථවත් විය. ඒ කඨින පූජා මහා පිංකමකි. ඒ සඳහා වස් විසූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය සිදු කළ යුතු වේ. ඒ පවාරණයෙන් අදහස් කරන්නේ ඇවතින් නැඟී සිටීමට පහසුවක් වේය යන අදහසයි. පවාරණය නව ආකාරයක් විනය විනිශ්චය පොතෙහි දක්වා ඇත. වැඩිමහලු මහ තෙරුන්ගේ පටන් එක එක භික්ෂුවක් බැගින් පවාරණ වාක්‍ය කීමෙන් පවාරණය සිදු කරයි.

පාවෙය්‍යක භික්ෂූන් අරමුණු කොට ගෙන බුදුරජාණන් වහන්සේ කඨිනය අනු දැන වදාරා ඇත. කඨිනය යනුවෙන් අදහස් කරන්නේ සිවුරක් නිමිති කොටගත් පැනවීම් මාත්‍රයකි. ශුදධෂ්ටක වස්තුවෙන් කළ නොහැකි තත්ත්වයෙන් පවත්නා හෙයින් කඨින යන ශබ්දය යෙදේ. මෙම දානයෙන් ලැබෙන කුසලය ද කැඩිය බිඳිය නොහැක. මෙය ස්ථිර පූජාවකි. කඨිනයෙන් ලැබෙන කුසලය වෙනත් කිසිදු පුණ්‍ය කර්මයකින් නොලැබේ. භික්ෂුවට විනය නීති පහකින් නිදහස් වීමට තරම් කඨිනය බලගතු වීම උන්වහන්සේලාට ලැබෙන ආනිසංස පහයි නොවිචාරා ගමෙන් බැහැර යාමෙන් වරදක් සිදු නොවීම තුන් සිවුරෙන් වෙන්ව විසීමෙන් සිදුවන ඇවත් නොවීම නොකැප ලෙස ඉල්ලීමෙන් ලත් භෝජනය පිළිගැනීමෙන් සිදුවන ඇවතෙන් නිදහස් වීම.

තුන් සිවුරට වඩා සිවුරු ළඟ තබා ගැනීමට හැකිවීම ආදිය සහ සංඝයා අතර බෙදීමකින් තොරව සියලු සෙසු පිරිකර තමාට ගත හැකි වීම ආදිය ආනිසංසයි. මෙම පුණ්‍යකර්මය සෑම තැනකම සෑම කල්හිම සිදුකළ නොහැකි වේ. උපසම්පන්න භික්ෂූන් සුදුසු කල්හි වස් වැස මහා පවාරණයෙන් පවාරණය කොට සුදුසු තත්ත්වයට පත්වූ භික්ෂුවටම කඨිනය පිළිගත හැකි වීම මෙහි මූලික ලක්‍ෂණයයි. මෙය පිළිගැනීම හිරු උදාවට ප්‍රථමයෙන් කළ යුතු බව දක්වා ඇත.

ගුණවත් ගිහි පැවිදි දෙපක්‍ෂයම මෙම උතුම් පිංකම සඳහා දක්වන්නේ මහත් ලැදිකමකි. කඨින පූජාවට ඇතුළත් කොට විවිධ පුද පිළිවෙත් කිරීමට ඔවුහු පෙළඹී ඇත්තේ එබැවිනි. මුළු ගමම විහාරය වටා එකතු වී කරන සාමූහික පිංකම බවට පත්ව ඇත්තේ කඨින පූජාවයි. තෙමසක පිණ්ඩපාත සේණාසන ගිලාන පත්‍ය තුනෙන් උපස්ථාන කරන උපස්ථායකයා චීවර ප්‍රත්‍යයෙන් කඨින දිනයෙහි උපස්ථාන කොට සිවුපස උපස්ථානයෙන් ගිහි සාමීචි පටිපදාව පුරා සගමොක් සුව පතා ගනී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා